පසුගියදා මහනුවර ප්‍රදේශයේ අවට ජනතාව භීතියට පත් කරවමින් මහවැලි සහ වික්ටෝරියා ජලාශ ආශ්රිත ගම් නගරවල දෝංකාර දුන් මහා පිපුරුම මහනුවර අවට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකරවීමට සමත් විය. අති විශාල පිපුරුම් ශබ්දය රාත්‍රී 8.35ට පමණ ඇසුණු අතර එම ශබ්දය තෙල්දෙණිය, දිගන, හාරගම, ගුරුදෙණිය, තලාතුඔය, කුණ්ඩසාලේ, මැණික්හින්න, දිගන, හිජ්රාපුර, අඹගහලන්ද, අඹකොටේ, පල්ලේකැලේ, බලගොල්ල, කෙන්ගල්ල අවට පදිංචි ජනතාව මේ සම්බන්ධව මහත් සේ කලබලයට පත්ව ආරක්ෂක අංශ වෙත සහ මාධ්‍ය ආයතන වෙතද සිද්ධිය දැනුම් දී සිදුවන්නේ කුමක්දැයි විමසූහ.
බොහෝ නිවැසියන් කොතරම් බියට පත්වීද කියතොත් ඔවුන් තම නිවෙස්වලින් පිටතට පැමිණියේ රාත්‍රී ඇතිවූ බියකරු පිපුරුම් ශබ්දය කුමක්ද කියා විමසමිනි.
මෙම මහා පිපුරුම් හඬ කොයි ඉසව්වකින් කන වැකුණාද කොයි ඉසව්වක සිදුවූවාද යන්න සොයා බැලීම සඳහා තෙල්දෙණිය තලාතුඔය, බලගොල්ල, මැණික්හින්න සහ නුවර යන පොලිස් ස්ථානවලින්ද නිලධාරීන් යොදවා විමර්ශන ආරම්භ කිරීමට ඒ ඒ පොලිස් ස්ථානාධිපතිවරු පියවර ගත්හ. ආපදා කළමනාකරණ අංශයට සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ නිලධාරීන්ටද මෙම විශාල පිපුරැම පිළිබඳව පොලීසිය විසින් දැනුම් දී තිබිණි. වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව මෙම දැවැන්ත පිපුරුම සිදුවූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
මෙහි ප්‍රබල බලපෑම එල්ල වී තිබුණේ වික්ටෝරියා ජලාශයට ආසන්න, මහවැලි ගඟ ආශ්‍රිතව ගුරුදෙණිය, තෙල්දෙණිය, හාරගම ප්‍රදේශයේ පදිංචි ජනතාව වෙතය. මෙම ප්‍රදේශයේ ඇතැම් නිවාසවල බිත්ති ද පුපුරා ගොස් තිබෙන බව එම නිවෙස් හිමියෝ පැවසූහ. රාත්‍රී කාලයේ අනපේක්ෂිතව ඇසුණු පිපුරැම් හඬත් සමඟ ගුරුදෙණිය, හාරගම අවට නිවෙස්වල පදිංචිකරුවන් බියට පත්වී සිය නිවෙස්වලින් පිටතට පැමිණියේ කලබලයෙන් හා නොසන්සුන්කාරී තත්ත්වයෙනි.
හදිසියේ ඇතිවූ මහා පිපුරුම කොයි ඉසව්වක සිදුවූවාද යැයි ආරක්ෂක අංශ (පොලීසිය, ත්‍රිවිධ හමුදාව) වලටද නිශ්චිතව සොයා ගැනීමට නොහැකි විය. බොහෝ දෙනකු මහනුවර පොලිස් මූලස්ථානයෙන්ද තොරතුරු විමසූ නමුත් පොලීසියටද නිශ්චිතව විශාල පිපුරැම ඇතිවූයේ කුමන ස්ථානයකදැයි සෙවීමට නොහැකි වීම නිසා පොලිස් නිලධාරීන් කළේ ගුරුදෙණිය, හාරගම, දිගන, වික්ටෝරියා පෙදෙස අවට සැරිසරා ප්‍රදේශයේ ජනතාව හමුවී ඔවුන්ගෙන් තොරතුරු ලබාගැනීමය. මීට වසර කිහිපයකට ඉහතදී මෙවැනිම මහා පිපුරුම් හඬක් වික්ටෝරියා ජලාශ ආශ්රිත පෙදෙසින් ඇසුණු අතර ඒ සම්බන්ධයෙන්ද භූ විද්‍යාඥයන් හා මහවැලි ජලාශය භාර ඉංජිනේරුවන්, භූ විද්‍යා හා පතල් කැණීම් අංශයන්හි නිලධාරීන් විසින් සොයා බැලීම් සිදුකෙරිණි. ඒ මහා ශබ්දය මීට පෙර කලකදී සිදුවූ පරිද්දෙන්ම පසුගියදා සිදුවිය.
රාත්‍රී කාලයේ සිය නිවෙස්වල රැඳී රූපවාහිනිය නරඹමින් සිටි ඇතැම් නිවැසියන් සිය නිවෙස්වලින් පිටත පැන ඇත්තේ මහා භූමිකම්පාවක ඉවක් ඔවුනට දැනුණු නිසා බව අප හමුවූ ගුරුදෙණිය, හාරගම සහ දිගන ප්‍රදේශවල පදිංචි ජනතාව පැවසූහ.
තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු දිගන කුඹුක්කඳුර ප්‍රදේශයට ගොස් මෙම සිද්ධිය පිළිබඳව විමසීම් කළ අවස්ථාවේ කුඹුක්කඳුර ප්‍රදේශයේ නිවෙස් හිමි කාන්තාවක පැවසුවේ හදිසියේම ඇතිවූ මහා පිපුරුම් හඬත් සමඟ තමන් වාඩිවී සිටි පුටුවද බිම පෙරළී තමන්ද පුටුවෙන් බිමට වැටුණු බවකි.
භූ චලනයක් ලෙස නිශ්චිතව පැවසීමට සාධක නොමැති වුවද මෙම මහා පිපුරැම් හඬ ඇතිවී ඇත්තේ වික්ටෝරියා ජලාශය ආශ්රිත පෙදෙසින් බව සිද්ධිය පිළිබඳව සොයා බැලූ අදාළ අංශයන්හි විශේෂඥ දැනුමැති නිලධාරීහු අනුමාන ලෙස පවසති.
වික්ටෝරියා ජලාශය ආශ්රිත ගම්මාන ලෙස තෙල්දෙණිය, දිගන, හිජ්රාපුර, අඹගහලන්ද, හෙණගැහූවල, සෙනරත්වෙල, අඹකොටේ, බලගොල්ල, ගුරුදෙණිය, හාරගම සහ තැන්නකුඹුර, මහවැලි ගඟ අවට ගම්මාන සැලකිය හැක. හදිසියේ ඇතිවූ මෙම පිපුරුම සම්බන්ධයෙන් පල්ලේකැලේ පිහිටි භූ විද්‍යා හා පතල් කැණීම් අංශ කාර්යාලයේ භූ චලන සටහන් යන්ත්‍රයන්හි දත්ත සටහන් වී ඇතත් එය ස්ථිර භූ චලනයක් (භූමිකම්පාවක්) ලෙස අදාළ කාර්යාලයේ නිලධාරීහු තහවුරු නොකරති.
තෙල්දෙණියේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීම සඳහා එවකට පැවති රජය කටයුතු කරන සමයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශ භාරව සිටි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය පී.ඩබ්ලිව්. විතාන මහතා එම ප්‍රදේශයන්හි කරන ලද විශේෂ භූ විද්‍යා
පර් යේෂණවලින් පසු ජලාශයක් හෝ වේල්ලක් ඉදිකිරීම නුසුදුසු බවට සිය විශේෂඥ නිර්දේශ එවකට පැවති රජයේ (ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ) නායකයන්ට දන්වා තිබූ බවත් එම භූ විද්‍යාඥයාගේ නිර්දේශ සහ උපදෙස් නොතකා මෙම මහා ජලාශයත්, වේල්ලත් ඉදිකිරීමට එවකට සිටි ප්‍රබල දේශපාලනඥයන් පියවර ගත් බවත් මෙම කාරණාව සිහිපත් කරමින් එවකට ඒ සම්බන්ධව විවිධ විමර්ශන ලිපි සැකසූ ආචාර්යවරුන්, මහාචාර්යවරුන් සහ එම ලිපි පළකිරීමට මූලික වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ සිරිල් විමලසුරේන්ද්‍ර මහතා ද පැවසීය.
මේ මහා පිපුරුම් හඬ වික්ටෝරියා ජලාශය තුළින් ආ විශාල ජල තෙරපුමක් බවටද ඇතැම් භූ විද්‍යාඥයෝ පැවසූහ. එය කොතෙක් දුරට සත්‍යදැයි කිව නොහැක. හාරගම, ගුරැදෙණිය යන ප්‍රදේශවල පදිංචි ජනතාව පැවසුවේද පිපුරුම් හඬ සවනට වැකුණේ වික්ටෝරියා ජලාශය ආශ්රිත පෙදෙසින් බවය.
මේ අතර බදාදා (02) උදේ 7.05ට පමණ තෙල්දෙණිය, දිගන, අඹකොටේ ප්‍රදේශයේ පදිංචි ජනතාව පැවසුවේ මීට දින කිහිපයකට කලින් ඇසුණු ශබ්දය මෙන් මහා හඬක් තමන්ට ඇසුණු බවය. මේ සම්බන්ධව තොරතුරු ලද වහාම කුණ්ඩසාලේ, පල්ලේකැලේ ගම්උදා භූමියෙහි පිහිටි පතල් හා කැණීම් කාර්යාංශයේ නිලධාරීහුද බදාදා පෙරවරුවේ යළිත් දෙවැනි වරට ඇතිවූ මහා හඬ සම්බන්ධයෙන් අවධානය යොමුකර එය තහවුරු කළහ.
දිගන, අඹකොටේ ගම්මානය ආශ්‍රිතවද වික්ටෝරියා ජලාශයේ ජල රැඳවුම් ව්‍යාප්ත වී තිබේ. මෙම ප්‍රදේශය ද මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හා සම්බන්ධතා පවතින ප්රදේශයකි.
මහනුවර අවට ජනතාවට කුතුහලයත් භීතියත් ඇතිකරමින් වරින්වර මහා හඬක් නිකුත් කිරීමේ අබිරහස භූමිකම්පාවක්ද (භූ චලනයක්) එහි කිසියම් ලක්ෂණයක්ද යන්න මේ වන තෙක් හෝ මහනුවර භූ විද්‍යා අංශයන්හි විද්‍යාඥයන්ට සනාථ කර ගැනීමට නොහැකි වී තිබීම ජනතාවටද ප්රහේළිකාවක් වී තිබේ.
ගුරුදෙණිය, හාරගම, උඩතැන්න, පැනෝරාම, මහවැලි බිජ් යන ගම්මානවල ජනතාව පැවසුවේ මෙම අද්භූත හඬ සම්බන්ධව තොරතුරු සොයා බැලීමට තම ගම්වලට අදාළ නිලධාරීන් නොපැමිණි බවය. ඔවුන් දුරකථන ඔස්සේ තොරතුරු විමසා නිහඬ වන බවද එම ගම්වැසියෝ වැඩිදුරටත් කීහ.
ජේ.ඒ.එල්. ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල
ඡායාරූප - තෙල්දෙණිය චන්දන උඩුවාවල
යළිත් හෙල්ලෙයි
කුණ්ඩසාලේ, දිගන, අඹකොටේ ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශය ආශ්රිත පෙදෙසින් බදාදා පෙ.ව. 7.00ට පමණ ඇතිවූ තවත් මහා අබිරහසක් ශබ්දයක් හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව බියට පත්වී නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා අඹකොටේ ප්‍රදේශයේ මහත් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.
මෙම මහා ශබ්දය පිළිබඳව පල්ලේකැලේ භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අඹකොටේ සහ දිගන, අලුත්වත්ත ප්‍රදේශයට ගොස් විමර්ශන කටයුතු ද සිදු කළහ.
දෙවැනි වරට දිගන, අඹකොටේ ප්‍රදේශය තුළ ඇතිවූ ශබ්දය පිළිබඳව විමර්ශනය කිරීමට එහි ගිය නිලධාරීන් කණ්ඩායමේ පර්යේෂණ නිලධාරීන් නලින්ද සිල්වා මහතා ඇතිවූ තත්ත්වය පිළිබඳව මෙසේ කරුණු දැක්වීය.
“පසුගිය දිනවල තෙල්දෙණිය, දිගන, හාරගම, ගුරුදෙණිය, අඹකොටේ, අලුත්වත්ත යන ප්‍රදේශයට දැනුණු කම්පන තත්ත්වය සහ ඇතිවූ මහා ශබ්දයත් සම්බන්ධව කළ පර්යේෂණවලදී ඇතිවී තිබෙන්නේ භූ කම්පන තත්ත්වයක්. අප මෙම සිදුවීම් සියල්ල පිළිබඳව නිලධාරී කණ්ඩායමක් එම ප්‍රදේශවලට ගොස් පරීක්ෂා කළා. මෙය භූමිකම්පා තත්ත්වයක්. සුළු කම්පන තත්ත්වයකුත් ඇතිවී තිබෙනවා. අපේ උපකරණවලද මේ සම්බන්ධව දත්ත සටහන් වී තිබෙනවා. පෙර කම්පන තත්ත්වයක් බව පූර්ව නිගමනය කළ හැකියි.”
පොළොව තුළ ඇතිවූ තෙරපීමක් සුළු වශයෙන් පිටතට පැමිණීමක් සිදුවීමෙන් මෙම කම්පන තත්ත්වය ඇතිවී තිබෙන බවද පල්ලේකැලේ භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ පර් යේෂණ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.