2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියා අගමැතිගේ ශ්‍රී ලංකා කෑම පිස්සුව

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 296

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පසුගියදා නිකුත් කළ ඡායාරූප කිහිපයක් අමුතු කතාවක් එළිදරව් කළේය. බලවත් රටක රාජ්‍ය නායකයකුගේ පවුල් ජීවිතයේ රස රහසක් වූ එය ලංකාව ගැන ඉහළ ප්‍රසාදයක් ජනිත කරවන්නක්ද විය.

ඉකුත් සෙනසුරාදා ඔහු ඉදිරිපත් කළ ඡායාරෑප පෙළක දැක්වුණේ අගමැතිවරයා සිය කුස්සියේ රාත්‍රී ආහාරය පිසින ආකාරයකි. කෙල්ලො දෙන්නයි ජෙනීයි මේ කෑමට හරිම කැමතියි* ඔහු ඒ සමඟ ලියා තිබුණි. බලවත් රටක රාජකාරි බහුල රාජ්‍ය නායකයකු වුවත් සෙනෙහෙබර තාත්තා කෙනෙක් හැටියට ප්‍රසිද්ධ ස්කොට් සෑම සති අන්තයකම සිය පවුලේ උදවිය සඳහා රූ කෑම පිළියෙල කිරීමේ රාජකාරියද තමන්ට පවරාගන සිටියි. ඔහු ලෝකයේ විවිධ රටවල විවිධ රසමසවුළු සිය පවුලේ උදවියට සියතින්ම තනා දෙයි. වැඩියෙන්ම ඔහු තනන්නට කැමැති ඉන්දියානු කෑම වට්ටෝරැය. මේ නිසාම, ඔහුගේ දියණියන් වන දොළොස් හැවිරිදි ඇබී සහ දස හැවිරිදි ලිලී මෙන්ම බිරිය ජෙනිෆර්ද සිය අගමැති සැමියාගේ අතින් පිළියෙල වූ අමුතු ආහාරයක නැවුම් අත්දැකීම් ලැබීමට සති අන්තයේ පුන පුනා බලා සිටිති. 

මේ සති අන්තයේ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සිය පවුලේ උදවියට උයා පිහා දුන්නේ ලංකාවේ ද ජනප්‍රිය කෑම වට්ටෝරැවකි. ඔහු එදා බැටලු මස් බැදුමක් සමඟ ගෝදම්බ රොටී පිළියෙල කර තිබුණි. මේ අපූරැ කෑමවේල පුරැදු පරිදි ඔහුගේ පවුලේ රාජකීය අමුත්තන් තිදෙනාගේ කට දිව හොඳ හැටි පිනවා තිබුණි. කැන්බරාවේ පිහිටි පුංචි නිවසක ඕස්ට්‍රේලියානු අගමැති පවුල මේ සාදය පවත්වන ඡායාරෑප අන්තර්ජාලයට එක්වීමත් සමඟ කාගේත් මතකයට ආවේ ලංකාවේ පවුලක් ඕස්ට්‍රේලියාවේ රුඳවුම් කඳවුරක විඳිනා දුකය. හැමදෙයක්ම දේශපාලනයට හරවාගන්නා අය වසර දෙකකට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ කඳවුරක වෙසෙන එම ලාංකීය දෙමළ පවුලේ අඳෝනාව නැවත මතුකර තිබුණි. නඩේස් මුරැගප්පන් ඔහුගේ බිරිය ප්‍රියා සහ දියණියන් දෙදෙනා ක්වීන්ස්ලන්තයේ ටවුමක් වන බිලොයිලාවල ගත කරන හිඟානොකා හිඟාකන ජීවිතය අගමැතිගේ ප්‍රීතිමත් පවුලේ සති අන්තය හා සමාන කර විවේචනය කරන්නට මේ අය අමතක කර තිබුණේ නැත. 2012 සිට දිග ඇදෙන නඩු විභාගයකට මුල්වූ මේ අයගේ ඕස්ට්‍රේලියානු තහනම් ජීවිතය නිසා නඩු ගාස්තු ලෙස පමණක් රටේ මුදල් ඩොලර් මිලියන 10ක් වැය වී ඇති බව කියා තිබුණේ ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු ඇමැති පීටර් ඩුටොන්ය. අගමැති මොරිසන්ගේ ලංකාවේ කෑම රෙසපිය^ සහිත පින්තූර එළියට එන්නේ මෙවැනි වටාපිටාවකය.

ඕස්ට්‍රේලියාවේ 30 වැනි අගමැතිවරයා වන ස්කොට් මොරිසන් ඔහුගේ ඉන්දියානු ආහාරවලට ඇති කැමැත්ත ගැන ප්‍රසිද්ධ තැනැත්තෙකි. රාජස්තානයේ කෑම වට්ටෝරු ඔහුගේ හිත වැඩියෙන්ම දිනාගත් ඒවාය. හැමදාමත් රාජස්තානයට ගොස් ආහාර ගන්නට බැරි නිසා සෙනසුරාදා සවස ඉන්දියානු කෑම ගෙදරම සකසා ඉන්දියානු ආහාර සන්ධ්‍යාවක් පැවැත්වීම ඔහුගේ සිරිතය. 

සිය පවුලේ උදවිය සහ තමන්ගේ මව මේ විශේෂ අගමැති කෝකියාගේ භූමිකාවට ආරෝපණය වන සිය ආහාර සන්ධ්‍යාවට එක්කර ගන්නට අගමැති මොරිසන් අමතක කරන්නේ නැත. මේ කියන සෙනසුරාදා ගෝදම්බ රොටි - බැටලු මස් ආහාර වට්ටෝරැව සකසන්නට පෙර ඊට පෙරදා සැඳෑවේ ඔහු පිළියෙල කර තිබුණේ මෝර වරල් සුපයකි. ඒ සඳහා ද ඔහුගේ ගෙදර උදවියගෙන් ලැබී තිබුණේ ඉහළ ප්‍රසාදයකි. විශේෂයෙන්ම ඔහුගේ මවගෙනි. ඔහු මේ සෙනසුරාදා තැනූ ගෝදම්බ රොටි මස් බැදුමද සුප්‍රකට රාජස්තාන් කෑම වට්ටෝරුවකි. එය සාමාන්‍යයෙන් කට දන රතුමිරිස් සහ කිරි දමා බොරට පිළියෙල කරන්නකි. මේ වට්ටෝරැව අගමැති මොරිසන්ගේ ඉතා කැමති මස්කරි ගොඩට අයත්ය.

අගමැති මොරිසන්ගේ ඉන්දියානු කෑම පිසීමේ උනන්දුව ලෝක ප්‍රසිද්ධය. කෑම උයන්නත්, උයන කෑම පින්තූර ගෙන සමාජ ජාලවලට දැමීමත් තමන්ගේ කෑම කාට කාටත් බෙදාහදා දීමටත් ඔහු ප්‍රසිද්ධය. පසුගිය ජූනි මාසයේ ඉන්දියාවට ගිය ඔහු ඉන්දීය අගමැති මෝදිට ඉන්දියානු කෑමක් හදා කැව්වේය. ඒ කතාව ද ලෝක ප්‍රසිද්ධ විය. එවර මොරිසන් හැදුවේ ඉන්දියාවේ හැම පාරක් තොටක් ගානේම දක්නට ඇති සමෝසාය. එයට අලුත් නමක් ඒ කාලේ පටබැඳී තිබුණේ ස්කොට් මොරිසන්ගේ සමෝසා හෙවත් Scomosas හැටියටය. මොරිසන්ගේ මේ සමෝසා පිළිගන්වා තිබුණේ අඹ චට්නි සමඟය. මොරිසන් කොතරම් ඉන්දියානු කෑම ප්‍රිය කරන්නෙක්ද යත් ‍ග්‍රොසරියට යන සැම විටම ඉන්දියානු කුළුබඩු රෑගෙන එන්නට අමතක කරන්නේද නැත. ඔහු ඒවා හඳුන්වන්නේ විස්මිත ඉන්දීය කුළුබඩු හැටියටය. මේ කුළුබඩු යොදා සෙනසුරාදා රෑ අගමැති කෝකියාගේ රූ කෑම සාදය පැවැත්වීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශයයි.

 සුගත්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02