පළාත් සභා මැතිවරණයට බාලගිරි දෝෂය වැළඳී බොහෝ කල්ය. ඇතැම් පළාත් සභාවල මැතිවරණ වසර තුනකට වඩා කල්ගොස් ඇත. මුලින්ම නිල කාලය අවසන් වූයේ සබරගමුව පළාත් සභාවේය. ඒ 2017 සැප්තැම්බර් 26 දාය. 2017 සැප්තැම්බර් 30 නැගෙනහිර පළාතේද, 2017 ඔක්තෝබර් 01 දා උතුරු මැද පළාතේද 2018 ඔක්තෝබර් 08දා මධ්‍යම පළාත් සභාවේද 2018 ඔක්තෝබර් 10දා වයඹ පළාත් සභාවේද 2018 ඔක්තෝබර් 24 උතුරු පළාත් සභාවේද ඉන්පසු දකුණ - බස්නාහිර හා ඌව සභාවලද නිල කාලය අවසන් විය. එම සභාවල නිල කාලය හමාර වී මැතිවරණ නොපැවැත්වීම නිසා දැනට පවත්නේ ආණ්ඩුකාර පාලනයකි.
දිනෙන් දින කල් ගිය පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම සඳහා ළඟදීම පළාත් සභා මැතිවරණ පනතට සංශෝධනයක් සිදුකරනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වලින් අනාවරණ වේ. පසුගිය රජය සමයේ පළාත් සභා ඡන්ද කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා නීති සම්මත කෙරිණි. එහෙත් එහි කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් හටගත් ගැටලු නිසා නැවතත් සීමා නිර්ණය සමාලෝචනයට ලක් කෙරිණි. ඒ සමඟ පළාත් සභා මැතිවරණ දිගින් දිගටම කල් ගියේ මැතිවරණය පැවැත්විය යුතු නිසි ක්‍රමවේදයක් පිළිබඳ විසඳුමකට එළඹිය නොහැකි වූ හෙයිනි.
පළාත් සභා සඳහා මන්ත්‍රීන් තෝරාගැනීමේ ක්‍රමවේදයද දැඩි විවේචනයට ලක්විය. එම සභිකයන්ගෙන් 50% ඡන්දයෙන්ද 50% ලැයිස්තුවෙන්ද තෝරාගත යුතු යැයි යහපාලන රජය සම්මත කරගත් නීතියේ සඳහන්ය. එහෙත් එම ක්‍රමවේදය ගැන වත්මන් රජයේ එකඟතාවක් නැතැයි වාර්තා වේ.
මෙම අර්බුදකාරී තත්ත්වය නිසා පළාත් සභා මැතිවරණ දිගටම කල් ගියේය. ඒ නිසා යෝජිත පනත් සංශෝධනය ඉතා ඉක්මණින් සම්මත කර ගැනීමටත් ඉන් අනතුරුව කඩිනමින් පළාත් ඡන්ද පැවැත්වීමටත් රජය අපේක්ෂා කරන බව වාර්තා වෙයි. එහෙත් රජයේම ඇතැම් හවුල්කාර පක්ෂ පැරණි සමානුපාතික ක්‍රමයට අකැමැත්ත ප්‍රකාශ කර ඇතැයිද සඳහන්ය.
ශ්‍රී ලංකාවේ පළාත් සභා පිහිටුවීමට මුල් වූයේ 1987 ජුලි මස 29 වැනි දින ජේ.ආර්.ජයවර්ධන හා රජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු - ලංකා ගිවිසුම හේතුවෙනි. ඒ අනුව පළාත් සභාව නිර්මාණය වූයේ ඉන්දියානු මොඩලය අනුවය. ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හඳුන්වා දුන් අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 154(අ) සිට 154(ඩ) දක්වා අලුතින් පරිච්ඡේදයක් ඇතුළත් විය. එපමණක් නොව 1987 අංක 42 දරණ පළාත් සභා පනත ද එමගින් හඳුන්වා දුන්නේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එක් කළ 13 වැනි සංශෝධනය අනුව 1988 වසරේ පෙබරවාරි 03 වැනි දින එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, රටේ පළාත් අටක් වෙනුවෙන් මැතිවරණය ගැසට් කරනු ලැබීය. දිවයින තුළ පැවති පළාත් නවය වෙනුවට පළාත් අටක් සඳහා පමණක් නාම යෝජනා කැඳවීමට හේතු වුණේ උතුරැ හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ බැවිනි.
