2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

කොවිඩ් 19ට ගහන පුටින්ගෙ එන්නත

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

2019 දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් පැතිර ලොවපුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය 2020 අගෝස්තු 28 වනවිට පුද්ගලයන් 24,655,052කු ගොදුරු කරගෙන තිබේ. ඉන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 836,143කි. මෙම වෛරසයට නිසි ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා ලොව රටවල් රුසක් විවිධ වර්ගයේ එන්නත් 165 ක් පමණ අත්හදා බලමින් සිටින අතර රැසියාව ස්පුට්නික් V නමින් ලොව පළමු සාර්ථක කොරෝනා එන්නත එරට සෞඛ්‍ය ආමාත්‍යංශයේ ලියාපදිංචි කළ බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම එන්නත ගෝලීයව ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය පාලනය සඳහා වඩාත් ඵලදායී විසඳුම වනු ඇතැයි ප්‍රකාශ කළ පුටින් තම දියණියන්ගෙන් එක් අයෙකුටද එය ලබාදුන් බවත් ඉන් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවත් ප්‍රකාශ කර තිබේ. මෙය ස්වේච්ඡා පදනම යටතේ ලබාදෙන අතර එය ලබා ගැනීම සඳහා කිසිදු බලකිරීමක් සිදු නොකරන බවද ඔහු සඳහන් කර තිබේ.

මාරාන්තික කොරෝනා වයිරස් රෝගයට එරෙහිව සටන් කරන මානව ඇඩිනෝවයිරල් දෛශික එන්නත (human adenoviral vector vaccine) ලෙස හැඳින්වෙන ස්පුට්නික් V එන්නත  කොවිඩ් 19 වෛරසය සඳහා ලියාපදිංචි කෙරැණු පළමු එන්නත වේ. සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ එය සතුව තිබූ අභ්‍යවකාශ යානාවක් වූ ස්පුට්නික් නමින් මෙය නම් කර ඇතැයි පැවසේ.

ගමාලියා වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පර්යේෂණ ආයතනය හා රුසියානු සෘජු ආයෝජන අරමුදල එක්ව නිපදවා ඇති මෙම එන්නතේ තුන්වන අදියරයේ සායනික අත්හදා බැලීම් පසුගිය සතියේ සිට ආරම්භ කර ඇතැයි පැවසේ. මාස 2 කට ආසන්න කාලයක් විවිධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් එම එන්නත පරීක්ෂා කෙරුණු අතර ඒ සඳහා රුසියානුවන් 2000 කට අධික සංඛ්‍යාවක් හා මැද පෙරදිග (එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබිය) සහ ලතින් ඇමරිකානු රටවල්ද (බ්‍රසීලය සහ මෙක්සිකෝව) සම්බන්ධ කරගෙන තිබේ. ස්පුට්නික් V එන්නත මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම 2020 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට රුසියාව තීරණය කර ඇත. මෙම එන්නත ලබාගැනීම සඳහා දැනටමත් ලොව රටවල් 20කින් පමණ ඇණවුම් ලැබී ඇතැයි පැවසේ.

ඇතැම් පර්යේෂකයන් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයන් මෙම එන්නත හා පුටින්ගේ ප්‍රකාශයන් පිළිබඳව සැක සංකා පළකර තිබේ. මෙම එන්නත තවමත් සායනික අත්හදා බැලීම්වලින් සමත්ව නොමැති බව ඔවුහු සඳහන් කරති. අසම්පූර්ණ පරීක්ෂාවක් සිදු කළ එන්නතක් ජනතාවට ලබාදීමෙන් මහජන සෞඛ්‍යයට බලපෑමක් ඇතිවිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

මේ වනවිට ස්පුට්නික් V සායනික අත්හදා බැලීම් දෙකකදී පුද්ගලයන් 76 දෙනෙකු පමණක් යොදා ගනිමින් පරීක්ෂාවට ලක්කර ඇතැයි පෙන්වා දෙන ඔවුහු, මෙම එන්නත කොවිඩ් 19 හා සාර්ස් වැනි වසංගතවලට සාර්ථක ප්‍රතිකර්මයක් විය හැකිද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැති බවද පවසති. සාමාන්‍යයෙන්, එන්නතක් සඳහා අනුමැතිය හිමිවන්නේ අදියර තුනකදී සාර්ථක අත්හදාබැලීම් තුනක් සිදුකිරීමෙන් පසුවය. එහෙත් ස්පුට්නික් V පළමු හා දෙවන අදියරවල අත්හදා බැලීම්වල මුල් අවදියේ පර්යේෂණවලට පමණක් සීමා වී ඇතැයිද එම පර් යේෂණවල ප්‍රතිඵල මෙතෙක් තහවුරැ වී නොමැති යැයිද ඔවුහු චෝදනා කරති.

සයන්ස් ඉන්සයිඩර් නමැති වෙබ් අඩවියට ප්‍රකාශයක් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ රුසියානු රජය විසින් අනුමත කරන ලද සහතිකය මගින් ස්පුට්නික් V ලබාදිය හැක්කේ “අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල පුරවැසියන් සුළු පිරිසකට” පමණක් බවයි. 2021 ජනවාරි 1 වැනි දින වන තෙක් එය පුළුල් ලෙස භාවිතා කළ නොහැකි බව එම සහතිකයේ සඳහන් යැයි පැවසේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් රැසියාව සමඟ සාකච්ඡා කරමින් සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ කඩිනම් නොවී නියමිත ප්‍රමිතීන් අනුව එන්නත පිළිබඳ පර් යේෂණ සිදුකරන ලෙසටය. මෙහි සාර්ථකත්වය තහවුරු කිරීමට තුන්වැනි අදියරයේ පරීක්ෂණය සිදුකළ යුතු බවද එමගින් ජනගහණ මට්ටමින් 30%කගේ ආරක්ෂාවක් ස්ථාපිත කළ යුතු බවද ඔවුහු ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්දනය සඳහා මෙම එන්නත ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ස්පුට්නික් V එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ  නිර්දේශ සහ අනුමැතිය ලද පසු එය මෙරට කොවිඩ් මර්දනය සඳහා භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර තිබේ. ඇය එලෙස ප්‍රකාශ කර ඇත්තේ  ශ්‍රී ලංකාවේ රැසියානු තානාපති යූරි මතේරි සමග පසුගිය 21 දින පැවති විශේෂ හමුවකදීය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා