දකුණ හොල්ලමින් සිදුවූ මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයට බන්ධනාගාරයේ සිටි පොඩි ලැසීට ඇප ලැබිණි. එසේ එන විටත් ලැසී බන්ධනාගාරය තුළ කුඩු වික්කේය. එපමණක් නොව එළියේ ද කොස්ගොඩ සුජීගේ කුඩු බිස්නස් කළේ ලැසීගේ කල්ලිය විසිනි. මේ නිසා ලැසීට මුදල් යහමින් අතමිට තිබුණේය. එක පැත්තකින් ව්‍යාපාරය, තව පැත්තකින් ජාවාරම්ය, අනෙක් පැත්තෙන් කුලියට ඝාතනය. මේ සියල්ල ලැසී බන්ධනාගාර ගතවීමත් සමඟ ලැබුණු ඒවාය.
මේ අතර කාලයක් මනෝජ් මෙන්ඩිස් සමඟ සිටි ඒත් මනෝජ් ඝාතනයෙන් පසුව ලැසීට එක්වුණු ව්‍යාපාරිකයෙක් සිටියේය. ඔහු සුසන්තය. සුසන්ත පාතාලයට සම්බන්ධ නැතත් පාතාලයන් සමීපව ඇසුරැ කළේය. ඒ නිසාම ලැසීට ව්‍යාපාර කිරීමට ට්‍රෝලර් යාත්‍රාවකුත් තෑගි කර තිබුණේය.
ලැසී බන්ධනාගාරයෙන් නිදහස්ව එළියට පැමිණෙන විට ලැසීගේ ගෝලයෝ රහසක් කනේ තැබූහ. එනම් ලැසීව ඝාතනයට මෙන්ඩිස්ගේ කල්ලිය සුදානම් වන බවය. එදා මෙන්ඩිස්ගේ ඝාතනයේදී තුවාල සිදුවු සංකු වැඩේට සුදානම් වන බව පිරිස කීහ. ඒ නිසා මහපාරෙන් යනවිට නියත වශයෙන්ම ප්‍රහාරයට ලක්විය හැකි බව පිරිස අනතුරු හැඟවීය. මරණ තර්ජනය නිසා ලෑසීව ගාල්ල වෙරළෙන් බෝට්ටුවකින් රැගෙන යාමට තීන්දු කෙරිණි. ඒ සඳහා බෝට්ටුව ලබාදුන්නේ කෝටිපති ව්‍යාපාරික සුසන්තය. ඒ සුසන්තගේ මිත්රකමටය. ඒ අනුව ලැසී බෝට්ටුවෙන් කිලෝමීටර් හතරක් පමණ ගොස් තවත් ට්‍රෝලර් යාත්‍රාවකට ගොඩවිය. එම යාත්‍රාවේ සිට ලැසීව පිළිගත්තේ සුසන්තය. එතැනින් පසු සුසන්තත් ලැසීත් කොස්ගොඩට යන තෙක් බෝට්ටුවේ ගියේ එකටය. මේ සිදුවීම ඒ ක්ෂණයකින් මෙන්ඩිස් කල්ලියේ කනවැකී තිබුණේය. තමන්ට අවශ්‍යව සිටි කුරුල්ලාට පැන යාමට සුසන්ත උදව් කළ නිසාත් සුසන්ත දෙපැත්ත සමබර කළ නිසාත් සුසන්තට මරණ සහතිකය ලියාදීමට මෙන්ඩිස් කල්ලිය තීන්දු කළේය.
2016 මාර්තු 28 වැනිදා සුසන්ත සුපුරැදු පරිදි තම යාත්‍රාවේ පැමිණි මාළු තෝරමින් සිටියදී දෙනෝදාහක් දෙනා මැදින් පැමිණි කළු ජැකට්ටුවක් ඇඳගත් අයෙක් සිය ජැකැට්ටුවෙන් මි.මී 9 වර්ගයේ අවියක් ගෙන සුසන්තට එක දිගට වෙඩි තැබුවේය. එසේ වෙඩිතබා සියලු දෙනාම මැදින් වරායෙන් එළියට පැමිණ පළාගියේය. පුදුමය නම් එසේ වෙඩි තබන විට ගාල්ල වරායේ ආරක්ෂාවට නාවික සෙබළුන් 9 දෙනකු ද සිටීමය. එහෙත් ඒ සියලු දෙනාම මැදින් පැමිණ සුසන්තට වෙඩිතබා යාමට තරම් මෙන්ඩිස්ගේ කල්ලිය ප්‍රබල විය. මේ සිද්ධියත් සමඟ ලැසී තම ආරක්ෂාව තව තවත් තර කරගත්තේය. එනම් ලැසීට නියත වශයෙන් මෙන්ඩිස්ගේ කල්ලියේ අලුත් නායකයා සංකුගෙන් ප්‍රහාරයක් කන්න වන බව සියලු දෙනා කියා සිටි නිසාය.