වැඩක් කෙරෙන්න නම් මානව - මූල්‍ය සම්පත් දිය යුතුයි
පළාත් සභා යනු පිටින් ගෙනැවිත් අප වෙත බලයෙන් පැටවූවක් බැවින් එය සුදු අලියකු බඳුයැයිද, එය විශාල මුදලක් වැය කරමින් පවත්වාගෙන යෑමට සිදුවී තිබෙන ආයතනයක් බවද, ඉන් රටට එතරම් ප්‍රයෝජනයක් අත් නොවන බවද ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා වරක් ‘දේශය‘ හා පැවසුවේ පළාත් සභා ප්‍රයෝජනවත් ලෙස පවත්වාගෙන යෑමට නම් එයට වැඩ කිරීමට අවශ්‍ය කරන මානව සම්පත් හා මූල්‍යමය සම්පත් ලබාදිය යුතු බවටය. එමෙන්ම ඔවුන්ගේ විෂයපථය පුළුල් කළ යුතු බවද අධ්‍යාපනය, සෞඛ්‍ය, සුබසාධන හා ප්‍රජා සේවා වැනි විෂය මුළුමනින්ම පළාත් සභාවලට පැවරිය යුතු බවද ඔහු පැවසීය.. එවිට තරගකාරී මට්ටමින් එම කටයුතු තවදුරටත් වර්ධනය කිරීමට වගකීමක් හා වගවීමක් පළාත් සභාවලට පැවරෙන හෙයින්. පළාත් සභා සඳහා වැයවන වියදමින් ප්‍රයෝජනයක් අත්වනු ඇතැයිද එසේ නොවන්නේ නම් එය රටට අනවශ්‍ය දෙයක් ලෙස සලකා බැහැර කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
19ට කලින් වෙනස් කළ යුත්තේ 13යි
ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතාගේ මතය වන්නේ පළාත් සභා මෙරටට අනවශ්‍ය ආයතනයක් බවය. “ පළාත් සභා ක්‍රමය අපේ රටේ අවශ්‍යතාවක් නිසා නිර්මාණය වූවක් නොවෙයි. එය ඉන්දියාව අප වෙත බලෙන් පැටවූවක්. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්තුවේද නැහැ. ඒ නිසා පළාත් සභාව කිසිදු ජන වරමකින් හෝ ජනතා අනුමැතියකින් නිර්මාණය වූවක් නොවෙයි. එය ලංකාවට එල්ල කළ මහා ප්‍රහාරයක් විනා ලංකාවට කිසිසේත්ම අවශ්‍ය දෙයක් නොවෙයි. එය රටේ මුදල් කාබාසීනියා කරන ව්‍යාපෘතියක්. පළාත් සභාවලින් ලංකාවට සිදුවන හානිය ඉතා විශාලයි. දැනට ක්‍රියාත්මක නොවූවත් උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිට පොලිස් බලතල ලබා දිය යුතුය යන්න 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා. පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් එයට තේරී පත්වන මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම මේ බලතල ඉල්ලා සිටීවි.. එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත්. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභාවක් මගින් ස්ථාපනය කරන නීතිය අපේ පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කරන නීති අභිබවා යන මට්ටමින් ක්‍රියාත්මක වනවා. පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් නොමැතිව එම නීති අවලංගු කළ නොහැකියි.
