2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

ඇව්ස්සෙන්න ළඟ පළාත් සභා දෙබරය

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

මෙරට දේශපාලනයේ අවධානය පළාත් සභා වෙත ක්‍රමයෙන් යොමුවන්නට පටන්ගෙන තිබේ. අපගේ නිරීක්ෂණය පරිදි ඉදිරි සති කිහිපයේ රටේ ප්‍රධානතම දේශපාලන සංවාද අතරට පළාත් සභා ක්‍රමය සහ පළාත් සභා මැතිවරණය එකතු වනු ඇත. එනිසාම එම සංවාදයට පූර්විකාවක් සැපයීමට අපි අදහස් කළෙමු. 

පසුගිය සති දෙකක කාලය තුළ පළාත් සභා සම්බන්ධව සුවිශේෂී ප්‍රකාශ කිහිපයක් අපගේ අවධානයට ලක්විය. ඉන් සුවිශේෂී වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හා සම්බන්ධ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන්නැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශයයි. මීට අමතරව හෙතෙම පළාත් සභා ක්‍රමය ආරම්භයේ පටන් මූල්‍ය භාවිතය සහ එහි ඵලදායීතාව පිළිබඳ අධ්‍යයනයක් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ. මෙම වාර්තාව කැබිනට් අමාත්‍යවරයා හරහා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා අදහස් කරගෙන සිටින බව කියැවේ.

මෙහි විශේෂත්වය නම් පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයකු කිසිදාක මෙවන් ප්‍රකාශයක් සිදුකර නොතිබීමය. කෙසේ නමුත් පළාත් සභා ක්‍රමය සඳහා රට තුළ විරෝධයක් ඇති බව සැබෑවකි. පළාත් සභා සුදු අලියකු ලෙස හැඳින්වීම අදක ඊයෙක සිට සිදුවන්නක් නොවේ. පළාත් සභාකරණය ආරම්භයේ පටන්ම ඊට මෙරට බහුතරයක් අකැමැත්තකින් පසුවූ බව නොරහසකි. කෙසේවෙතත් මෙරට මෑතකාලීනව බිහිවූ කිසිදු ආණ්ඩුවක් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට අවංක උත්සාහයක් දැරුවාද යන්න ගැටලුවකි. 

කෙසේ නමුත් වර්තමාන තත්ත්වය සලකන විට දෙමළ ජාතික සන්ධානය 13 වැනි සංශෝධනය අහෝසි නොකරන ලෙස දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව සිහිපත් කළ යුතුය. මහමැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලැබීමත් සමඟ ඔවුන් යම් තැතිගැනීමක සිටින බව නිරීක්ෂණය වෙයි. ඊට කදිම උදාහරණය නම් ඉතා මෑතකදී 13 වැනි සංශෝධනය අහෝසි නොකරන ලෙසට ලක් රජයට බලපෑම් කරන ලෙස ඔවුන් ඉන්දියාවෙන් කළ ඉල්ලීමය. මෙය ඉතා උපායශීලී ප්‍රවේශයකි. ඉන්දියානු රජයට මෙරට දේශපාලනයට ඍජුව බලපෑම් කළ හැකි විෂය පථය පළාත් සභා ක්‍රමයයි. සැබැවින්ම පළාත් සභා යනු ඉන්දියාවේ අවශ්‍යතාවක් මිස ලාංකිකයන්ගේ අවශ්‍යතාවක් නොවේ. 

දෙමළ ජාතික සංවිධානයේ ඉල්ලීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය යම් ප්‍රතිචාරයක් දක්වා ඇත. එම ප්‍රතිචාරය අනාගත දේශපාලනික අර්බුදයක් පිළිබඳ ඉඟියක් ද පළ කරයි. ඔවුන් සඳහන් කර ඇත්තේ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමේ ඉන්දියානු අභිලාෂයේ කිසිදු වෙනසක් නැති බවය. එසේ නම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරභයා ගෙන එන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ නව ව්‍යවස්ථාවක ඉන්දියානු සාධකය අපට එරෙහි වීමට ඉඩ තිබේ. 
ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය නිර්මාණය වන්නේ 1987 ජූලි මස 29 වැනි දින ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා ඉන්දියාවේ හිටපු අගමැති රජීව්  ගාන්ධි අතර ඇතිකරගත් ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහෙයින් 13 වැනි සංශෝධනයේ බලතල අඩුවෙනවාට හෝ අහෝසි වෙනවාට පැහැදිලිවම ඔවුන් විරැද්ධ වනු ඇත. එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ලක් රජය අතිශය උපායශීලී විය යුතුය. එසේම පළාත් සභා ක්‍රමයට පාක්ෂපාතී පිරිස් සහ සුළු පක්ෂ වර්තමාන ආණ්ඩුව තුළ සිටින බව මතක තබාගත යුතුය. 

