ලොව තේ නිෂ්පාදනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවේ දායකත්වය 5%ක් පමණ වන බව පැවසේ. තේ නිෂ්පාදනය අතින් චීනය, ඉන්දියාව සහ කෙන්යාව මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා පෙරට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව වාර්ෂිකව අපනයනය කරන තේ ප්‍රමාණය කිලෝ මිලියන 300ක් පමණ වේ. මින් වසර හත අටකට ඉහත වාර්ෂිකව තේ කිලෝ 330ක් පමණ අපනයනය කර තිබේ.
පසුගිය සමයේ පැවැති දැඩි නියඟය හේතුවෙන් තේ ගස් විශාල ප්‍රමාණයක් විනාශ වූ අතර පොහොර හිඟයද, කොවිඩ්19 බලපෑමද හේතුවෙන් මේ වසරේ අපනයනය කෙරෙන තේ ප්‍රමාණයේ කිසියම් පහත වැටීමක් සිදුවිය හැකියැයි තේ අපනයන සමාගම්වල අදහස වී තිබේ. ශ්‍රී ලංකාවෙන් තේ මිලට ගන්නා රටවල රුචිකත්වය විවිධය. ජපානය වැනි රටවල වැඩි ඉල්ලුමක් ඇත්තේ උඩරට නිපදවෙන බීඕපී ෆැනිංග්ස් වැනි තේ වලටය. ඉරානය වැනි රටවල වැඩි ඉල්ලුම පහත රට ඕපී 1, එෆ්බීඕපී වැනි තේ සඳහාය. මෙම ඉල්ලුම රටින් රටට කාලයෙන් කාලයට වෙනස් වන්නකි. තේ වෙන්දේසිය වසරකට සති 50ක් පැවැත්වෙයි. ඒ අනුව සතියකට තේ කිලෝ මිලියන 6ක් පමණ අලෙවි කෙරේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ තේ වැඩියෙන්ම මිලට ගන්නේ ඉරාකයයි.
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය අභිබවා වෙනත් රටවල් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් අප විමසා සිටියේ කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති සහ ඉම්පීරියල් තේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත කරුණාරත්න මහතාගෙනි. ඒ මහතා සඳහන් කරන පරිදි අපේ තේ නිෂ්පාදනයේ පහත වැටීමක් සිදු නොවූවද වෙනත් රටවල තේ නිෂ්පාදනය වර්ධනය වීම ඊට බලපා තිබේ.
“ඊට හේතුව ලොව වෙනත් රටවල තේ නිෂ්පාදනය ඉහළ යෑමයි. විශේෂයෙන් චීනය, ඉන්දියාව හා කෙන්යාවේ තේ නිෂ්පාදනය විශාල ලෙස ඉහළ ගිහින්. මින් ඉහතත් ශ්‍රී ලංකාව ලෝක තේ නිෂ්පාදනය අතින් 6%ක 7%ක ප්‍රමාණයක තමයි තිබුණේ. මේ වන විට ලොව සමස්ත තේ නිෂ්පාදනයෙන් ශ්‍රී ලංකාවේ දායකත්වය 5%ක් පමණයි ඒ අනුව අපේ නිෂ්පාදනයේ විශාල පසුබැසීමක් සිදුවී නැහැ. අපේ තේ සඳහා අලුත් වෙළෙඳපොළ සොයා ගැනීමට අපි විවිධ උත්සාහයන් දරනවා. ශ්‍රී ලංකා තේ මණ්ඩලය මේ සඳහා විශේෂයෙන් කටයුතු කරනවා. තේ අපනයනය සම්පූර්ණයෙන් සිදු කරන්නේ පෞද්ගලික අංශය මගින්. එනිසා අපනයනකරුවන්ද නව වෙළෙඳපොළ සොයා ගැනීම සඳහා විවිධ උත්සාහයන් දරනවා.”
80 දශකය ආරම්භයේ දී වාර්ෂිකව මෙරටින් තේ කිලෝ මිලියන 225ක් පමණ අපනයනය කළ අතර එම කාලයට සාපේක්ෂව අද වන විට වැඩිවී තිබෙන්නේ තේ කිලෝ මිලියන 100ක පමණ ප්‍රමාණයකි. මේ සම්බන්ධයෙන් ජයන්ත කරුණාරත්න මහතා කියා සිටියේ ඒ සඳහා සාධක රැසක් බලපා ඇති බවයි.
“චීනය, ඉන්දියාව හා කෙන්යාව වැනි රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව කුඩා රටක්. අපට තේ වගා කිරීමට ඇති බිම් ප්‍රමාණය සීමා සහිතයි. අපේ රටේ බොහෝ තේවතු වසර 100කට වඩා පැරණි ඒවා. ඒවායේ නිෂ්පාදනය අලුත් තේවතුවල නිෂ්පාදනයට වඩා අඩුයි. නැවත සිටුවීමක් සිදු කළත් එය සීමා සහිත ප්‍රමාණයක්. මා දන්නා පරිදි වසර 100ක් පමණ පැරණි තේ ගස්වලිනුත් තවමත් දලු කැඩෙනවා. පැරණි ගස් ඉවත් කොට අලුතින් වගා කිරීම සිදු විය යුතු වුවද එවැන්නක් සිදුවන්නේ සීමිත වශයෙන්.”
මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 2%ක් පමණ වන අපේ තේ නිෂ්පාදනය පසුගිය කාලයේ විවිධ අර්බුදවලට මුහුණ පෑවේය. 1960 ඉහළ කඳුකරයේ තේ වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 79,586ක් වූ අතර 2000දී එම ප්‍රමාණය හෙක්ටයාර 52,272 දක්වා පහත වැටී තිබිණි. 1960 පහත රට තේ වගාව හෙක්ටයාර 48,113ක් වූ අතර 2000 දී එය 79,836 දක්වා වර්ධනය විය. තේ නිෂ්පාදනය වර්ධනය නොවීමට පස නිසරැවීමද බල පා තිබේ. වසර සිය ගණන් පැරුණි වතුවල පසෙහි සාරවත් භාවය ද ගිලිහී තිබේ.
මෙරට තේ නිෂ්පාදනය සඳහා වැවිලි සමාගම් 21ක දායකත්වය හිමිවෙයි. රජයේ තේ වතු පාලනය වනුයේ මෙම වැවිලි සමාගම් මගිනි. ඔවුන් යටතේ ඇති වතුවලින් 25%ක පමණ නිෂ්පාදනයක් සිදුකෙරෙන අතර 75%ක පමණ දායකත්වයක් දරනුයේ කුඩා තේවතු හිමියන්ය. වැවිලි සමාගම් මගින් පාලනය වන ඇතැම් වතු නොසලකා හරින ලද තත්ත්වයකට පත්ව ඇතැයිද පැවසේ. කුඩා තේ වතු හිමියන් අතරද ඉතා මහන්සියෙන් නිෂ්පාදනයේ යෙදෙන අය මෙන්ම එතරම් වුවමනාවෙන් කර්මාන්තයේ නිතර නොවන පිරිස් ද සිටින බව පැවසේ. මෙවැනි කරුණු ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය වර්ධනය කිරීමට ඇති බාධක ලෙස පවතී.
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අනුග්‍රහය ලද පළමු බෝගය වූයේ කුරුඳුය. ලන්දේසි ආණ්ඩුකාර ඉමාන් විලෙම් ෆාල්ක්ගේ පාලන කාලය තුළ 1767 දී කොළඹ, මරදාන සහ කුරුඳුවත්ත යන ප්‍රදේශවල කුරුඳු වගාව ආරම්භ කරන ලදී. ක්‍රි.ව. 1800 ගණන්වල බ්‍රිතාන්‍යයෝ කෝපි වගාව මෙරට ව්‍යාප්ත කළහ. කෝපි වගාවට වැළඳුණු රෝගයක් හේතුවෙන් එය විනාශ මුඛයට පත්වූ අතර එයට විකල්පයක් ලෙස හඳුන්වා දුන්නේ තේය. 1867 ජේම්ස් ටේලර් ලූල්කඳුර වතුයායේ අක්කර 19ක භූමිභාගයක ආරම්භ කළ තේ වගාව පසුව දිවයිනේ කඳුකර ප්‍රදේශවලට ව්‍යාප්ත විය. රාත්තල් 23කින් යුතු පළමු සිලෝන් ටී (ලංකා තේ) තේ තොගය ලන්ඩනයට අපනයනය කෙරුණේ 1873දීය. එතැන් සිට ලෝක වෙළෙඳපොළේ සිලෝන් ටී සඳහා විශාල ඉල්ලුමක් පැවතිනි.