ඒ අනුව අනාගතයේ තුනෙක් දෙකක් නොමැති පාර්ලිමේන්තුවකට පළාත් සභාව මගින් පනවන නීති අවලංගු කිරීමට හැකියාවක් නැහැ. වවුනියාවෙන් ඔබ්බට වෙනත් තීතියක් පවතින තත්ත්වයක් උද්ගත වේවි. මෙය ඉතාමත් භයානක තත්ත්වයක්. ඒ නිසා පළාත් සභා වහාම අවලංගු කළ යුතුයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරනවා. ඊට පෙර අවලංගු කළ යුත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ආණ්ඩුව බලයට පත් වුණේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ජනමතයකින්. ඒ නිසා ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබේනම් 13 අවලංගු කළ හැකියි. එවිට පළාත් සභා ඉබේම අහෝසි වෙනවා. එහෙත් ආණ්ඩුවට පළාත් සභා අහෝසි කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව මට පෙනෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය මහජනතාවගේ බදුමුදල්වලින් යැපෙන තවත් පැළැන්තියක් නිර්මාණය කිරීමයි. පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා මැතිවරණයක් නොපවත්වා දැනට පළාත් පාලන ආයතනවල සිටින සභාපතිවරුන් හෝ එම ආයතනවල සිටින මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් නම් කරන සභිකයන් පළාත් සභාවට නම් කොට ඔවුන් යටතේ එම පළාත් සභාව පවත්වාගෙන යා හැකියි. එවිට ඔවුන්ට අමතර වැටුපක් ගෙවිය යුතු නැහැ. පසුගිය කාලය පුරා පැවැති පළාත් සභාවලින් ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබුණේ නැහැ. ගම්වල අවශ්‍යතා පළාත් පාලන ආයතනය මගින් සිදු වෙනවා. පළාත් සභා යනු සුදු අලියෙක් පමණක් නොව රටේ ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරන ආයතනයක්. පළාත් සභා සුළු මුදලක් ජනතාව වෙනුවෙන් වැය කරමින් ඉතිරිය ඔවුන්ගේ සුඛ විහරණය සඳහා වැය කරන ආයතනයක්. රටට අහිතකර දේවල් රජයක් විසින් නොකළ යුතුයි. ඒ නිසා පළාත් සභා සඳහා මැතිවරණයක් කුමන ආකාරයකින් හෝ නොපැවැත්විය යුතුයි.” යනුවෙන් සඳහන් කළේය.
ලංකාවට අවශ්‍යම ආයතනයක්
ශ්‍රී ලංකාවට පළාත් සභා මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේ ඕපපාතිකව නොව උතුරු හා නැගෙනහිර දෙපළාතේ පැවැති දේශපාලන ගැටලුවට විසඳුමක් ලෙස යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කරයි. ඔහුගේ මතය වන්නේ පළාත් සභා මෙරටට අවශ්‍ය බවටය. එයට ඉන්දීය බලපෑමක් තිබුණද දීර්ඝ කාලයක් පුරා පළාත් සභා වැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ බවද, එහෙත් උතුරැ හා නැගෙනහිර පළාත්වල පළාත් සභාව ස්ථාපිත වූයේ වෙනස් මුහුණුවරකින්. බවද, ඊට පාදක වූයේ එවක පැවැති යුදමය වාතාවරණය බවද ඔහු කියා සිටී.
“පළාත් සභාව සුදු අලියෙක් ලෙස ඇතැමුන් හඳුන්වනවා. ඇත්තටම පවතින්නේ පළාත් සභා ක්‍රමයේ වැරුද්දක් නොවෙයි. පළාත් සභාව පවත්වාගෙන යෑමට සමත් අවංක අධිෂ්ඨානයකින් යුතු දේශපාලකයන් සහ නිලධාරීන් එයට නොමැති නිසා ඉන් ලැබිය යුතු සේවය ජනතාවට ලැබෙන්නේ නැහැ. පළාත් සභාව ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආයතනයක් ලෙස මා දකිනවා.. අවාසනාවට බොහෝ අය එය යොදා ගන්නේ ජාතික දේශපාලනයට ප්‍රවිශ්ට වීමේ මාර්ගයක් ලෙසයි. එමගින් ඉටු කළ හැකි සේවය ලබා දී එය නිවැරුදිව භාවිත කරන බවක් පෙනෙනන්ට නැහැ.
