කල්බදු කුලිය ගෙවීමට හෝ තම අනුග්‍රහකයන්ට ප්‍රමාණවත් පහසුකම් සැපයීමට අපොහොසත් වූ කොළඹ නගරයේ ඇති ක්‍රීඩා සමාජවල කළමනාකරණය භාර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා අප සහෝදර පුවත්පත වන සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ප්‍රධාන සමාජ ශාලා තුනක් ඔවුන්ගේ බදු ගිවිසුම් අනුව ගෙවිය යුතු මුදල් ගෙවීම වසර ගණනාවක් මුළුල්ලේ පැහැර හැර ඇති බවත් එමඟින් රජයට ලැබිය යුතු ආදායම අහිමි වී ඇති බවත්ය. මෙම ක්‍රීඩා සමාජ එහි සාමාජිකයන්ගෙන් විශාල මුදලක් අය කරන නමුදු මනා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන් යටතේ ඒවා පවත්වාගෙන නොයන බවද එහෙයින් ඒවා උසස් ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යාම සහතික කිරීම නාගරික සංවර්ධන අධිකාරියට අවශ්‍ය බවද රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ...
මෙලෙස කල්බදු කුලිය ගෙවීමට අපොහොසත් ඇති ක්‍රීඩා සමාජ අතුරින් පෙරමුණේ සිටින්නේ ඔටර්ස් ඇක්වටික් සමාජය, කොළඹ ජිම්කානා සමාජය සහ කොළඹ 80 ක්‍රීඩා සමාජයයි.
සැප්තැම්බර් 30 වන දිනය විට එම ස්ථානයෙන් ඉවත්ව එම ඉඩම ග්‍රාම නිලධාරිවරයා වෙත භාර දෙන ලෙසට තිඹිරිගස්යා ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසනායක මහත්මිය මේ වන විටත් ඔටර්ස් ක්‍රීඩා සමාජයට නියෝග කරමින් ලිපියක් යවා තිබේ. ඔටර්ස් ක්‍රීඩා සමාජයේ 30 වසරක බදු ගිවිසුම 2019 සැප්තැම්බර් මාසයේ අවසන්වී තිබේ. හිඟ මුදල් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දී තිබූ අතර ඒ අනුව ඔටර්ස් ක්‍රීඩා සමාජය හිඟ මුදලින් කොටසක් ගෙවා තිබේ. තවත් ලක්ෂ 31ක මුදලක් ගෙවීමට ඇති හෙයින් මෙලෙස ඉවත් කිරීමේ දැන්වීම එවීමට තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරිය පියවර ගෙන තිබේ. හෙක්ටයාර 1163ක් පමණ වන මෙම භූමිය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාර දෙන ලෙස දන්වා ඇති අතර එසේ භාර නොදුනහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කිරීමට නියමිත බවද පැවසේ.
මෙරට ඇති පැරණිතම ක්‍රීඩා සමාජයක් වන ඔටර්ස් ජලජ ක්‍රීඩා සමාජය පිහිටා ඇත්තේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේය. 1936 ආරම්භ කෙරුණු මෙම ක්‍රීඩා සමාජය බෞද්ධාලෝක මාවතට ගෙන එන ලද්දේ 1956 වසරේය. එම වසරේ සිට ගෙවීමට නියමිතව තිබූ බදු මුදල වසරකට රුපියල් 222කි. 1989දී එහි බදු ගිවිසුම තවත් වසර 30ක කාලයක් සඳහා අලුත් කෙරිණි. එසේ වුවද ගෙවීමට නියමිත බදු මුදල වූයේ පැරැණි මුදලමය. 2005දී බදු සංශෝධනයක් සිදු වූ අතර ඒ අනුව බදු මුදල වසරකට මිලියන 7ක් ලෙස තක්සේරු කෙරිණි. මෙයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමෙන් පසු අධිකරණය වාර්ෂික බදු මුදල ලක්ෂ 38ක් දක්වා අඩු කළද එය 1989 වසරේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවිය යුතු විය. ඒ අනුව ඔවුන් ගෙවිය යුතු වූ සමස්ත බදු මුදලින් මිලියන 86ක් ගෙවනු ලැබුවද ඉතිරිය සපයා ගැනීම අසීරු විය. එම ඉඩමේ කොටසක් වාණිජ කටයුත්තක් සඳහා බදු දී එම මුදලින් බදු මුදල් ගෙවීමට පියවර ගනිමින් සිටියදී කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සියල්ල කණපිට හැරිණි. ඔටර්ස් ක්‍රීඩා සමාජයට බදු මුදල් නිසි පරිදි ගෙවීම අසීරු වූයේ එහෙයිනි. 