“කෙල්ල උපන්දා ඉඳන් අපිට හරිගියා. මගේ චූටිදුව තමයි පවුලට වාසනාව ගෙනාවේ. දුවගේ පුංචි මූණ බලලා හැමෝම කීවේ මුහුණුවර නම් තාත්තා වගේමයි කියලා. මට එදා දැනිච්ච සතුට අදත් දැනෙනවා. එදා ඉඳන්ම ඇස්දෙක වගේ රැකගත්ත මගේ කෙල්ල ලොකු මහත් කරලා හොඳ වැදගත් මනමාල මහත්තයකුට දීග දෙන දවස අද.”
තවත් හෝරා කිහිපයකින් මංගල පෝරු මස්තකයේ සුබ මොහොතට විවාහ පත්වන ආදරණීය දියණිය මනාලියක් ලෙස හැඩගන්වා ගැනීමට රූපලාවණ්‍යාගාරයට ඇරලවා පා ගමනින් සිය නිවසට එන අතරමගදී රිය අනතුරකට ලක්ව මියගිය බව කියන මනාලියගේ පියාට එසේ සිතෙන්නට ඇත. එවැනි අනුමානයක් කරන්නේ මියගිය එන්.එම්. ආරියරත්න (70) මහතාගේ පවුලේ ආදරණීයයන් ඔහු පිළිබඳ කරන කතා අනුවය. බාල දියණියගේ විවාහ මංගල්‍ය දිනයේදී අලුයම හදිසි රිය අනතුරකට ලක්ව මියගිය මනාලියගේ පියාගේ අවාසනාවන්ත මරණය පසුපස වාර්තා වූයේ සංවේදී ප්‍රවෘත්තියකි. ඒ පිළිබඳ සොයාබැලීමේදී අසන්නට ලැබුණ කඳුළු කතාව කාගේත් හද කම්පා කරවන එකකි.
දියණියන් දෙදෙනකුගේ පියකු වූ ආරියරත්න මහතා ඇතුළු පවුල පදිංචිව සිටියේ දුම්මලසූරිය බිබිලදෙණිය ප්‍රදේශයේය. ආරියරත්න යුවළගේ බාලදියණියගේ විවාහ මංගල උත්සවය පැවැත්වීමට දින නියම කොටගෙන තිබුණේ පසුගිය 20 වැනි බ්‍රහස්පතින්දාය.
මාස කිහිපයකට පෙර සිටම විවාහය සඳහා දිනය වෙන් කොටගෙන ඒ සඳහා අවශ්‍ය කළමනා රැස්කර උඩුබද්දාව ප්‍රදේශයේ උත්සව ශාලාවක්ද වෙන්කරගෙන තිබිණ. අනතුරුව මනාලියගේත් මනාල පාර්ශ්වයේත් හිතවතුන් හාරසියයකට පමණ ඇරයුම් කොට තිබුණේ මහා හරසරකින් යුතුව විවාහ මංගල්‍යය පැවැත්වීමටය.
ඉකුත් 20 වැනිදාට නියම කොටගෙන තිබුණු මංගල්‍යයේ පළමු නැකත යෙදී තිබුණේ මනාලියගේ නළල් තැල්ල තැබීමටය. අලුයම හතරට පමණ යෙදුණු නැකතට මනාලියගේ මව විසින් තැල්ල පැළැඳවීමට නියමිතව තිබූ හෙයින් මනාලිය හැඩගැන්වීම සිදුකෙරුණේ ඊටත් හෝරාවකට දෙකකට පෙර සිටය.
මේ සඳහා මනාල මහතාගේ දැන හැඳුනුම්කම අනුව තෝරාගත් රූපලාවණ්‍යාගාරයකි. එය පිහිටා තිබුණේ දුනකදෙණිය ප්‍රදේශයේය. නැකතට තැල්ල තැබීමට මත්තෙන් මනාලිය හැඩගැන්වීම සඳහා මනාලියගේ ඥාති සහෝදරයකු ලවා රූපලාවණ්‍යාගාරය වෙත කැඳවාගන ගොස් තිබිණ. ඒ 19 වැනිදා මධ්‍යම රාත්‍රිය ඉක්මවමින් තිබියදීය.
ඒ මොහොතේ පටන් නිවැසියන් කාටවත් නින්දක් නොවූයේ බොහොමයක් වැඩ කටයුතු ඉතිරිව තිබූ නිසාය. මේ අතර නිවැසියන් කිහිපදෙනෙකු පාන්දරින් මංගල උත්සව ශාලාව වෙත පිටත්ව යාමටද නියමිතව තිබී ඇත. ඒ අතර මනාලියගේ එකම වැඩිමහල් සොහොයුරියද වූවාය. ඇය හැඩගන්වා ගැනීම සඳහා නිවෙස ආසන්නයේ ඇති රූපලාවණ්‍යාගාරයක් වෙත යාමට සූදානමින් සිටියාය. අලුයම තුනට පමණ එහි යාමට සූදානමින් සිටියදී ඇගේ තනියට කවුරුන් හෝ සිට නැත. මේ බව දුටු දියණියගේ පියා “පුතේ, ඔයාට තනියම යන්න බෑ.... ඉන්න මම එන්නම් ගිහින් ඇරලලා එන්න පුළුවන්...” කියා වැඩිමහල් දියණිය කැටුව නිවසට මීටර් කිහිපයක් දුරින් පිහිටි රූපලාවණ්‍යාගාරය වෙත ගියේය. එහි ගිය ආරියරත්න මහතාට යළි නිවසට එද්දී හාත්පස පැතිර තිබූ ඝන අන්ධකාරය නිසා ඔහුගේ දියණිය තම ජංගම දුරකථනයේ වූ විදුලි පන්දම දල්වා එය පියා අතට දී පිටත් කරන්නට කටයුතු කළාය.
විදුලි පන්දම අතින් ගත් ආරියරත්න මහතා දෙවුර වැසෙන්නට ලා ගත් රෙදිකඩක් සහිතව ප්‍රධාන මාර්ගයේ වම්පස තීරුවේ ගමන් කරමින් සිටියේය. මඳ දුරක් එසේ ගිය ඔහු මාර්ගය හරහා දකුණු පසට ගමන් ගන්නා බවක් දකින්නට ලැබේ. විරුද්ධ මංතීරුවට ගිය සැණින් ඔහු ඉදිරියට වේගයෙන් එන ලොරි රථයකි. ආරියරත්න මහතාට තවත් මොහොතක් ඉතිරි වූයේ නැත. එසැණින් ලොරි රථයේ ගැටෙන ඔහු විසිවී වැටෙද්දී ඔහු යටකර යන ලොරි රථය මීටර් ගණනාවක් දුරට ගොස් නැවැත්විය. මේ අසල වූ නිවසක තිබූ සී.සී.ටී.වී. කැමරාවේ අනතුර සටහන්ව තිබූ ආකාරයයි.
මෙසේ අනතුරට පත්වූ ආරියරත්න මහතා බරපතළ ලෙස තුවාල ලබා සිටියදී දුනකදෙණිය රෝහලට ඇතුළත් කිරීමට අසල්වාසීන් පියවර ගෙන තිබුණද ඒ වනවිටත් අවාසනාවන්ත ලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේය. මේ සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ වැඩිමහල් දියණිය මෙසේ කීවාය.
“නංගි සැලුන් එකට ගියේ රූ 12ට විතර. මම පාන්දර 3ට විතර ළඟ සැලුන් එකකට යන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ “පුතා ඔයාට තනියම යන්න බෑ. මම එන්නම්...” කියලා තාත්තා මාව ඇරලවන්න ආවා. මම සැලුන් එකට යනවා පාරට වෙලා බලාගෙන ඉඳලා තාත්තා යන්න ලෑස්ති වුණා. එතකොට මම ෆෝන් එකේ ටෝච් එක ඔන් කරලා තාත්තාට දුන්නා. තාත්තා ඒ ගමන්ම යන්න පිටත් වුණා. මම සැලුන් එකට ගිහින් ජැකට් එක දාගන්නකොටම පාරෙ ලොකු ශබ්දයක් ඇහුණා. ඉක්මනට ගිහින් බලද්දී නවත්වපු ලොරියකින් බැහැපු දෙන්නෙක් කවුදෝ හැප්පුණා කියලා ආපස්සට දිව්වා. මාත් දුවගෙන ගිහින් බලද්දී තාත්තා තුවාල වෙලා බිම වැටිලා හිටියා. මම අයියේ තාත්තා වැටිලා කියලා කෑගැහුවාම ගෙදර අය දුවගෙන ආවා. මහත්තයාගේ ත්‍රීවීල් එකෙන් තාත්තා දුනකදෙණිය රෝහලට ගෙනිච්චා. ඒත් පස්සෙ දැනගත්තා තාත්තා මියගියා කියලා.”
මෙම මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්විණි. එහිදී තීරණය කෙරුණේ රිය අනතුරක් නිසා සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් ශරීර අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා මරණය සිදුව ඇති බවය.
සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා සහ සේයාරූ:
දුම්මලසූරිය තිලක් රාජපක්ෂ