2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

රටේ ආර්ථිකය සුළුවෙන් ඉහළට

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට සතුරු රාශි භවනක් වූ සඳුට අයත් කටක රාශියට 2020 සැප්තැම්බර් මස 01 වැනි කුජ දින පාන්දර 2 පසු වී විනාඩි 5ට පිවිසෙයි. එසේ පිවිස සැප්තැම්බර් මස 28 වැනි සඳු දින පාන්දර 1 පසු වී විනාඩි 2 දක්වාම බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ 4 වැනි පාදයෙන් හා සෙනසුරැට අයත් පුෂ නැකතේ සම්පූර්ණවත් බුදට අයත් අස්ලිස නැකතේ සම්පූර්ණවත් ලෙස සිකුරැ කටක රාශියෙහි ගමන් කරනු ඇත.

සිකුරු කටක රාශියෙහි ගමන් කරන්නා වූ වකවානුව තුළ අප රටට ඇති වන්නා වූ බලපෑම බැලීමේදී රටේ ආර්ථිකයේ සුළු වර්ධනයක් පෙන්වන කාලයක් වන අතර පැවැත්වීමට නොහැකිව පැවති උත්සවයක් ද රාජකීය උත්සවයක් ද පවත්වනු ලබන කාලයක් වේ. 

ප්‍රසිද්ධ උසස් කාන්තාවකට මාරකද නිළියකට හෝ සංගීත හෝ කලා ක්ෂේත්‍රවල නියැලි කාන්තාවකට මාරකද ප්‍රධානීන්ට මෙන්ම දේශපාලනික ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කීර්ති නාමයට හානි වන සිදුවීම් වාර්තා වන්නාවූත් වකවානුවකි. මහජන සුබ සාධන කාර්යයන් රජය ඉටු කරන කාලයක් ද වේ. විදේශීය වශයෙන් විමසා බැලීමේදී කාලගුණික විපර්යාස තත්ත්වයක් ඇතිවීම තුළින් වගා භූමිවලට හානිවීමක් මෙන්ම වාතය තෙත් ගතියෙන් යුක්ත වීමත් සිදුවනවා ඇත. කාන්තා මරණ ඉහළ යන කාලයක් ද වන අතර ප්‍රභූ රාජකීය පුද්ගල මරණද වාර්තා වන ඉඩ වැඩිය. විවිධ වූ අපරාධ හා ත්‍රස්ත ක්‍රියාවන්ද බහුලව වාර්තා වන කාලයක් වෙයි.

මේෂ - වාහන ඉඩකඩම්

තනි මතයට කටයුතු කරමින් තම කාර්යයන් සාර්ථක බවට පත්කර ගන්නාවූත් කාලයකි. ඉඩකඩම් වාහන මිලදී ගැනීමට යහපත් වන්නා වූත් කාලයක් ද වේ.

වෘෂභ - සහෝදර බැඳීම්

තාක්ෂණික කටයුතු මෙන්ම කලා කටයුතුවල නියැලි සිටින අයට ශූභ ඵල ගෙන දෙන්නාවූ කාලවකවානුවක් වනු ඇත. සහෝදර බැඳීම් වර්ධනය වනු ඇත.

මිථුන - පවුලේ සමගිය

තම තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වී යන අතර පරිස්සමින් මුදල් වියදම් කළ යුතු කාලයකි. පවුල් දිවියේ සමගිය වර්ධනය වන කාලයක් ද වේ.

කටක - කටයුතු සාර්ථකයි

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර තම කටයුතු සාර්ථක ලෙස ඉටුකර ගත හැකි වන්නාවූත් කාලයක් ද වනු ඇත. කලා කටයුතුවල නියැලි අයට යහපත් වේ.

සිංහ - බලාපොරොත්තු ඉටු වේ

ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවන කාලයක් වේ. සේවා ස්ථානයෙහි වෙනසක් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන කාලයක් ද වේ.

කන්‍යා - නිතර සතුටින්

හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වන අතර සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් කාලයක් ද වේ. පවුල් දිවියේද සමගිය වර්ධනය වන අතර නිතර සතුටින් සිටින වකවානුවකි.

තුලා - ඉඩම් ලාභ

අන් අයගේ සිත් බැඳීම් ඇතිවන අතර සිතේ සතුට වර්ධනය වන කාලයක් ද වේ. ඉඩමක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ද ඉෂ්ඨ වනවා ඇත.

වෘශ්චික - නිර්මාණශීලී අදහස්

කලා කටයුතු හා තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වන අතර නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයකි. වැඩිපුර තමා ගැන සිතා කටයුතු කරන අතර හිතමිතුරන් තමා ගැන කලකිරීම් ද ඇති කරගන්නා වූ කාලයකි.

ධනු - බාධා වැඩියි

තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරන අතර පවුල් දිවියේ සමගිය ඇති වෙයි. මුදල් යොදා කරන කටයුතුවලින් ද ඵල අත්වන කාලයකි.

මකර - හවුලට හොඳයි

ඔබගේ කටයුතු සාර්ථක වන කාලයක් වන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වෙයි. හවුල් කටයුතු සඳහාත් ශූභ ඵල ගෙන දෙනවා ඇත.

කුම්භ - වෛරස් රෝග

ඔබට අයහපත් වන අතර ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරන්නා වූ කාලයක් වන අතර වෛරස් රෝගාබාධ වැළඳීම් ඇති විය හැකි බැවින් පරිස්සම් වන්න.

මීන - මිතුරන්ගෙන් උදවු

කලා කටයුතුවල නිරත වී සිටින අයට ශූභ ඵල අත්වන අතර හිත මිතුරන්ගෙන් ද උදව් අත්වේ. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල