2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

මැති සබයේ පුංචිම මන්ත්‍රි ජීවන්

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

මෙවර පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ලාබාලතම මන්ත්‍රීවරයා වන්නේ ජීවන් තොණ්ඩමන්ය. පසුගිය මැයි මාසයේ  අභාවප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රස් නායක සහ හිටපු ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ආරැමුගම් තොණ්ඩමන් මහතාගේ මරණයෙන් පුරප්පාඩු වූ නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු ලැයිස්තුවේ අපේක්ෂකයා ලෙස ඔහුගේ පුත්‍රයා වූ ජීවන් තොණ්ඩමන් පත් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය තීරණය කළේය. ඒ අනුව මහ මැතිවරණයට ඉදිරිපත් වූ ජීවන් තොණ්ඩමන් මනාප 109,155ක් ලබා ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.  නව පාර්ලිමේන්තුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි වූයේ ඔහුටය.

.රජුන් තනන්නන් යන විරුදාවලිය ලද කම්කරු කොංග්‍රසයේ නායකයන් හා අමාත්‍යවරුන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් හා ආරුමුගම් තොණ්ඩමන්ගේ පරපුරේ නවතම පුරුක ජීවන් තොණ්ඩමන්ය. තම මුත්තා වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් වසර 21ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරයකු ලෙසද කටයුතු කළ අතර පියා වූ ආරැමුගම් තොණ්ඩමන් වසර 26ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අවස්ථා කිහිපයකදීම කැබිනට් අමාත්‍යධුර දැරුවේය. 

ජීවන් තොණ්ඩමන් තවමත් ළාබාල තරුණයෙකි. ඔහු උපන්නේ 1994 නොවැම්බර් 9 දාය. 2020 අගෝස්තු මාසයේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දෙන විට ඔහුගේ වයස අවුරුදු 25කි. කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලින් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඔහු චෙන්නායි හි ඇන්ඩල් ආර්යා පාසලෙන් හා කොයින්බටෝර්හි චින්මායා ජාත්‍යන්තර පාසලින් අධ්‍යාපනය ලැබීය. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු එංගලන්තයේ නෝත්උම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන්  එල්එල්බී උපාධිය හිමිකර ගත්තේය. උපාධිය හිමිකරගැනීමෙන් පසු ලන්ඩනයේ නීති ආයතනයක සේවය කළ ජීවන් 2017 වසරේ තම පියාගේ දේශපාලන හා වෘත්තීය සමිති කටයුතු සඳහා සහය වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණියේය. ලංකා කම්කරු කොංග්‍රසයේ යොවුන් බලකායේ  නායකයා වූ ජීවන් තොණ්ඩමන් අනාගතයේ කම්කරු කොංග්‍රසයේ නායකයා වනු ඇත. 

ජීවන් තොණ්ඩමන් දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ බාලයාය. ඔහුට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් දෙදෙනාම වෛද්‍යවෘත්තියේ නියැලෙති.
තොණ්ඩමන්ලාගේ ඉතිහාසය බොහෝ අතීතයට දිවයන්නකි. සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ පියා වූ කරුපයියා පුදුකෝට්ටෙයි තොණ්ඩමන් නමැති රාජකීය පවුලට අයත් වූවෙක් විය. එහෙත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ විවිධ අර්බුදවලට මුහුණ දුන් තොණ්ඩමන්වරු ඒ වින විට ආර්ථික අගාධයට වැටී සිටියහ. දරිද්‍රතාවයෙන් මිදීම සඳහා කරුපයියා එවක සිලෝන් නමින් හැඳින්වූ ලංකාවට සංක්‍රමණය වූයේ රැකියාවක් සඳහාය.
ටී. සභාරත්නම් විසින් රචිත Out of Bondage- The Thonadaman Story නමැති කෘතියේ සඳහන් වන පරිදි ලංකාවට පැමිණි කරුපයියා වෙළෙඳසලක සේවකයෙක් ලෙස රැකියාවක නිරත විය.  පසුව වතුයායක කම්කරැවකු ලෙසද ‘කන්කානි’වරයෙක් ලෙසද සේවය කළේය.  ඔහුගේ අරමුණ වූයේ කෙදිනක හෝ තේ ඉඩමක් මිලදී ගැනීමය. තමන් ඉපැයූ වැටුපෙන් කොටසක් ඉතිරිකරගත් ඔහු රම්බොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ තේ වත්තක් මිලට ගත්තේය. වැවෙන්ඩන් වතුයාය නම් වූ එහි ඉතා මහන්සියෙන් තේ වගා කළ ඔහු ක්‍රමයෙන් ධනවතෙක් බවට පත් විය. මෙරට තේ වතුයායක් හිමිකරගත් පළමු සංක්‍රමික ඉන්දියානු දෙමළ ජාතිකයා ඔහු විය. 1924දී ඔහු  එතෙක් ඉන්දියාවේ ජීවත් වූ තම එකොළොස් හැවිරිදි පුත්‍රයා වූ සෞම්‍යමූර්ති ලංකාවට කැඳවා ගත්තේය.  