ඊට උදාහරණ ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පසුගිය 25 වැනිදා සිදු කළ ප්‍රකාශයක් උපුටා දැක්විය හැකිය.  වර්තමාන ආණ්ඩුව යටතේ 13 වැනි සංශෝධනය අහෝසි වීමක් සිදුනොවන බව සහතික යැයි ඔහු කියා තිබුණි. එසේම  13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී දකුණ මෙන්ම උතුර ද එරෙහි වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, එහෙත් තමා එදා පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි බවද මාධ්‍යයට කියා ඇත. එසේම පසුගියදා ඉන්දියාව ද 13 සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතු බව සඳහන් කළ බව ඔහු සිහිපත් කර තිබේ. මේ අනුව පළාත් සභා සම්බන්ධව ජාතික තීන්දුව ඉතා සංකීර්ණ බව අවබෝධ වෙයි.

පළාත් සභා මැතිවරණය පිළිබඳව ඇතිවී ඇති සංවාදය මීට පරිබාහිරව සිදුවන බවද පෙනී යයි. ඇතැම් පළාත් සභා වසර හතරක් තිස්සේ පාලනය කරනුයේ ආණ්ඩුකාරවරැන්ය. කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ අතර පසුගිය වසර අගදී එකඟතාවක් නිර්මාණය විය. එහෙත් තවමත් ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට දේශපාලන පක්ෂ උනන්දු නොවන බව පෙනී යයි. ඊට කාලීන දේශපාලනයේ හැසිරීම හේතු වී ඇත. විපක්ෂ කණ්ඩායම් පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුවට විශාල බලයක් ලැබීමට ඉඩ ඇති බව දනිති. මැතිවරණය ප්‍රමාද වීම ඔවුන් වාසියක් ලෙස දකිනුයේ කාලයත් සමඟ ආණ්ඩුවේ ජනප්‍රියතාව ක්‍රමයෙන් හීන වෙතැයි යන අපේක්ෂාවෙනි. ඒ අතර ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ඇති නිසාවෙන් මෙම ක්‍රමයේ යම් වෙනසක් කර ගැනීමට සැලසුම් සකසමින් සිටිති.

මේ අතර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් හඬ නගන්නේ මැතිවරණ කොමිසම සහ මැතිවරණ නීරීක්ෂණ සංවිධාන කිහිපයක් පමණි. පළාත් සභා මැතිවරණය පිළිබඳව රජය ස්ථිර ප්‍රකාශයක් කළ යුතු බවට කැෆේ සංවිධානය ප්‍රකාශයක් සිදු කර ඇත.  දිවයිනේ සියලු පළාත්වල පාලනය සිදුකෙරෙන්නේ පවතින රජයේ නියෝජිතයන් ලෙස පත් කළ ආණ්ඩුකාරවරුන් යටතේ වීම ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන්නක් බව කැෆේ සංවිධානයේ අදහසයි.
වර්තමාන රජය මෑතක් වනතුරැ පළාත්  සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි, පෙබරවාරි යන මාස දෙකෙන් එකකදී පැවැත්වීමට අදහස් කර තිබුණි. පසුගිය රජය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට තීරණය කර තිබූ මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබුණි. කෙසේවෙතත් එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සිදුවිය යුතුය. පසුගිය රජය සමයේ මෙවැනිම යෝජනාවක් පාර්ලිමේන්තුව දක්වා පැමිණි නමුත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට පවා ඇතුළත් නොවිණි. කෙසේවෙතත් දේශපාලන හැසිරීම් අනුව ආසන්න සතිය තුළද වර්තමාන රජයේ පළාත් සභා මැතිවරණය පිළිබඳ මතය පැහැදිලි නැත.

පළාත් සභාව නියෝජනය කළ මහජන නියෝජිතයන් සමඟ ද අපි සංවාදයක නිතර වීමු. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව බොහෝ දෙනාගේ අදහස විය. බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා කියා සිටියේ නව සංශෝධනය සහිතව පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවය. අද වන විට කොතරම් විරෝධතා තිබුණද පළාත් සභා ක්‍රමය ජනතාවට හුරැවී ඔවුන්ගේ අවශතාවයක් වී ඇති බව ඔහුගේ අදහසය.
එම කතාවේද යම් සත්‍යතාවක් ඇති බව සැබෑවකි. පළාත් සභා ක්‍රමයේ මූල්‍ය සහ පරිපාලන උපයෝගීතාව නැවත සිතා බැලීමට වටිනා බව අවසානයේ කිව යුතුය. ජනවාර්ගික ගැටලුව විසඳීමට පළාත් සභාවලට හැකිද යන්න පිළිබඳව ද සිතා බැලිය යුතුමය. මැතිවරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී පිළිබිඹුවක් නිසාවෙන් පළාත් සභා මැතිවරණය අමතක කර දැමීම කළ නොහැකිය.  කොටින්ම පලා බබා සුදු අලියාට කුමක් වේදැයි අපි බලා සිටිමු.

 චමිඳු නිසල් ද සිල්වා 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02