මූල්‍ය කොමිෂන් සභාව හරහා පළාත් මට්ටමින් පළාත් සභාවලට ලැබෙන ප්‍රතිපාදන මහජන සේවය සඳහා භාවිත නොකොට ඒවා යළි මහා භාණ්ඩාගාරය වෙත යවන පළාත් සභා තිබෙනවා. එමෙන්ම මේවායේ නාස්තිය හා දූෂණය කොතරම්ද? අකාර්යක්ෂම නිලධාරීන් නිසා පළාත් සභා ක්‍රමය පිරිහී තිබෙනවා. මීට වසර 20කට පෙර අසෝක ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පළාත් සභා ක්‍රමය සමාලෝචනය කරන වාර්තාවක් එළිදැක්වුණා. පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීමට අවශ්‍ය නිර්දේශ එහි සඳහන් කර තිබෙනවා. අද වන තෙක් ඒ කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කර නැහැ. පළාත් සභාවලින් ඉටු කෙරෙන කාර්යභාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සමීක්ෂණයක් සිදු කර නැහැ. ශ්‍රී ලංකාව බලය බෙදාහරින ලද රටක්. එහෙත් 1988 අංක 42 දරණ පළාත් සභා පනත මගින් බලය බෙදා හැරියද එම බලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රමුඛ කර ගනිමිනුයි විමධ්‍යගත කළේ.ඉන් වුණේ පළාත් සභාවලට වැඩ කළ නොහැකි වාතාවරණයක් නිර්මාණය වීමයි. එවැනි පසුබිමක් යටතේ අද පළාත් සභා අනවශ්‍ය යැයි කියනවා. මේවා නිරර්ථක තර්ක. පළාත් සභා ක්‍රමයේ වැරැද්දක් නැහැ. සිදුවිය යුත්තේ යහපත් දේශපාලනික පරිචයක් සහිත මිනිසුන් පළාත් සභාවලට පත් වීම සහ නිලධාරීන් සුබවාදී වීමයි.
මේ වන විට පළාත් සභා ඡන්ද විමසීම දිනෙන් දින කල් යමින් තිබෙනවා. මැතිවරණ නිරීක්ෂකයකු ලෙස මගේ මතය වන්නේ නව ක්‍රමය හෝ මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය හෝ යන කුමන හෝ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. පසුගිය සමයේ පැවැති යහපාලන රජය පළාත් සභා සඳහා මැතිවරණ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ ඉතා කඩිමුඩියේ. ඔවුන් එක රැයකින් සමස්ත මැතිවරණ ක්‍රමවේදයම වෙනස් කළා. එසේ වෙනස් කළේ ඒ සම්බන්ධයෙන් සමාජයේ පුළුල් කතිකාවතක් පවත්වා නොවෙයි. පළාත් සභාවල කාන්තා නියෝජනය ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඔවුන් සිදු කළේ වෙනත් කාර්යයක්. නමුත් ලංකාවේ මැතිවරණ ක්‍රමවේදය තුළ එලෙස හඳුන්වා දුන් මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ඉතා සාර්ථක මැතිවරණ නියෝජන ක්‍රමයක් ලෙස මා දකිනවා. එහෙත් එය යම් යම් සංශෝධනවලට බඳුන් කළ යුතුයි. ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීම වඩාත් සුදුසු බවයි මගේ හැඟීම.” යනුවෙන් සඳහන් කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා