2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

ආනවිලුන්දාව ඩෝසර් කරනකම් ලොක්කෝ නිදාගත්තද?

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

සිරි ලංකාව හරි පුදුම රටකි. ඒ රටේ බහුතරයක් පිරිසට පරිසර සම්පතක හෝ පුරාවිද්‍යා උරුමයක වටිනාකම දැනෙන්නේ ඒවා දේශපාලනඥයන් ඉඳුල් කළ පසුවය. පසුගිය කාලයේ වැඩි දෙනකු කුරුණෑගල පැරණි ගොඩනැගිල්ල රැකගැනීමට (එය වනසා දැමූ පසුව) පෙරමුණ ගත් අතර, දැන් ඒ අවධානය වයඹ පළාතේම පිහිටි ආනවිලුන්දාව අභයභූමියට එල්ල වී තිබේ.

ආනවිලුන්දාව ජාත්‍යන්තර රුම්සාර් තෙත්බිමට අයත් අක්කර හතරකට ආසන්න බිමක් පසුගිය 25දා රාත්‍රියේ අනවසරයෙන් ඩෝසර් කර තිබේ. මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ පිහිටි මේ භූමි ප්‍රදේශය දේශපාලන බලය මත ඩෝසර් යන්ත්‍ර යොදාගනිමින් ඉස්සන් කොටු සකසා තිබෙන බව වාර්තා වේ. ඒ සිද්ධිය පිටුපස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු සිටින බවටද ආරංචිය.

ප්‍රදේශවාසීන් පවසන අන්දමට අභයභූමිය ඩෝසර් කිරීම සඳහා 25දා රාත්‍රියේ උඩප්පුව ප්‍රධාන මාර්ගයෙන් ඩෝසර් යන්ත්‍ර ඇතුළු කර පසුව මුතුපන්තියට ගමන් ගන්නා අතුරැ මාර්ගය පිහිටි පිංකට්ටිය ප්‍රදේශයට රැගෙන පැමිණ තිබේ.

පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂ එරන්ද ගමගේ පවසන්නේ මේ සිද්ධිය පිළිබඳව හලාවත දිසා අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති බවත්, සැකකරැවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත්ය.

පරිසරය රුකගැනීමට පොරොන්දු දෙමින් බලයට පත්වන පාලකයන් පසුව පරිසරය මුදලට බිලිදීම සිරිතකි. මේ සිද්ධිය ද එය තහවුරු කරන තවත් අවස්ථාවකි, අභයභූමියක් තුළ අක්කර හතරක් තරම් විශාල ප්‍රදේශයක් ඩෝසර් කරන තෙක් පොලීසිය හෝ වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුව නිදාගෙන සිටියේදැයි අපි නොදනිමු.

හලාවතට කි.මී. 15ක් උතුරෙන් පිහිටා තිබෙන ආනවිලුන්දාව පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. ඉතා සුන්දර මෙන්ම වටිනා පරිසර පද්ධතියක් වන ආනවිලුන්දාව 1997 ජූනි 11දා අභය භූමියක් බවට ප්‍රකාශ කෙරිණි. එහි විශාලත්වය හෙක්ටයාර් 1357කි. එයට වාර්ෂිකව පර්යටනික පක්ෂීන් විශාල ප්‍රමාණයක් පැමිණෙති. මෙහි පාරිසරික වැදගත්කම නිසා 2001 අගෝස්තු 3දා ජාත්‍යන්තර රුම්සාර් තෙත්බිමක් වශයෙන් නම් කළේය. එය ශ්‍රී ලංකාවේ රුම්සාර් තෙත්බිම් හය අතුරෙන් එකකි. මෙය වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය ඔස්සේ පාලනය වේ. මෙම තෙත්බිම 12 වැනි සියවසට අයත් වැව් පද්ධතියකින් යුක්තය. එකිනෙකට සම්බන්ධිත වැව් හතක් මෙහි පිහිටා තිබේ. ලෝක ස්වභාව සංරක්ෂණ සංගමය කළ අධ්‍යයනයකට අනුව මිරිදිය වැව් තෙත්බිම්වලට අමතරව කිවුල්දිය තෙත්බිම්, කෘෂිකාර්මික තෙත්බිම්, ලවණ වගුරැ වශයෙන් මෙහි පාරිසරික විවිධත්වය පැතිර තිබේ. වැව් හා ඒ අතර පිටාර ජලය රඳන පොකුණු රාශියක්ද කඩොලාන බිම් රාශියක්ද දැකගත හැකිය.

ආනවිලුන්දාවේ පැතිර තිබෙන ශාක විශේෂ සංඛ්‍යාව 264කි. පෘෂ්ඨවංශී ජීව විශේෂ සංඛ්‍යාව 274කි. විශේෂ 37ක් පර්යටනික පක්ෂීහු වෙති. උණහපුලුවා, දියබල්ලා වැනි වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටින සත්ව විශේෂ ද මෙහි දිවිගෙවති.

ආනවිලුන්දාව අභයභූමියක් බවට නම්කිරීමට පෙර 1990 වර්ෂයට පෙර එයට ආසන්න හලාවත මුතුපන්තිය ප්‍රදේශය හා කලපුව අවට ඉස්සන් කොටු ගණනාවක් තිබුණි. 1990 කාලයේ ඉස්සන් වගාවට තර්ජනයක් වූ වයිරස පැතිරීම නිසා මේ ප්‍රදේශයේ ඉස්සන් වගාව අත්හැර දැමීමට සිදුවිය. එවකට ඉස්සන් කොටු නිසා කඩොලානවලට සිදුවූයේ දැවැන්ත හානියකි. නුදුරින් පිහිටි හලාවත කලපුව ආශ්‍රිතව පමණක් 57%ක් කඩොලාන විනාශ විය. 1997 දී ආනවිලුන්දාව අභයභූමියක් ලෙස නම්කළ පසුව අභයභූමි සීමාව තුළ පිහිටි අත්හැර දැමූ ඉස්සන් වගාබිම්වල නැවත කඩොලාන හටගත්තේ ඉතා අවමව බව නිරීක්ෂණය වී ඇත. මෙලෙස පාරිසරිකව සිදුවන විශාල හානිය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ වළවල් හාරා ඉස්සන් වගාව නතර කිරීමට 2003.09.16 දින කැබිනට් තීන්දුවක් ගත්තේය. &මීට මාස කිහිපයකට පෙරත් එවැනි වළක් තැනූ කෙනකුට අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක් සහ වසරක අත්හිටවූ සිරදඬුවමක් ලබා දුන්නා. එයට කළ අභියාචනය ද එම තීරණය ස්ථිර කළා. එසේ තිබියදී දේශපාලන බලවතුන් විසින් කළ මේ විනාශය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව ගන්නා තීරණය කුමක් වන්නේදැයි අපි විමසිලිමත් විය යුතුයි.* පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසයි.

මෙම අභයභූමියේ එක් කෙළවරක, එනම් බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ කලකට පෙර කඩොලාන පද්ධතිය විනාශ කර තිබූ නිසා පසුගිය කාලය පුරාම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වයඹ විශ්වවිද්‍යාලයේත් සහාය ඇතිව කඩොලාන පුනරැත්ථාපනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. මෙසේ ප්‍රතිෂ්ඨාපනය කෙරෙමින් පැවති භූමියක් මෙන්ම තවමත් ඉතිරිව පවතින කඩොලාන පද්ධතියක් පසුගිය 25දා රාත්‍රියේ විනාශ කර තිබෙනවා. මෙම ප්‍රදේශයේ කලකට පෙර ඉස්සන් වගාව නිසා සිදුවූ හානිය තවමත් සමනය වෙලා නෑ. නැවතත් ඉස්සන් හෝ වෙනත් කිවුල්දිය ජලජීවී වගාවක් ආරම්භ වුණොත් එමගින් ඇතුළට ඇදී එන ලවණතාවය නිසා මෙම මුළු පද්ධතියම (කුඹුරු ඉඩම් හා ගොවිබිම් ද සහිතව) විනාශයට පත්වීම අනිවාර්යයෙන් සිදුවෙනවා. එමෙන්ම පොකුණුවල ඉස්සන් ආහාරයට ගැනීමට පක්ෂින් පැමිණෙන විට ජලජ පක්ෂින් නීතිවිරෝධීව වනසා දැමීමටත් කටයුතු කිරීම නොවැළැක්විය හැකිවේවි. පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කර සිටී.

මෙම රැම්සාර් අභයභූමියට අවස්ථා ගණනාවකදී ඇතුළු වී භූමියට අයත් සීමාවන් බලහත්කාරයෙන් උල්ලංඝනය කිරීම දැකගත හැකිය. 2000 වර්ෂයේ හා ඉන් පසුවද ඉස්සන් ටැංකි සකසා තිබූ බවත්, එම කටයුතු සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත් පසුව පිරිස් භූමියෙන් ඉවත් වූ බවත් පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා පවසයි.

මේ ප්‍රදේශය අයත් වන්නේ වයඹ පළාත් සභාවට නිසා වයඹ පළාත් පරිසර ප්‍රඥප්තියද එයට අදාළ වේ. එහි 51 වැනි වගන්තිය ප්‍රකාරව මෙම විනාශයට එරෙහිව විධානයක් නිකුත් කළ හැකිය. එහෙත් එලෙස ක්‍රියාත්මක වූ බවක් නම් පේන්නේ නැත.
ආනවිලුන්දාව වැනසූ පසු හුඟදෙනකුට රැම්සා සම්මුතිය මතක් වී තිබේ. 1971 වර්ෂයේ ඉරානයේ රුම්සා නගරයේදී ලෝක නායකයන් එක්ව ජාත්‍යන්තරව තෙත්බිම් ආරක්ෂා කර ගැනීමට සකස් කරගත් සම්මුතිය රුම්සාර් සම්මුතියයි. ලංකාව ද එයට අත්සන් කළ රටකි. මේ වනවිට බුන්දල, ආනවිලුන්දාව, මාදුගඟ, වන්කාලෙයි, කුමන හා විල්පත්තු ජාතික උද්‍යාන යන රුම්සාර් තෙත්බිම් අප රටේ පිහිටා තිබේ. 2018 දී පැවති රුම්සාර් සමුළුවේදී ලොව පළමු තෙත්බිම් අගනුවර වශයෙන් කොළඹ ද නම් කෙරිණි.

පරිසරය ගැන කෙතරම් කතා කළත් නිලධාරීන් කොතරම් කැපවුණත් දේශපාලන බලයෙන් ඔළුව උදුම්මාගත් පිරිසට ඒවායේ වටිනාකම නොතේරීම පුදුමයක් නොවේ. කුරැණෑගල රාජසභා මණ්ඩපය‍ යයි කියූ ගොඩනැගිල්ල ඩෝසර් කළ අය සොයාගැනීමට නොහැකිවූවා මෙන් ආනවිලුන්දාව අභයභූමිය ඩෝසර් කළ අය ද සොයාගැනීමට නොහැකි නොවේවා යනු අපගේ පැතුමයි. එමෙන්ම ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා අධිකරණයෙන් දඬුවම් ලබාදීම ද කඩිනම් අවශ්‍යතාවයකි.

විනාශයට වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතුයි

- ඇමැති විමල් වීරවංශ

ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් වූ ආනවිලුන්දාව තෙත්බිම විනාශ කිරීම පිළිබඳව සමාජ මාධ්‍යවලින් දැනගැනීමට ලැබුණා. ඊට වගකිවයුත්තා සොයා බලා ආණ්ඩු පක්ෂයේ වුවත් විපක්ෂයේ වුවත් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. තුනෙන් දෙකක බලයක් ලැබුණා කියලා ඕනෑම දෙයක් කළ නොහැකියි. ලැබුණු ජනවරමේ සුජාතභාවය ආරක්ෂා කිරීමට ආණ්ඩුව බැඳී සිටිනවා. (පසුගිය 27 දා පාර්ලිමේන්තුවේදී)

 කුසුම්සිරි විජයවර්ධන

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02