අපේ අසල්වැසියාට හොඳටම අසාධ්‍යය. ලෝකයේ කොවිඩ් 19 වසංගතයෙන් බැටකන රටවල් අතර දැන් එය මුලටම පැමිණ ඇත. පසුගිය දිනවල වාර්තා වූ අන්දමට අසල්වැසි ඉන්දියාවේ දෛනිකව අසාදිතයන් ගණන 80,000ත් පන්නා තිබුණි. මේ ඉන්දියානු සාධකය අපට කෙසේ බලපායිද? ලෝකයේ කොවිඩ් 19 හොඳින්ම මර්දනය කරගත් රටවල් 10 අතරට පැමිණ ලෝක සෞඛ්‍ය සංවිධානයේත් පැසසුම් ලබා සිටින අපට තවදුරටත් ඒ කීර්තිනාමය රුකගන්නට හැකි වේවිද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කොවිඩ් 19 සටනේ මුල් තැන ගත් උගත් පාර්ශ්වයකි. ඔවුන්ගේ නිර්දේශ බොහෝදුරට රෝගය පාලනය සඳහා වැදගත් විය. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ ඕනෑම මොහොතක මේ ඉන්දියානු කොවිඩ් සීඝ්‍ර ආසාදන සාධකය අපට හරස්විය හැකි බවය.
“අපි දූපතක් වීමේ වාසිය අපට තියෙනවා. ඒ වගේම නොපමාව ගත්ත ප්‍රශස්ත ක්‍රියාමාර්ග නිසා අපට මේ යහපත් තත්ත්වයට ළඟාවන්නට හැකිවුණා. නමුත් අපි සැලකිලිමත් විය යුතු දෙයක් තියෙනවා. අපි ආදර්ශයට ගත්තේ සිංගප්පූරැව. ඔන්න දැන් ඒ රටේ අගමැතිතුමාටත් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න වුණා තමන්ට මේ කොවිඩ්19 නිසි පරිදි පාලනය කර ගන්න බැරිවුණා කියලා. මොකක්ද හේතුව? ඔහු කිව්වේ ඔවුන්ට තමන්ගේ ගුවන්තොටුපළ නිසිලෙස කළමනාකරණය කර ගන්නට නොහැකි වූ බවයි. මේක අපටත් හොඳ පාඩමක්. අපි මුලින්ම මේ ගැන උපදෙස් දුන්නා. ගුවන්තොට විවෘත කරනවා නම් රටට එන හැම කෙනෙක්ම පීසීආර් පරීක්ෂණයට ලක්කළ යුතුයි. ඒ වගේම ඒහැම කෙනෙක්ම තරාතිරම නොබලා දින 14 නිරෝධායන කාලයට යටත් කළ යුතුය කියා. මේ උපදේශය අපි දිගටම පිළිපැදිය යුතුයි. සිංගප්පූරැවට වැරදුනේ ගුවන්තොට මේ වගේ කළමනාකරණයකට යටත්කර කටයුතු දිගටම පවත්වා ගෙන නොගිය නිසයි. අපිට ඉන්දියානු කොවිඩ් සාධකයේදී මුලින්ම වරදින්න පුළුවන් තැනත් මේ තැනයි. පාලනයට ලක්කළ යුතු තැනත් මෙතැනයි. අපේ රටේ උදවිය 56,000ක් විතර තව එන්නත් ඉන්නවා. ඒ අය ගේන්න මුල්තැන දෙන්න ඕනෑ. ඊට අමතරව එන උදවිය පාලනයක් ඇතිව ගන්න ඕනෑ. දැනටත් අපේ නිරෝධායන මධ්‍යස්ථානවල 8000ක් තරම් තමා තියාගන්න පුළුවන්. ඒ නිසා නිසි කළමනාකරණයක් ඇතිව රටට ඇතුළුවීම පාලනය කළ යුතුයි.
දැන් පහුගිය දවස්වල රතුඑළි නිකුත්වුණා. එහෙම ආපු අය අතරින්, ආසාදිත අය ඉඳලා. මේ විදියට වැඩිවුණොත් අපේ පාලනය බිඳ වැටෙනවා. ඉන්දියානු සාධකය මතුවෙනවා. මේවා සාකච්ඡා කරලා කලින් සැලසුම් කරලා සුදානම් විය යුතුකාරණා. ඒක කරන්න ඕනෑ තාක්ෂණික කමිටුවේදී. දැන් මාසයක් විතර තාක්ෂණික කමිටුව රැස් වුණේ නෑ. අපි ඉල්ලීමක් කළා ඒ අනුව ලබන බදාදා එය රැස්වේවි. එතනදී මේ ගැටලුව සාකච්ඡා කරලා සුදුසු පියවර නොපමාව ගත යුතුයි. ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ මෙවන් වසංගත තත්ත්වයකදී ඒ ගැටලුවට මුලින්ම මුහුණ දෙන පිරිසයි. ඔවුන් මේ ඉන්දියානු බලපෑම දකින ආකාරය අපට කීවේ එම සංගමයේ සභාපති උපුල් රෝහණය.
“නීති විරෝධි ද්‍රව්‍ය රටට එන මුහුදු මාර්ග තවම විවෘතයි. ඒ ගනුදෙනු බොහෝමයක් ඉන්දියාව සමඟයි තියෙන්නෙ. කේරළ ගංජාවල ඉඳලා දැන් කහ දක්වා මේ රටට එනවා. ඔවුන් මුහුද මැදදි මේ හුවමාරැ කර ගන්නවා. නැත්නම් වෙරළ තීරයටම ගේනවා. ට්‍රෝලර් යාත්‍රිකයෝ මුහුද මැදදී ඉන්දියානුවන් සමඟ මාලුවර්ග පවා හුවමාරැ කර ගන්නවා. විශේෂයෙන්ම පැණිරස කැවිලි වර්ගත් එනවා. විවිධ බඩු භාණ්ඩ හුවමාරු වෙනවා. පරීක්ෂාවෙන් තොරව දෙරටටම මිනිස්සු යනවා එනවා. ගොවිතැන් වැඩට වෙළඳාමට මිනිස්සු එනවා. මේ විදිහට ඉන්දියාවෙන් කොරෝනාත් එන්න පුළුවනි. මෙහෙම රටට එන අය වෙරළ තීරයේ තමා ලැගුම් ගන්නේ. ඒ ප්‍රදේශවල සෞඛ්‍යාරක්ෂිත බවත් අවමයි. මේ නිසා යම් විදිහකට ආසාදිතයෙක් ආවොත් ඔහුගෙන් බර ගණනකට බෝවෙලා මරණ පවා සිදුවෙන්න පුළුවනි. බොහෝ විට අන්න ඒ අවස්ථාවේ තමා අපට මේ ගැන වාර්තා වෙන්න ගන්නෙ. මේ නිසා වෙරළාරක්ෂාවට මුල් තැන දීලා කටයුතු කරන්න ඕනෑ.
ඒ වගේම ජනතාවට යුතුකමක් තියෙනවා මේ වගේ ආගන්තුකයන් ගැන වහාම බලධාරීන්ට දැනුම් දෙන එක.
සුගත් පී. කුලතුංගආරච්චි