2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

සීලෝන් ටී ආරක්ෂිත බව ලෝකෙටම කියපු මවුන්ට්වර්නන් තේවත්ත

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

කොරොනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කළ ලෝකයේ පළමු තේ කර්මාන්තශාලාවට හිමි ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය කොටගල වැවිලි සමාගමට අයත් හැටන් කොටගල මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරි නමා ඇත.

කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී එම තේ කර්මාන්ත ශාලාවට පිරිනමන ලද කොවිඩ් 19 ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ අදාළ ප්‍රමිති සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්යය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය විසින් වතුයායේ වතු අධිකාරි අර්ජුන මැදගම මහතා වෙත පිරිනමන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් 19 වෛරසය සඳහා නිර්දේශ කරන ලද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය විසින් කළ නිර්දේශ මත මවුන්ට්වර්නන් වතුයාය මගින් තේ දළු නෙලීමේ සිට තේ කුඩු නිෂ්පාදනය දක්වාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ඇත.
ප්‍රමිති කාර්යංශය විසින් කරන ලද නිර්දේශ වතු පාලන අධිකාරි නිසි ලෙස අනුගමනය කරවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් මාස දෙකකට ආසන්න කාලයක් අධීක්ෂණය කිරීමෙන් අනතුරැවයි අදාළ ප්‍රමිති සහතිකය එම තේ කර්මාන්ත ශාලාවට පිරිනමා ඇත්තේ.

කොවිඩ් 19 සෞඛ්‍යයආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරිනමන ලද ප්‍රමිති සහතිකය සම්බන්ධයෙන් වතු අධිකාරී ආර්ජුන මැදගම මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
අපිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සහතිකයක් ලැබුණා. කොරොනා ආරක්ෂක ක්‍රමවේද භාවිතා කළ ලෝකයේ පළවෙනි තේ කර්මාන්ත ශාලාව විදිහට මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාව තේරී පත් වුණා. අපි අප යටතේ සේවය කරන සේවකයන්ගේ සෞඛ්‍යය තත්ත්වය 100෴ ක් තහවුරැ කරලා තියෙනවා කොරොනා වෛසරයට සමගාමීව. ගත හැකි සියලුම සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරලා තියෙනවා.

අපේ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන තේ 100෴ ක් සෞඛ්‍ය ආරක්ෂිතව තමයි තේ වෙන්දේසියට නිකුත් කරනු ලබන්නේ. අපේ ගැනුම්කරැවන්ට කියන්නේ අපි කොරොනා ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කළ තත්ත්ව සහතියක් ලබාගෙන තියෙනවා. අපි මේකෙන් ලෝකයට කියන්නේ සිලොන් ටී සෞඛ්‍යආරක්ෂිතයි කියන එක. අපි ආඩම්බර වෙනවා එවැනි සහතියක් ලබාගත් ලෝකයේ පළමු ආයතනය වීම පිළිබඳව යනුවෙන් පැවසීය.

 
ප්‍රමිති සහතිකය පිරීනැමීමේ අවස්ථාවට ශ්‍රී ලංකා වැවිලිකරැවන්ගේ සංගමයේ සභාපති සහ කොටගල වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සුනිල් පොලියද්ද, එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක මහෙන් මඩුගල්ල, සමාගමේ නියොජ්‍ය ප්‍රධාන අධ්‍යක්ෂක රොහිත් එඩ්වඩ්, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ ප්‍රමිතිකරණ අධ්‍යක්ෂක එස්.යු.නාරංගොඩ යන මහත්වරැ ද සහභාගි වූහ

 ජායාරූප හා සටහන නොර්වුඩ් රංජිත් රාජපක්ෂ