තම පුත්‍රයා තමන් ඉපැයූ ධනය මනාව පරිහරිණය කරනු ඇතැයිද, වඩාත් බලවත් ඉන්දියානු දෙමළ ජාතික වැවිලිකරුවෙකු වනු ඇතැයිද කරැපයියාගේ ප්‍රාර්ථනය විය. එහෙත්, සෞම්‍යමූර්ති වෙනත් මාවතක් තෝරා ගනිමින්  දේශපාලනට පිවිසියේය. ඔහු තෝරාගත් මාර්ගය කටුක විය. ඔහු සේවය කිරීමට තෝරාගත් ජනතාව ඉංග්‍රීසි පාලකයන්ගේ තේ සහ රබර් වගාවන්හි වහල්භාවයේ ගිලී සිටියහ. ඔවුන්ට දිනකට ලැබුණේ සොච්චම් වැටුපකි. ලංකා සමාජයේ වඩාත්ම පසුගාමී කොටස ලෙස හැඳින්වූයේ මෙම වතු ප්‍රජාවය.. තොණ්ඩමන් ඔවුන්ව දියුණුවේ මාවත කරා ගෙන ගිය අතර ක්‍රමයෙන් ඔවුන්ගේ ගෞරවයද හිමිකර ගත්තේය. පසුකාලීනව වතුකරයේ දෙමළ ජනයාගේ ආදරණීය නායකයා වූයේ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ය. සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ අභාවයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත් වූයේ ඔහුගේ මුණුබුරා වූ ආරැමුගම් තොණ්මන්ය. සෞම්‍යමූර්තිගේ පුත්‍රයා හා ආරුමුගම්ගේ පියා වූ  රාමනාදන් තොණ්ඩමන් දේශපාලනයට නැඹුරැවූවකු නොවූ බැවින් සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ දේශපාලනය ඉදිරියට ගෙනයෑම බාර වූයේ ආරුමුගම් තොණ්ඩමන්ටය. ඔහු තම සීයාගෙන් ලද උරුමය වසර ගණනක් පුරා රුකගත් අතර දැන් එය ඔහුගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන්ට හිමිවී තිබේ. 

පියාගේ දේශපාලන කටයුතුවලට සහය දුන්නද ජීවන් තොණ්ඩමන් දේශපාලනය පිළිබඳ එතරම් අත්දැකීම් සහිත තරුණයකු නොවේ. තම මුත්තණුවන්ගේ හා පියාගේ දේශපාලනය පිළිබඳව ඔහුට බොහෝ දේ හැදෑරීමට සිදුවනු ඇත. සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ පාලන කාලය මෙන් නොව වත්මන් වතු කම්කරුවෝ පෙරට වඩා බුද්ධිමත්ය. මේ වන විට වතුකරයෙන් තවත් නායකයන් කිහිප දෙනෙක්ම බිහිවී සිටිති. එහෙයින් තම ජනතාවට අවංකව සේවය කිරීමත් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමත් ජීවන් තොණ්ඩමන්ගේ වගකීම වී තිබේ. තමා දේශපාලනයට පිවිසියේ රජකු වීමට හෝ රජුන් තතන්නකු වීමට හෝ නොව ජනතාවට සේවය කිරීමට යැයි ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කර තිබේ. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02