2005 වසර වන තෙක් රුපියල් මිලියන 14 ක තැන්පතුවක් ඔටර්ස් සමාජය සතුව පැවතුනද, 2005 සිදු කෙරුණු බදු සංශෝධනයෙන් පසු ඔවුනට දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව තිබේ. ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ඉඩම අත්පත් කර ගැනීමේ ලිපිය එවන ලද්දේ මෙවැනි වාතාවරණයක් යටතේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔටර්ස් ක්‍රීඩා සමාජය නාගරික සංවර්ධන අධිකාරිය සමඟ යළිත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. දෙස් විදෙස් පිහිනුම් ක්‍රීඩකයන් අතර ඉතා ජනප්‍රිය ක්‍රීඩා සමාජයක් වන ඔටර්ස් ක්‍රීඩා සමාජය ටෙනිස්, බැඩ්මින්ටන්, ස්කොෂ්, බිලියඩ්, ස්නුකර්, බාස්කට් බෝල්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩා සඳහාද පහසුකම් සපයයි. එහි අවම සාමාජික ගාස්තුව වසරකට රුපියල් 21000කි. සාමාජිකයන් 5000 කට අධික පිරිසක් එහි සිටින අතර ඔවුන්ගෙන් 3000 ක් පමණ මෙම වාර්ෂික සාමාජික ගාස්තු ගෙවන සාමාජිකයන්ය. අනෙක් පිරිස කෙටි කාලීන සාමාජිකත්ව දරන්නන්ය.
වත්මන් රජයට සංවර්ධන කටයුතු සඳහා ඉඩම් පවරා ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවද පැවසේ. කොළඹ හතේ අක්කර දෙකක පමණ ඉඩමක් යනු අධික මිලකින් යුතු භූමිභාගයකි. එහෙත් වසර 84ක් පමණ පැරුණි මෙවැනි ක්‍රීඩා සමාජයක් එක්වරම වසාදැමීම සාධාරණදැයි වගකිව යුත්තන් සිතා බැලිය යුතුය.
බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට වාර්තා වන තවත් ක්‍රීඩා සමාජයක් වන්නේ කොළඹ ජිම්කානා සමාජයයි. 1863 ආරම්භ කර ඇති මෙම ක්‍රීඩා සමාජය මුලින් ආරම්භ කෙරුණේ ගාලු මුවදොරය. පසුව මේට්ලන්ඩ් චන්ද්‍රවංකයට ගෙන එන ලදි. මෙම ක්‍රීඩා සමාජය යටතේ කොළඹ ක්‍රිකට් සමාජය, කොළඹ හොකී සහ පාපන්දු සමාජය සහ ක්වීන්ස් කලබ් යන සමාජද පවතී. ශාරිරික යෝග්‍යතා සහ විනෝදාත්මක පහසුකම් සපයන ජිම්කානා සමාජය 2016 දී බදු පැහැර හැරීමේ චෝදනාව මත අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට හා වැටලීමකට ද බඳුන් විය. එහිද වාර්ෂික සාමාජික ගාස්තුව රුපියල් 21000කි.
නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරන පරිදි බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති අනෙක් ක්‍රීඩා සමාජය වන්නේ කොළඹ 80 ක්‍රීඩා සමාජයයි. යටත් විජිත සමයේ ආරම්භ කරන ලද මෙම ක්‍රීඩා සමාජය පිහිටා ඇත්තේ කොළඹ නිදහස් මාවතේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා