පානීය ජලය ගැන අවධානය ප‍්‍රමාණවත්ද?
සියලුම රටවැසියන්ට පිරිසිදු පානීය ජලය සැපයීම රජයේ අභිප‍්‍රාය වී තිබේ. ජනාධිපති ගෝඨාභය රජජපක්ෂ මහතා සිය ප‍්‍රතිපත්තිවල ප‍්‍රමුඛ තැනක් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවනේ වෙන් කර ඇත. පානීය ජලය ගැන විශාල අවධානයක් ලෝකය පුරා තිබේ. සියලු ප‍්‍රජාවට පිරිසිදු පානීය ජලය සැපයීම බලවත් ජාත්‍යන්තර ප‍්‍රශ්නයක් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ජල මූලාශ‍්‍රවලින් සෑහෙන කොටසක් දූෂිත බව ප‍්‍රකට කරුණකි. මෙරට පුරවැසියන් පානීය ජලය සොයා ගැනීම ගැන දුෂ්කරතාවයක සිටින බවට නොයෙක් වාර්තා පළවෙයි.
ජල සම්පාදනය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් රටට තිබේ. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රජයේ පාඩු ලබන ව්‍යවසාය අතර එකකි. රට පුරා ගංඟා, ඇල දොල හා වැව් සෑහෙන ප‍්‍රමාණයක් තිබේ. දෛනික අවශ්‍යතා වෙනුවෙන් ජලය හිඟ අවස්ථා ඇත. විශේෂයෙන් ජල මූලාශ‍්‍ර අපිරිසිදු වී තිබේ. ජනාකීර්ණ වීම, කර්මාන්ත හා කෘෂිකර්මාන්ත හේතු මත රසායනික දේ එකතු වීම බලවත් ප‍්‍රශ්නයකි. සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම පහසු නැත. විශාල ආයෝජනයක් කළ යුතුය. රජය එයට යොදන අවධානය අනාගතයට ඉතා වැදගත්ය.
රටට පිරිසිදු පානීය ජලය සපයන වෑයම
දී ශ‍්‍රී ලංකාවේ පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම්වල ප‍්‍රමාණාත්මක තත්ත්වය ගැන 1980 අවුරැද්දේ නිරීක්ෂණයක් කර තිබේ. ඒ වනවිට මෙරට ජනගහනයෙන් ඉතාම අඩු ප‍්‍රතිශතයකට පිරිසිදු කරන ලද නල ජල පහසුකම් ආණ්ඩුව සපයා තිබූණි. වසර 2000 වනවිට මෙරට සෑම පුරවැසියකුටම පිරිසිදු නල ජලය සැපයීමට ඉලක්කයක් විය. එහෙත් එය අසාර්ථක වී තිබේ. ජල සම්පාදන මණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය පුළුල් කරන ලද අතර ග‍්‍රාමීය ජල යෝජනා ක‍්‍රම සෑහෙන ප‍්‍රමාණයක්, ජාත්‍යන්තර ආධාර ඇතිව අරඹා ඇත. එහෙත් අද වනවිටත් ශ‍්‍රී ලංකාව ජල සම්පත කළමනාකරණය කරගැනීමට නොහැකිව බලවත් අර්බුදයකය.
අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම සහ කතරගම ඇතුළු ප‍්‍රදේශවල පිරිසිදු කරන ලද වතුර තොග වශයෙන් විකිණීම ප‍්‍රසිද්ධ ව්‍යාපාරයකි. සුළු වෙළෙන්දෝ සිය වෙළෙඳසල ඉදිරිපිට වතුර ලීටරයක් රු. තුනත් හතරත් අතර මිලකට විකුණති. නගරයෙන් බැහැර ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කරන විට වතුර ලීටරයේ මිල තවත් ඉහළ නගී. වාහනයක පටවා ගත් විශාල බැරල්වල වතුර පුරවන අතර ශබ්ද විකාශන යන්ත‍්‍රයකින් වතුර විකුණන බව ප‍්‍රචාරය කෙරේ. මේවා නිලධාරීන් නොදන්නවා නොවේ. ආණ්ඩුවක් බලයට පත්ව ජනාධිපතිවරයකු ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන තෙක් නිහඬව සිටී. මෙම ජලය ලබාගන්නා තැන, ඒවායේ පිරිසිදු කිරීමේ ක‍්‍රමය නිසි පිළිවෙළකට තිබිය යුතුය. මෙම ලිපියට පසු අනවසර ජල විකුණන අවස්ථා මාෆියාවක් බව සඳහන් කර වැටලීම් නොකිරීම බලධාරීන්ගේ වගකීමකි. රජය කළ යුතු මෙහෙවර විවිධ පුද්ගලයන් සහ ව්‍යවසායකයන් කරන අතර ඒවායේ ප‍්‍රමිති ප‍්‍රශ්න තිබේ. ජනතාවට සා පිපාසාව සම්බන්ධ ප‍්‍රශ්න හැර අනෙකක් නැත.
ලෝකයේ ජල හිඟය ගැන මතවාද
අලුත් වාර්තා අනුව අනාගතයේදී ලෝකයේ යුද ගැටුම්වලට හේතුව ජලය බෙදා ගැනීමේ ප‍්‍රශ්න විය හැකිය. දැනටමත් බලවත් රටවල් තෙත් බිම් සහිත ප‍්‍රදේශ ස්වකීය පාලනය යටතේ තබා ගැනීමට තැත් කරති. ආධාර හා ණය වැඩසටහන් සපයන අතර එමගින් වක‍්‍ර බැඳීමකට ගමන් කරන බව පෙනේ. ශ‍්‍රී ලංකාව ජල සම්පත බහුල රටකි. වෙනත් රටවල් මුහුදු ජලය පිරිසිදු කරන පානීය ජලය වශයෙන් ප‍්‍රයෝජනයට ගැනීම ගැන සොයා බලන අතර තවත් රටවල් හිම ග්ලැසියර් ගෙනැවිත් දියකර ඒවා ජල ප‍්‍රවාහ වශයෙන් බෙදා දෙන්නට ඇති හැකියාව ගැන සොයා බලති.
ජාත්‍යන්තර දත්ත අනුව වසර 2050 වනවිට ලෝකයේ නාගරික ප‍්‍රදේශවල ජීවත්වන ජනගහනය බිලියන 6.3 ඉක්මවනු ඇත. 2009 දී බිලියන 3.4ක් වූ නාගරික ප‍්‍රදේශවල ජීවත් වන පිරිස කෙටි කාලයක් ඇතුළත දෙගුණයකට ආසන්න ගණනකින් ඉහළ යන්නට ඉඩ තිබේ. මෙම පිරිසට දිනපතා පානයට සහ නිසි සනීපාරක්ෂාව වෙනුවෙන් පිරිසිදු ජලය සැපයීම ප‍්‍රශ්නයක් විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ පළ කර ඇති වාර්තාවක් අනුව මිලියන 768 ක ජන කොටසක් පිරිසිදු පානීය ජලය නොමැතිකමින් පීඩා විඳිති. මෙම ප‍්‍රශ්නය සුළු කොට තැකිය නොහැකිය. එක්සත් ජාතින්ගේ අන්තර්ජාතික ජල සංවර්ධන වාර්තාවට අනුව දිනපතා 14,000කට අධික පිරිසක් ජලය විෂ වීමෙන් මියයන බව ගණන් බලා ඇත. එයින් 11,000 ක් අවුරුදු පහට අඩු දරුවන් බව සඳහන්ය. ශ‍්‍රී ලංකාව ද ගමන් කරමින් සිටින්නේ මෙම අන්තර්ජාතික ප‍්‍රජාව මුහුණ දී ඇති ගැටලුවෙන් වෙනත් පැත්තකටය. රට සොබා සෞන්දර්යයෙන් අනූනය. දීර්ඝ නියං සමයක් හෙයින් නොවේ නම් රටට ජල හිඟකමක් නැත. නමුත් නාගරීකකරණය වැඩිවෙයි. ප‍්‍රධාන නගර සියල්ල පර්චස් හයක සිට දහය දක්වා කුඩා කැබලිවලට කැඩෙන අතර ඒවායේ අධික ජනගහන ඝනත්වයක් ඇති වන්නට පටන්ගෙන තිබේ. එදිනෙදා ප‍්‍රයෝජනයට ජලය අවශ්‍යය.
ලෝකයේ රටවල් ගණනාවක් එකතු වී ජල සංරක්ෂණ අරමුදලක් පිහිටුවා ඇත. නොයෙක් රටවල පිළිගත් මූල්‍යායතන පළමු වතාවට පොදු ජනතාවට පානීය ජල පහසුකම් සපයා ගැනීමට ණය නිකුත් කරන්නට පියවර ගෙන තිබේ. ජල පෝෂක ප‍්‍රදේශ සහ ස්වභාවික ජල පද්ධති ආරක්ෂා කරන්නට මැදිහත්විය හැකි ආකාරය ගැන පොදු සම්මුතිවලට එළැඹෙන බව අනාවරණය වෙයි. රට තුළ ඇති ජල සම්පත රටට වැදගත් නමුත් එය නිසි ආකාරයට කළමනාකරණය කළ යුතු දිනය ක‍්‍රමයෙන් ළං වෙමින් තිබේ.
ජනතාව වෙනුවෙන් නිසි වැඩ පිළිවෙළක්
මෙරට ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් කළ යුතු දේ කුමක්ද? අතීතයේ සිට නොයෙක් ක‍්‍රියාමාර්ග අනුගමනය කර තිබේ. නළ ළිං ඉදිකිරීම එහි එක පැත්තකි. මහපොළව අභ්‍යන්තරයේ ඇති ජලය පොළව කැන ඇතුළු කරන නලයක් මගින් මතුපිටට ගෙන භාවිතා කිරීම මෙයින් සිදුවෙයි. නළ ළිං ඉදිකිරීම සමඟ පොළව අභ්‍යන්තරයේ ඇති ජල නහර සිඳී යන අතර ඒවායේ තැන්පත්ව ඇති සියලු ජල ප‍්‍රවාහය එකවර ප‍්‍රයෝජන ගැනීම නුසුදුසු බව පර්යේෂක මතය වී ඇත. නළ ළිං කැනීම අධෛර්යවත් කර තිබේ. සෑම නිවෙසකටම ලිඳක ඉදිකිරීම ද පාලනය කිරීමේ අදහසක් රටට තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගෘහාශ‍්‍රිත ළිං ගැන සමීක්ෂණයක් කර ඇති අතර අනාගතයේදී තව තවත් ළිං ඉදිකිරීම නුසුදුසු බව මෙම දත්ත පදනම් කරගෙන දක්වා තිබේ. ලෝක බැංකුව වසර හයකට පමණ පෙර ග‍්‍රාමීය ජල යෝජනා ක‍්‍රම ඇරඹීය. එයට අනුව ජලය හිඟ ප‍්‍රදේශවල ජීවත් වන පිරිස සාමූහිකව ග‍්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘතියක් අරඹති. එයට අවශ්‍ය අරමුදල් ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන අතර එයට අරමුදල් ලෝක බැංකු ආධාරයක් වශයෙන් සැපයේ. මෙරට බොහෝ ප‍්‍රදේශවල මෙම ග‍්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘති ආරම්භ කරන ලද නමුත් නළ ළිං හා සමානව ඒවායේ පැවැත්ම ද අවසන් වන බව නොයෙක් ප‍්‍රදේශවලින් ලැබෙන වාර්තා දක්වයි. නිසි නඩත්තුවක් නැති අතර ක‍්‍රමවත් පාලනයක් නැති හෙයින් ඒවා අත්හැර දමා තිබෙන අවස්ථා අනාවරණය වෙයි.
වරින් වර කරන තාවකාලික පිලියම්වලින් පලක් නැත. නාගරික ප‍්‍රදේශවලට පමණක් නොව ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ද පිරිසිදු ජලය සම්බන්ධ ප‍්‍රශ්න තිබේ. රජරට ප‍්‍රදේශයේ පැතිරෙන වකුගඩු රෝලයට හේතුව රසායනික මිශ‍්‍රිත ජලය පානය කිරීම බව විද්වත්හු කියති. ශ‍්‍රී ලංකාව අධික කෘමි හා කෘෂි රසායන භාවිතා කරන අතර ඒවායේ වියෝජනය නොවන කොටස් පරිසරය ඔස්සේ ජලයට එකතු වී තිබේ. කැලණි ගඟ එයට එක උදාහරණයකි. කොළඹ නගරය සහ ආශ‍්‍රිත ප‍්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවයෙන් සියයට 80 ක් සපයන්නේ කැලණි ගඟෙන් ලබා ගන්නා ජලය පිරිසිදු කිරීමෙන්ය. අවාසනාවකට මෙන් බස්නාහිර පළාත තුළ දී කැලණි ගඟ අතිශය අප‍්‍රසන්න තත්ත්වයකට පත්වෙයි. කඩුවෙල සිට මෝදර දක්වා ගඟ දෙපස ඇති හෝටල්, කාර්මික ස්ථාන සහ කම්හල් හයදහස් පන්සියයකට වැඩි ප‍්‍රමාණයකින් බැහැර කරන අපද්‍රව්‍ය එකතු වෙන්නේ කැලණි ගඟට බව පරිසර අමාත්‍යංශ වාර්තාවල දැක්වෙයි. මෙය ඉතා ශෝචනීය තත්ත්වයකි.
පාලකයන්ට බලය ජනතාවට ජලය
දේශපාලනඥයන්ට ජනතාවගේ ඉල්ලීම් බලයට එන මගකි. රතුපස්වල සිද්ධිය එයට එක උදාහරණයකි. ජනතාව විරෝධතාවලට පොළඹවන අතර ඒවායෙන් වාසි ගන්නේ දේශපලනඥයෝය. රතුපස්වල සිද්ධිය අනුව එහි ජනතාවගේ පානීය ජලයට විෂ මිශ‍්‍ර වී තිබුණි. පිරිසිදු ජලය ඉල්ලා සිටි ජනතාව පාරට බැස විරෝධතා පළකරන ලද අතර තත්ත්වය පාලනය කිරීමට යාමේදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. නොයෙක් තැන්වල මෙයට සමාන සිද්ධි තිබේ. මම ජනතාවගේ වේදනාව අවුළුවන දේශපාලනඥයෝ ඒවායේ පිහිටෙන් බලයට එති. බලයට පැමිණි පසු සිද්ධි අමතකය. වත්මන් ආණ්ඩුව ජනතාවගේ මූලික ප‍්‍රශ්න ගැන පහල සිට බලන ක‍්‍රමයකට අවතීර්ණ වන බව නිරීක්ෂණය කළ හැකිය. සියලු රටවැසියන්ට පිරිසිදු ජලය සම්පාදනයට තීරණය කිරීම එහි එක පියවරකි.
මෙරට සියලු ජල මූලාශ‍්‍රවලින් ගන්නා ජලය නිසි ප‍්‍රමිතියකට අනුව පිරිසිදු ද යන්න සොයාබලන පහසු හා ඉක්මන් යාන්ත‍්‍රණයක් අවශ්‍යය. ජනගහනයෙන් සෑහෙන කොටසක් ළිං භාවිත කරති. ඉඩම කුඩා වනවිට ආසන්න නිවාසවල වැසිකිළි හා කැසිකිළිවලට නිරාවරණය වෙයි. සිය ජල මූලාශය පිරිසිදු ද යන්න දැනගන්නේ කෙසේද? නිසි සේ පිරිසිදු කරන ලද ජලය ජනතාවට දෙන නිසි ක‍්‍රමවේදයක් අවශ්‍යය. පෞද්ගලික ජල මුලාශ‍්‍රවල පිරිසිදුකම සොයා බැලිය යුතුය. රෝග ඇතිවීමෙන් පසු පරික්ෂා කරගතහොත් එය උත්තරයක් නොවේ. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මහජනතාවගේ ජල සාම්පල් පරීක්ෂා කරයි. එය වෙහෙසකර කාර්යයකි. ඉක්මනින් තොරතුරු නොලැබේ. පෞද්ගලික සමාගම් කොළඹ ආශ්‍රිතව එය කරගෙන යයි. නගරයෙන් බැහැර ජනතාවට තමන්ගේ ජල මූලාශ ගැන තැබිය හැකි විශ්වාසය කුමක්ද? විකුණන ජලය ගැන විශ්වාසයක් තැබිය හැකිද? රට පුරා බෝතල් වතුර විකුණන සමාගම් තුන්සියයකට ආසන්නය. සමහර සමාගම්වල තත්ත්ව වාර්තා රහිත වීම මත බලපත‍්‍ර තහනම් කර තිබේ. කිරි බෝතලයකට හෝ සිසිල් බීම බෝතලයකට වඩා ජලය ලීටරයක විකිණුම් මිල ඉහළ ගොස් තිබේ. එවැනි පසුබිමක රටට ජලය සම්පාදනය කරනු හැර අනෙක් විසඳුමක් නැත.
ගාමිණී සරත් ගොඩකන්ද