ගාල්ල සිට කි.මී. 65ක්ද, දෙණියාය සිට කි.මී. 26ක්ද දුරින් පිහිටි ලංකාගම නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. සිංහරාජයට හානිවන ආකාරයේ පාරක් ලංකාගම සිට කපන බවට වූ විරෝධය නිසා පසුගිය සතියේ මේ වනබද ගම්මානය ලංකාවේම කතාබහට ලක්විය.
රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පැතිර තිබෙන සිංහරාජ වනාන්තරය විශාලත්වයෙන් හෙක්ටයාර් 11187කි. එම වනාන්තරය වටා ගම්මාන 22ක් පැතිර තිබේ. ලංකාගම පිහිටා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් කොටසේය. ලංකාගමට නුදුරින් කොලොන්කොටුව, වඩුගෙදර, නිල්වැලිගම, පිටදෙණිය ආදී ගම්මාන පිහිටා තිබේ. මේ අතර ලංකාගමට ආසන්නව වාරුකන්දෙණිය සහ කොලොන්කොටුව යන ගම්මාන තිබෙන අතර ඒවා සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ පිහිටි ගම්මානයි. ඒවාට යාමට වනය හරහා අඩිපාරවල් දක්නට ලැබේ.
අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගැමියෝ වනාන්තරය සමඟ සහයෝගයෙන් ජීවත් වූහ. ඒත් වාණිජකරණය ගමට පැමිණීමත් සමඟ එදා කිතුල් හකුරු, කොස්, දෙල් වනපල ආදියෙන් ජීවත් වූ ගැමියාට ඒවා ප්‍රයෝජනවත් නොවීය. මේ නිසා වනසතුන් දඩයම වැනි නීතිවිරෝධී ක්‍රියාද මේ ප්‍රදේශවලින් වාර්තා වේ. තේ වගාව වනාන්තරය අසලට එන තෙක්ම ව්‍යාප්තව පවතී.
සිංහරාජ වනාන්තරයේ උසම කන්දක් වන්නේ එහි දකුණු ප්‍රදේශයේ පිහිටි සිංහගලය. එය මතට නැගි විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විශාල ප්‍රදේශයක් සුන්දරව දැකගැනීමට ලැබේ. සිංහගල ජනප්‍රවාදයට ලංකාගම ද සම්බන්ධය.
පුරාණයේදී මොරවක් කෝරළේ හා ගාලු කෝරළේ බැතිමතුන් ශ්‍රීපාද වන්දනාව සඳහා යන මාර්ගය වැටී තිබී ඇත්තේ ලංකාගම සිංහගල හරහාය. සිංහගල නම් ස්ථානයේ සිටි සිංහයකු මිනිසුන් වෙත කඩාපැන අනතුරැ කිරීම සිදුවිය. එම ප්‍රදේශයේ සිටි ලංකානාථ නම් යෝධයෙක් ගල්වලින් ගසා සිංහයා මැරුවේය. සිංහගල සහිත වනය පසුව සිංහරාජය විය. ලංකානාථ යෝධයා සිටි ගම (ලංකාගම) විය.
ලංකාගමට එපිටින් පිහිටි දෙණිය, පිටදෙණිය නම් විය. කුඹුරු වගාව සිදුකළ දෙණි ප්‍රදේශයක් නිසා එය පිටදෙණිය වූ බව පැවසේ. ලංකාගමට නුදුරින් එළවළු වගා කළ විශාල වත්තක් පැවති බවත් එහි විශාල ගල් පර්වතයක්ද වූ බවත් එය වතුගල වූ බවත් විශ්වාස කෙරේ. ලංකාගමට නුදුරු කොලොන්කොටුවට ඒ නම ලැබී ඇත්තේ ගිං ගඟේ තොටුපොළ අසල විශාල කොළොන් ගසක් පැවති නිසාය.
පවුල් 270ක් පමණ සිටින ලංකාගම ග්‍රාම නිලධාරී වසමේ රෝහලක් නැත. ගමට ඩිස්පැන්සරියක් තිබුණත් එහි රජයේ වෛද්‍යවරයා පැමිණෙන්නේ ඔහුට අවශ්‍ය වේලාවට පමණක් බව ගැමියෝ පවසති. නෙළුව මේ ගමට ආසන්නම නගරයයි. ඒ වෙත දුර කි.මී. 14කි. ඒත් නෙළුව සිට ලංකාගමට බස් රථයක් දුවන්නේ නෙළුවේ සතිපොළ පැවැත්වෙන සෙනසුරාදා පමණය. නෙළුව සිට මෙගමට ඇති වළවල් පිරුණු මාර්ගයේ සාමාන්‍ය වාහනයක් ගමන් කිරීම දුනු කැඩෙන වැඩකි. ඒත් දලු ලොරි, ට්‍රැක්ටර් හැල්මේ යනු දැකිය හැකිය. ගමේ වැඩිදෙනා කරන්නේ තේ දලු කැඩීමයි. ඔවුන්ට ඇත්තේ කුඩා තේ කෑලි පමණි. ත්‍රීවිලරයක් නෙළුවට යාමට රුපියල් 1000ක ගාස්තුවක් අය කරයි. එය ගෙවීම මේ ගැමියන්ට දුෂ්කරය. අද තේ වගාවට මුල්තැන දුන්නද, දශක කිහිපයකට පෙර මේ ගම කොස්, දෙල්, පොල් හා කුඹුරු වගාවෙන්ද, එළවළු ගොවිතැනින්ද ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කීවේය. ලංකාගම කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරු නේවාසිකව එහිම වෙසෙති. මේ නිසා ගමේ දරුවන්ට රාත්‍රී වනතුරු නොමිලේ පන්ති පවත්වා විභාගවලට සූදානම් කෙරේ. නගරයේ ටියුෂන් පන්ති යාමට ගමේ දරැවන්ට හැකියාවක් නැත. ප්‍රධාන ගැටලුව ප්‍රවාහන පහසුකම් නැතිවීමය.
දෙණියායේ සිට මෙදේපිටිය, දොඹගොඩ, පිටදෙණිය හරහා දෙල්ලව රක්ෂිතය ඔස්සේ ලංකාගමට දුෂ්කර පාරක් තිබේ. මේ මාර්ගයද ආරක්ෂක හමුදා විසින් පළල් කර තනමින් පවතී. කෙසේ වුවත් සංවේදී කලාපයක පිහිටි මේ මාර්ගය පුළුල් කිරීමේදී පරිසර ඇගැයීම් වාර්තා කර ඇති බවක් දැනගැනීමට නැත. කෙසේ වුවත් දෙණියාය පැත්තෙන් පාර පළල් කර ප්‍රතිසංස්කරණය කරනවාට නෙළුව - ලංකාගම මාර්ගය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය කරන පිරිස් විරැද්ධ බව පැවසේ. ඒ ඔවුන්ගේ බිස්නස්වලට වදින නිසාය.
ලංකාගම සිට දෙණියායට සිංහරාජ වනාන්තරය මැද්දෙන් පුරාණයේ සිට ගැමියන් ගමන් කළ අඩිපාරක් පවතී. එය ගිං ගඟට ආසන්නව ඇදී යන්නකි. එම මාර්ගය දැන් මෝටර් බයිසිකල් ගමන් කිරීමට ද යොදාගනී. එම මාර්ගය සිංහරාජයේ පිටදෙණිය පිවිසුමෙන් මහා මාර්ගයට පිවිසේ.
පසුගිය කාලයේ විශාල විරෝධතාවයක් එල්ල වූයේ ලංකාගම සිට නෙළුව දක්වා පවතින මාර්ගය පුළුල් කර නවීකරණය කිරීම සම්බන්ධයෙනි. එය ලංකාගම, කොලොන්කොටුව, වාරුකන්දෙණිය, මාදුගැට, හත්පිටිය හරහා ගොස් නෙළුවට ළඟා වේ. සිංහරාජයේ බ්‍රාහ්මණ ඇල්ල අසලින් ආරම්භ වන මේ පාර කිලෝමීටර 1.1 පමණ දුරක් ඇදී යන්නේ සිංහරාජය ආශ්‍රිතවය. මාර්ගයේ මුළු දුර නෙළුවට කි.මී. 18කි. මේ පාර පළල් කර කැපීමට වර්ෂ 2000 දී උත්සාහ කළ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තහනම් කිරීම නිසා එය අත්හිටුවීමට සිදුවිය.
මාර්ගය අවට සංචාරක ලැගුම්හල් විශාල වශයෙන් පසුගිය කාලයේ ආරම්භ කෙරිණි. බහුතරයක් ඇත්තේ සිංහරාජයට නුදුරු පෞද්ගලික ඉඩම්වලය. මාර්ගය නවීකරණය කිරීම ගැමියන්ට ප්‍රයෝජනවත් සේම සංචාරක ව්‍යාපාරිකයන්ටද කරල පැහෙන කාරියකි.
මෑතක සිට කුඩව පිවිසුමට අමතරව ලංකාගම පිවිසුමද සිංහරාජ වනයට පිවිසීමට ටිකෙන් ටික ජනප්‍රිය වෙමින් පවතී. සංචාරකයන් පැමිණීම නිසා ගැමියන්ගේ කිතුල් හකුරු, පැණි වැනි නිෂ්පාදනවලට හොඳ මිලක් ලබාගත හැකිවනු ඇත. නෙළුව සිට කි.මී. 6ක් දුරින් පිහිටා ඇති මෙම පිවිසුම දියඇලි නැරඹීමට වඩාත් ජනප්‍රිය වී ඇත. ඒ අතරින් ප්‍රධානත්වය ගන්නේ නෙළුව දූවිලි ඇල්ලයි. අඩි 140ක් පමණ උස එය වන මැදින් කඩාහැලෙන අලංකාර ජල ප්‍රවාහයකි. කොස්මුල්ල ලංකාගම පාරෙන් ගමන් කළ විට දූලි ඇල්ල හමුවේ.
ලංකාගම සිංහරාජ මාර්ගයේ පැමිණ දෙල්ලව පාරේ ගමන් කළ විට ලංකාගම සිංහරාජ පිවිසුම හමුවේ. ඉන් ඇතුළු වූ විට බ්‍රාහ්මණ ඇල්ල, ගල්ඔරුව ඇල්ල, ඌරන් වැටුණු ඇල්ල යන දියඇලි නැරඹිය හැකිය. ඊට පසු තට්ටු ඇල්ල සහ ලංකාගම දූලි ඇල්ල ද නැරඹීමට ඉඩ ලැබේ.
ලංකාගම සුන්දර ගම්මානයකි. ඒත් ඒ සුන්දරත්වය රැඳී පවතින්නේ වනාන්තරය හා වනසතුන් රැකී තිබුණොත් පමණක් බවද අප අමතක නොකළ යුතුය.
සේයාරූ : නෙළුව පී. ජයවික්‍රම සහ අන්තර්ජාලයෙන්
කුසුම්සිරි