මේ දිනවල තේ වෙන්දේසියේදී තේ කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 610ක් (ඩොලර් 3.30ක් පමණ) වැනි මිලකටය. පසුගිය අප්‍රෙල් මාසයේ කොරෝනා අර්බුද තත්වය යටතේ තේ වෙන්දේසි නොපැවැත්වුණු හෙයින් තේ ඉල්ලුම වැඩි වූ අතර එම කාලයේ තේ කිලෝවක මිල ඩොලර් 3.50ක් පමණ විය. කෙසේ වුවද ලෝක තේ වෙළෙඳ පොලේ තවමත් වැඩිම මිලක් ලැබෙනුයේ ශ්‍රී ලංකා තේ වලට යැයි ජයන්ත කරුණාරත්න මහතාගේ අදහසයි. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කෙරෙනුයේ ඔතොඩොක්ස් ක්‍රමයටය. මෙම ක්‍රමයට තේ නිෂ්පාදනය කරන ප්‍රධානම රට ශ්‍රී ලංකාවය. ඉන්දියාව, කෙන්යාව වැනි රටවල තේ නිෂ්පාදනය කරනුයේ සීටීසී නම් ක්‍රමය අනුවය. මෙම ක්‍රම දෙකේදී තේ නිෂ්පාදනය සඳහා භාවිත කරෙන යන්ත්‍ර සූත්‍ර වෙනස්ය. සීටීසි යනු කර්ල්, ටියර් ඇන්ඩ් ක්‍රෂ් නමැති ක්‍රමයයි. මෙම තේවල කහට ස්වභාවය වැඩි වන අතර තද වර්ණයකින් යුතු වේ. ඔතඩොක්ස් තේවල එතරම් කහට ස්වභාවක් නොමැති අතර තද වර්ණයක්ද නොමැත. එහි රසය සීටීසී තේවලට වඩා වෙනස්ය. රුසියාව හා මැද පෙරදිග කලාපය වැඩි වශයෙන් කැමැත්ත දක්වන්නේ ඔතඩොක්ස් තේ සඳහාය. එබැවින් ශ්‍රී ලංකාවේ තේ සඳහා ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ එම රටවල්ය.
ලෝක වෙළෙඳපොළේ තේ මිල ඉහළ යමින් තිබියදී තේ දළු කිලෝවක් මිලදී ගන්නා මිල පහළ යමින් ඇතැයි සමස්ත ලංකා කුඩා තේවතු හිමියන්ගේ සංගමය සඳහන් කර තිබේ. පසුගිය මාසවල අමු තේ දළු කිලෝවත් රුපියල් එකසිය දහයත් එකසිය විස්සත් අතර පැවතියද මේ වන විට එය රුපියල් සියයත් අනූවත් වැනි මිලකට පහත වැටී ඇතැයි කුඩා තේවතු හිමියන්ගේ සංගමය සඳහන් කර තිබේ. නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර නොමැතිවීම හා වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් තේ අක්කරයකින් ලැබෙන අස්වැන්න හරි අඩකින් පමණ පහත වැටී ඇතැයි පැවසේ තේ දලු මිල අඩුවීම හා තේ නිෂ්පාදනය අවම වීම මත බොහෝ කුඩා වතු හිමියන් දැඩි අසරණ තත්ත්වයකට මුහුණ පා සිටින බවද පැවසේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා