වනසම්පත අපගේ පරිසරයට අවශ්‍යම දෙයකි. වනසම්පත යනු ගස්වැල් ඇළදොළ ආදියෙන් පිරුණු සුන්දර පරිසරයකි. අතීතයේ මිනිසුන් ආහාර පාන සහ නිවාස තනා ගත්තේද ගස් බෙනවලිනි. ඒ කිසිවක් නිසා නොව පරිසරය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් වර්තමානයේ මිනිසා ගහකොළ සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීම පසෙක තබා විනාශ කිරීමට මූලිකත්වයක් දී කටයුතු කරති.
තම බලය ධනය වැයකරමින් තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කරමින් දුෂ්ඨ මිනිසුන් පරිසරය විනාශ කරන කටයුතුවල නිරත ව සිටිති. එවන් මිනිසුන් සිටින මිහිමඬල තුළ තම ජීවිතය පරදුවට තබා මිනිසුන් විසින් හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ දෙපසට විසිකර දමන කසළ ස්වේඡාවෙන් දිනකට කිලෝමීටර් 14ක දුරක් පා ගමනින් ගොස් එකතු කර පිරිසිදු කරන සොබා දහමට, පරිසරයට තම ජීවිතයට වඩා ආදරය සෙනෙහස දක්වන සොඳුරු පරිසරවේදියකු අපට හමුවිය. නමින් ඔබඩගේ ලක්ෂ්මන් ද සිල්වා වන අතර වයස අවුරුදු 49ක සිව්දරැ පියෙකි. 29 කණුව, මොරගස්වැව, හබරණ පදිංචිව සිටී.
කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ හබරණ, මොරගස්වැව සිට මින්නේරිය, බටුඔය දක්වා මාර්ගය දෙපස ජන ශූන්‍ය ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ එක් පසකින් මින්නේරිය ජාතික උද්‍යානයත් අනෙක් පසින් කවුඩුල්ල ජාතික උද්‍යානයට අයත් ඝන වනාන්තර භූමිය පිහිටා තිබේ. කොළඹ සිට හෝ මඩකලපුව දෙස පැමිණෙන සුවහසක් මිනිසුන්ට මනසට ප්‍රිය ඇසට මනස්කාන්තයක් ලැබෙන පිරිසිදු වාතයක් අශ්වාස ප්‍රාශ්වාස කිරීමට ලැබෙන ස්වභාවික පරිසර පද්ධතියක් මෙහි පිහිටා තිබේ. එවන් පරිසරය පද්ධතියක් ආරක්ෂා කර ගැනීමට එතුළින් ගමන් ගන්නා කිසිවකුට වුවමනාවක් නැත. එම පරිසරය ආරක්ෂා කර ගැනීමට ලක්ෂ්මන් ඉදිරිපත් වන්නේ පරිසරයට ඇති ඇල්ම බැල්ම නිසාවෙනි.
දිනකට කිලෝමීටර් 14ක දුරක් ඝන වනාන්තරය දෙකක් මැදින් පැයකට කිලෝමීටර් 2-3ක වේගයකින් මාර්ගය දෙපස ඇති කුණුකසළ එකතු කරමින් යන ලක්ෂ්මන්ට ආරක්ෂාවට ඇත්තේ අලි වෙඩි 2-3ක් පමණි. ඇතැම් විට මෙම මාර්ගයේ ගමන් කරන අවස්ථාවලදී ඔබ මෙම සොඳුරැ මිනිසා දැක ඇති නමුත් කිසිවිටෙක ඔබ ඔහු පිළිබඳ සිතන්නට නැත. බැලූ බැල්මට ලක්ෂ්මන් දකින අයෙකුට “මේ කැලේ මැද යන පිස්සෙක් යැයි සිතෙනු ඇත. ඔබ එසේ සිතිම සාධාරණය. දරුණු වනසතුන් සිටින මාර්ගයක මිනිස් වාසයක් පෙනෙන මානයක නැති ඉසව්වක පා ගමනින් යන මිනිහා ප්‍රකෘති මනසක් නොමැති අයකු බව සිතීම වරදක් නොවේ.
ලක්ෂමන්ගේ උපත අනුරාධපුර, ගල්නෑවේ සිදුව වයස අවුරුදු 12ක කාලයේ හබරණ, මොරගස්වැව ගම්මානයට පැමිණෙන්නේ දෙමාපියන් සමගය. ඒ සමයේ කොටි ත්‍රස්තවාදීන් බහුලව සිටි ප්‍රදේශයක් බව නොරහසකි. කුඩා අවදියේ සිටම දෙමාපියන් සමග හේන ගොවිතැන් කළ ලක්ෂමන් ඒ අභාෂයෙන්ම පරිසරය සහ ගහකොළ සතා සිවුපාවා පිළිබඳ මනා දැනුමක් ලබාගෙන තිබේ. ඒ නිසාවෙන්ම මෙම මිනිසා පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් විය.
මෙතරම් දුරක් දිනපතා පයින් ගොස් සිදුකරන මේ රාජකාරියටත් එහා ගිය කැපකිරීම පිළිබඳ ලක්ෂ්මන්ගෙන් විමසා සිටියෙමි. මම මුලින්ම ග්‍රාම ආරක්ෂකයෙක් විදියට 1995 බැඳුණා. ඒ කාලේ හබරණ ටවුන් එකෙන් එහාට හවස හතරෙන් පස්සේ යන්න බෑ. එන හැමෝටම පහුවදා උදේ තමා යන්න දෙන්නේ. එතකොට මට තිබුණ රාජකාරිය තමයි චෙක් පොයින්ට්වල පොලීසිය සහ හමුදාව එක්ක රාජකාරි කිරීම. පස්සේ මං විවාහ වුණා. කොහොමහරි මං වසර 18ක් සිවිල් ආරක්ෂකයෙකු ලෙස සේවය කළා. මට කොන්දේ අමාරැවක් හැදිලා ටික දවසක් යන්න බැරි වුණා. ඒකට මට දුන්න දඬුවම වශයෙන් ඒ රැකියාවෙන් මාව 2015/06 මාසයේ ඉවත් කළා. ඉතින් මට කියන්න කෙනෙක් හිටියෙත් නෑ. මං එදා ඉඳන් කුලී වැඩ කළා. ඔහොම කාලයක් ඉන්නකොට මට දවසක් හමුවුණා පොලොන්නරැව ප්‍රදේශයේ සිවිල් ආරක්ෂකයන් භාරව හිටි චන්ද්‍රපාල සර්ව. මං ඒ සර්ට සියලු විස්තර කිව්වා. පස්සේ සර් කිව්වා සේවයට එන්න බැරිවුණ සියලු දේ කියලා සර්ට ලිපියක් දෙන්න කියලා. අනේ මං ලිපිය ලියාගෙන යනකොට සර් ඒ.එස්.පී. කෙනෙක් වෙන්න ගිහින් මං ආපහු ආවා. ඊටපස්සේ අස්වීමේ ලිපියත් සමඟ මට ආර්ථසාධක මුදලක් ලැබුණා. ඒක අරගත්තා. පස්සේ කුලී වැඩ කළා දරුවෝ ජීවත් කරන්න.
දවස් කීපයක් මං දැක්කා කැලේ පාර දෙපැත්තේ මිනිස්සු විසිකරලා දාලා තියෙන කුණු වනජිවි එකේ අයත් එක්ක එකතුවෙලා යුද හමුදාව, පොලීසිය හා වෙනත් විවිධ සංවිධානවල අය එකතුවෙලා සුද්ද කරනවා. දවසයි දෙකයි ආපහු පාර දෙපැත්ත ඒ විදියටම කුණු පිරෙනවා. මට හිතුණා මේ වැඩේ කරන්න. මං දවස් කිපයක් ටික දුරක් ගිහින් පාර දෙපැත්තේ විසිකරලා දාලා ගිහින් තියෙන කුණු එකතු කරලා ගිනි තියලා දැම්මා. ටික දවසක් කරනකොට මින්නේරිය වනජිවි කාර්යාලයේ මඩුගල්ල ලොකු මහත්තයා මට කතා කරලා කිව්වා ඔයා හොඳ වැඩක් කරන්නේ. ඒක ගොඩාක් වටිනවා. මං ඔයාට ආයතනයක් එක්ක කතා කරලා ඔයාට පඩියක් දෙන්නම් කියලා. මං හා කිව්වා.
2018 ඉඳලා මට ඩේවිඩ් පීරිස් සමාගමට කියලා මාසයකට රුපියල් 26,000ක පඩියක් වනජිවී එකේ ලොකු මහත්තයා අරන් දෙනවා. ඒ පඩියෙන් තමයි මාගේ දරුවො හතර දෙනා ජීවත් වෙන්නේ. මාගේ ලොකු දරුවා මහණ කරලා ඉන්නේ. තව ගෙදර ඉන්නවා දුවලා දෙන්නයි පුතායි. ඒ සියලුදෙනා තාම ඉස්කොලේ යනවා. මට ඉතින් හරිම සතුටුයි පරිසරයත් ආරක්ෂා කරනවා. මාගේ දරුවොත් ආරක්ෂා වෙනවා. මේ රටේ ගොඩාක් අයට තේරෙන්නේ නෑ පරිසරිය ආරක්ෂා කර ගත්තොත් අප සියලුදෙනාටම කිසිදු කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. මං උදේ අටට ගෙදරින් ඇවිත් මින්නේරිය බටුඔය ළඟ ඉඳලා හවස හතර විතර ළං වෙනකම් කැලේ පාර දෙපැත්තේ මිනිස්සු විසිකරලා යන සියලුම කුණු උරවලට එකතු කරනවා. දවල් 11 විතර වෙනකොට කැලේ මැදදී තේ ටිකක් උණු කරගෙන බොනවා. ඒ කරලා ආපහු යනවා. මාගේ ආරක්ෂාවට මට තියෙන්නේ අලි වෙඩි කීපයක් විතරයි. අනේ අලි පාර අයිනේ හමු වෙනවා. මට නම් ඒ අය කරදරයක් කරන්නේ නෑ. මං මාගේ පාඩුවේ යනවා. අලි අලින්ගේ පාඩුවේ යනවා. මට වනසතුන්ගෙන් කරදරයක් නෑ.
අද ජීවත් වෙන්න හරිම අමාරැයි. මට ස්ථිර වැටුප් ලබා දීමට කටයුතු කරනවා නම් බොහෝම පින්. මාත් වසර 18ක් සිවිල් ආරක්ෂකයෙකු ලෙස වැඩ කළා. ඒ ගැනවත් හිතලා මට ස්ථිර වැටුප් ක්‍රමයක් හදලා දෙන්න. වැටුපක් නොලැබුණත් ලැබුණත් මං මේ කරන වැඩේ නතර කරන්නේ නෑ. මං මැරෙනතුරා පරිසරයට ආදරෙයි. ඒ නිසා මං මැරෙනකං මේ කිලෝමීටර් 14 දුර බඩගාගෙන ගිහින් හරි මේ රාජකාරිය කරනවා. ඒ කරන්නේ හදවතට එකඟවමයි.
මින්නේරිය ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරැ වන බී.එස්. මඩුගල්ල මහතා:
අපි මොනතරම් දැන්වීම් මාර්ගය දෙපැත්තේ පල කළත් වැඩක් නෑ. මිනිස්සු කරන්නේම වැරැදි දේ තමයි. කසළ විසි කරන්න එපා කියලා කිව්වාට අහන්නේ නෑ. මේ මින්නේරිය හා කවුඩුල්ල ජාතික උද්‍යාන දෙක අතර මාර්ගය දෙපස පිරිසිදු කරන්න ශ්‍රමදානයක් කරන්න සමාන්‍යයෙන් රැපියල් ලක්ෂ 1ක් විතර වැය වෙනවා. පසුගිය පාලන සමයේ ශ්‍රමදානයක් කළා. ඒ සඳහා රැපියල් ලක්ෂ 10ක් විතර වියදම් වෙලා තියෙනවා. නමුත් දින දෙකක් යන්නත් කලින් සුපුරැදු විදියම තමයි. ලක්ෂ්මන් අපිට කරන්නේ ලොකු සේවයක්. මං ලක්ෂ්මන්ට දවසක් කිව්වා ඔයා මේ වැඩේ කරන්න මං පඩියක් හදලා දෙන්නම් කියලා. ඒ අනුව N.D.B බැංකුව සහ ඩේවිඩ් පීරිස් සමාගම විසින් තමයි ලක්ෂ්මන්ට පඩි ගෙවන්නේ. ඩේවිඩ් පීරිස් සමාගම විසින් ලබන අවුරුද්ද දක්වාත් ලක්ෂ්මන්ට පඩි ගෙවන්න පොරොන්දු වෙලා තියෙනවා. මේ සියලුදෙනා පරිසරය ආරක්ෂා කරන්න උත්සාහ කරන විට ඉතා සුළු පිරිසක් පරිසරය විනාශ කරනවා. මං ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා උද්‍යාන තුළින් ඇති මාර්ග භාවිතා කරන විට ඒ තුළට කසළ දමා නොයන ලෙස යැයි කීය.
හිඟුරක්ගොඩ ඩබ්ලිව්.ඒ. පියතිලක