එහෙත් ලැසී කොන්ත්‍රාත් ඝාතන අත්හැරියේ නැත. ඔහු තම හිතවතුන් වෙනුවෙන් හිතවත්කමට මිනීමැරුම් කළේය. එයින් එකක් වූයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මීටියාගොඩ මාදම්පාගම ප්‍රදේශයේ පියපුතු අතර ගැටුමකි. එම ගැටුම කොතරම්ද කියතොත් පියා විසින් තම පුතා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබිණි. ඒ රාජාටය. රාජා එවකට සිටියේ බන්ධනාගාරයේය. රාජාගේ කොන්ත්‍රාත්තුවට ලැසීත් කරන්දෙණිය ඝාතනයේ සැකකරුවකු වූ සුද්දාත් කරගැසූහ. එකම පවුලේ පියා (ඉන්දික ද සොයිසා - 33) මව (දේවිකා ද සොයිසා - 27) සහ පුතු (රන්දික ද සොයිසා-04) වෙළෙඳසලක් තුළදී ඝාතනය කෙරැණේ ඒ අනුවය. අවුරුදු හතරක කුඩා දරුවා රාක්ක අතර සැඟවෙන විට ලැසී එළවා ගොස් එකී දරැවා ද ඝාතනය කළේ හිතක් පපුවක් නැති අමනයකු ලෙසිනි. එම ඝාතනයෙන් පසුව ලැසී නැවතත් පොලීසියට කොටුවිය.
එසේ කොටුවීමෙන් පසුව ලැසී බන්ධනාගාරය තුළදී එල්.ටී.ටී.ඊ සැකකරැවකු වූ කෙනඩි ලවා තමන්ව ඝාතනයට සුදානම් වූ ප්‍රියන්තව ඝාතනය කළේය. (පසුගිය සතියේ එම කතාව පළවිය). ඊට පසු කොස්ගොඩ තාරකගේ හොඳම ගෝලයා වූ කොස්ගොඩ ලොකූද ඝාතනය කළේය. එම ඝාතන සියල්ල කොස්ගොඩ සුජීගේ හොඳම ගෝලයන් වූ රාජා සහ රණා විසින් සිදුකෙරිණි.
කොස්ගොඩ තාරකගේ ගෝලයකු වූ කොස්ගොඩ ලොකූ ඝාතනයත් සමඟ තාරකට තම පරම හතුරා වූ ඩුබායි රාජ්‍යයට පැන සිටින කොස්ගොඩ සූජීට දැනෙන්නට දෙයක් කිරීමට අවශ්‍ය විය. ඒ අනුව තාරක තීන්දු කළේ කොස්ගොඩ සුජීගේ මාමා කෙනකු වන ආනන්ද රාජා ඝාතනය කිරීමටය.
දිනක් අලුයමක ආනන්ද රාජාගේ නිවසට ඇතූළු වූ තාරකගේ කණ්ඩායම ගෙවත්තේ ඇවිද ඇවිද අවස්ථාවක් ලැබෙන තෙක් කුරැමානම් අල්ලමින් සිටියෝය. තමන්ගේ වත්තෙහි කවුරැන් හෝ ඇවිදින බව දැනගත් ආනන්ද රාජාගේ බිරිඳ නිවසේ දොර විවෘත කර බැලුවාය. එකවර ආයුධ සන්නද්ධ කණ්ඩයමක් නිවසට ඇතුළු වී ගෙයි සාලය මැද බිම වැතිර සිටි ආනන්ද රාජාට වෙඩි තැබූහ. ඊට පසු නිවෙස තුළට ගිය පිරිස එක් කාමරයක සිටි ආනන්ද රාජාගේ වැඩිමහල් පිරිමි දරුවා වෙඩිතබා ඝාතනය කළහ. පසුව අනෙක් කාමරයට පැන තවත් අවුරුදු 13ක දරැවකු ද වෙඩිතබා ඝාතනය කළෝය. එකම පවුලේ තිදනෙකු ඝාතනය කළ කොස්ගොඩ තාරකලා ඒ විදුලි වේගයෙන් ගියේ සුජීගේ තවත් හිතවතකු වූ කපිලරත්නලගේ නිවෙසටය. කපිලට ද වෙඩි තැබූ තාරකලා එළිවනවිට අම්බලන්ගොඩ සිව්පුද්ගල ඝාතනයකට වගකියා තිබිණි. මේ නිසා කොස්ගොඩ සූජී ගැස්සී ගිය අතර එම ප්‍රහාරය ඔහුට දරන්න බැරි විය.
මේ අතර පොඩි ලැසීගේ කොන්ත්‍රාත්තුවක් මත මනෝජ් මෙන්ඩිස්ගේ සමීපතමයෙක්ද 2017 මැයි 23 වැනිදා ඝාතනය කරනු ලැබීය. සජිත් නැමති ඔහු හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මුද්‍රණාලයක් පවත්වාගෙන ගිය අයෙකි. ඒ අනුව ලැසීගේ කණ්ඩායමේ රණා සහ රාජා විසින් මේ ඝාතනය සිදුකළ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී ඊට කිසිදු සම්බන්ධකමක් නැති සුසාන් නැමති තරැණයකු ද වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඒ මනෝජ් මෙන්ඩිස් සමඟ ගනුදෙනු කළ සහ එම කණ්ඩායමට සහාය දැක්වීමේ සැකය මතය.
ඉන් නතර වුණේ නැත. කොස්ගොඩ තාරකට එරෙහි තවත් ප්‍රහාරයක් සූදානම් කළ කොස්ගොඩ සුජී තාරකගේ සමීපතමයකු වන ප්‍රියන්ජන සිල්වා ඝාතනය කිරීමට තීරණය කළේය. අහුන්ගල්ල ප්‍රදේශයේ අයකු වන ප්‍රියන්ජන ඝාතනය ද රණා සහ රාජු අතින් සිදු කෙරිණි. ඒ 2017 මැයි 30 වැනිදාය. එම ඝාතනයත් සමඟ රණාත්, රාජුත් පොලීසියට කොටුවුණු අතර ඔවුහු බන්ධනාගාර ගතකරනු ලැබූහ.
කෙසේ වෙතත් මේ අතර තුර කොස්ගොඩ තාරක ද බන්ධනාගාර ගතවී සිටියේය. ඒ වේයන්ගොඩ චාමර ඇතුළු පිරිසක් එක්ව මාතර රත්තරන් භාණ්ඩ වෙළෙඳසලක් මංකොල්ල කෑමට ගොස් අසුවීම හේතුවෙනි. එහිදී චාමර පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ අතර තාරක පොලීසියට කොටුවිය. එසේ කොටුවීමත් සමඟ කොස්ගොඩ සුජී කුරැමානම් ඇල්ලුවේ කෙසේ හෝ තාරකට වැඩක් දීමටය. ඒ අනුව සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගාල්ලේ සිට පැමිණි වෑන් රථයක් පරික්ෂා කරන අවස්ථාවේ එහි තිබී ටී56 උණ්ඩ 3000කට ආසන්න සංඛ්‍යාවක් සහ තවත් උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවිය. එහිදී අනාවරණය වුණේ එම උණ්ඩ කරන්දෙණියේ සුද්දා (කරන්දෙණිය දොස්තර ඝාතනයේ සැකකරු) විසින් කාන්තාවන් දෙදෙනකු හරහා ගාල්ලට ගෙන එන්නට උත්සහ ගත් බවය. කෙසේ වෙතත් මෙය කරන්දෙණිය සුද්දා සිදුකළේ කොස්ගොඩ සුජීගේ නියෝගයකටය. ඔහුට අවශ්‍ය වුණේ කෙසේ හෝ කඩුවෙල සමයංව අංගොඩ ලොක්කා විසින් ඝාතනය කළ ආකාරයට බන්ධනාගාරයේ බස්රථයට වෙඩිතබ ඝාතනය කිරීමටය. එහෙත් ඊට පෙර පොලීසියට කොටුවිය.
මේ සිද්ධිය තාරකට හොඳ අවස්ථාවක් විය. තමන්ට මරණ තර්ජන ඇති බවට පවසා වැඩි ආරක්ෂාව ලබා ගැනීමටය. කෙසේ වෙතත් පාතාලයේ කිරුළු පැළඳීම මේ සියලු දෙනාගේ අරමුණ වූ අතරම ලෙයට ලෙයක් ගැනීම එකී පාතාලයේ න්‍යාය විය. ඒ සියල්ලට දකුණු මුහුදු තීරයෙන් එන කුඩුද බලපෑවේය. මෙ නිසා සුජීලා, ලැසීලා තොග ගණන් කුඩු විකුණන විට තාරකලා කොල්ල කෑම්, ආයුධ ගනුදෙනු, කප්පම්වල නිරත වූහ. ඒ නිසා තවමත් මේ අළුයට ගින්දර එලෙසමය. තවමත් හිටපු ගමන් දුම් නගින්නේ ඒ පරණ ගිනි රස්නෙටය.
ගයාන් ගාල්ලගේ