2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

පාතාලයාගේ ඔත්තුවෙන් කොටුවූ අඹතලේ කුඩු - ගිනිඅවි තිප්පොළ

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

ගෙවෙමින් තිබෙන කාලය පාතාල සගයන්ට ගොක්කොළ සිහින පමණක් නොව එළිපිට සුදු කොඩි පෙනෙන සමයකි. එබැවින් පාතාල ගෝලබාලයන් කවුරුත් දෙගිඩියාවෙන් පසුවෙති. මාස කිහිපයකට පෙර පැවැති පාතාල ගැටුම් තරමට දැන් එකී සිද්ධීන් පෙනෙන්නට නැතත් ඒ වෙනුවට වාර්තා වන්නේ පාතාලායන් ගෝලබාලයන් ගිනි අවි පුපුරණ ද්‍රව්‍ය හා කුඩු තොග සමඟ කොටුවීමය.

මේ හරහා අනාවරණය වන්නේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කුඩු ජාවාරම බවය. පාතාලය හෙරොයින් ජාවාරම ප්‍රධාන කොටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි රටින් තුරන් කිරීමේ මෙහෙයුම ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වීම දැන් දැන් පාතාලයන්ට මහා හිසරදයකි. නොකඩවා සිදුකරන පාතාලයට එරෙහි මෙහෙයුම් නිසා එහි නිරත සගයන්ට උදාවී තිබෙන්නේ අයහපත් කාලයකි. සංවිධානාත්මක අපරාධ කල්ලි සතු මත්ද්‍රව්‍ය තොග ගිනි අවි ඇතුළු උපකරණ තැන තැන රැගෙන ගොස් සඟවමින් සිටින්නේ මේ හේතුවටය. එම කල්ලිවල ගෝලබාලයන් ගමේ නොසිට පිට පළාත්වල තැනින් තැන සැඟවී ඉන්නේද කෙසේ හෝ රටින් පලායන්නට උත්සාහ ගන්නේද පොලිසියට කොටු වුණහොත් ඉදිරියේදී සිදුවන දේ දන්නා නිසාය.

පොලිසියට තමුන් පිළිබඳ ඉව වැටී ඇතැයි සැක සිතූ පාතාල චණ්ඩින් හතර දෙනකු හොර රහසේ ඩුබායි රාජ්‍යය බලා පිටත්වීමට සූදානමින් සිට ඇත. කොළඹ පාතාලයේ ප්‍රබලයන් වන වැල්ලේ සාරංග ඇතුළු තවත් තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රෙය් රැඳී සිටින බවට ඔත්තුවක් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ලැබී තිබුණේ මේ අතරය.

හොර රහසේ රටින් පළායාමට සූදානමින් සිටින බවට ලද ඔත්තුවත් සමඟ ක්‍රියාත්මක නිලධාරීන් හදිසියේ සිදුකළ වැටලීමකින් සැකකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් අතර ඉෂාර ලක්මාල්, බුද්ධික සංජීව, මොහොමඩ් ටුපර් යන අයද වූහ. ඔවුන් සියලුදෙනා ඉන්දියාවේදී ඝාතනය වූ බව කියන අංගොඩ ලොක්කා නැමැති පාතාල ප්‍රබලයාගේ ගෝලයෝ වෙති. හෙරොයින් හා ගංජා ජාවාරම, මිනීමැරීම, කප්පම් ගැනීම, ආයුධ ජාවාරම, කොල්ලකෑම ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබෙන මේ පාතාල කල්ලි සාමාජිකයන් භාරයට ගැනීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සැකකරුවන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න කර ඇත.

පිරිස අතර මෝදර රොක් හවුස් පටුමගේ වැල්ලේ සාරංග, වැල්ලම්පිටිය කොටුවිල බුද්ධි සංජීව, වෙන්නවත්ත මොහොමඩ් සුබීර් සහ සේදවත්ත ඉෂාර ලක්මාල් යන අයද වූහ. මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී වෙන්නවත්ත සුබීර් නැමැත්තා හෙළිකළ තොරතුරු ගණනාවකි. මෙහිදී අනාවරණය වී තිබුණේ සැකකරුවන් හතරදෙනාට එරෙහිව ඇති නඩු ගණනාවක් මගහැර රටින් පලායාමට සූදානමින් සිටි බවය. අංගොඩ ලොක්කාගේ ගෝලයන් වූ මොවුන්ගෙන් වෙන්නවත්ත සුබීර් කියා ඇත්තේ අංගොඩ ලොක්කාට අයත් හෙරොයින් හා ආයුධ ගබඩා ස්ථාන කිහිපයක පවත්වාගෙන යන බවය. හෙළිකළ තොරතුරු අනුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු පිරිසක් හදිසි වැටලීමකට දායක වූහ. ඒ අනුව පිටත්ව ගිය නිලධාරීන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ මුල්ලේරියාව අඹතලේ හන්දිය අසල නිවසක් සෝදිසියට ලක්කර ඇත.

ප්‍රධාන මාර්ගයට නුදුරින් පෙනෙන්නට තිබූ නිවෙස මිනිස් වාසයක් නොමැති තරමේ පාළුවට ගිය එකකි. අසල්වැසියන් ප්‍රකාශ කර තිබුණේ අදාළ නිවෙස අයිතිකරුවන් විසින් විකිණීම සඳහා සූදානමින් සිටි බවකි. නිවෙසේ දොර ජනෙල් වසා ඉබියතුරු දමා තිබුණු හෙයින් කිසිවකුත් එහි යන එන බවක් පෙනෙන්නට තිබී නැත. පොලිස් නිලධාරීන් අදාළ නිවස වටලා අනතුරුව ඉඩම අවට නිලධාරීන් කිහිපදෙනකු රඳවා ඔවුන්ගේ ආරක්ෂාව යටතේ සැකසහිත නිවස සෝදිසියකට ලක්කොට ඇත. එම නිවෙස කාමර තුනකින් සමන්විත එකකි. මැදට වන්නට පිහිටි කාමරයක බිත්තිය ආශ්‍රිතව සිමෙන්තියෙන් සකසන ලද අල්මාරියකි. ඉබියතුරු දමා තිබුණු එය කඩා පරීක්ෂා කළ නිලධාරීන්ට එක හා සමාන ඇසුරුම්වලින් යුත් පාර්සල් කිහිපයක් හමුව තිබිණ. ඒ අතර අසුරා තිබූ අවි ආයුධ තොගයක්ද හමුව තිබුණි. සොයාගත් පාර්සල් ප්‍රමාණය 42ක් වන අතර එහි අසුරා තිබූ හෙරොයින් බර ප්‍රමාණය කිලෝ 40කි. මේවායේ වටිනාකම රුපියල් කෝටි 40කට අධිකය.

විදේශයක සිට මෙරටට ගෙන්වා තිබූ හෙරොයින් තොගය එම ඇසුරුම්වලම බහා තිබුණේ කිසිදු වෙනසකට ලක් නොකරය. ඉතා නුදුරේම ගෙන්වා තිබූ හෙරොයින් තොගය ලංකාවට රැගෙන ආ සැණින් රහසිගතව මොවුන් බාරයට ගෙන මෙකී නිවසට රැගෙන විත් සඟවා තබා ඇතැයි සැක කෙරේ. හෙරොයින් සමග අත්අඩංගුවට ගත් අවි ආයුධ තොගය අතර ටී.56 ගිනි අවි 3ක්, එම මැගසින් පහක්, ටී. 56 උණ්ඩ 170ක්, පිස්තෝල එකක් සහ එම මැගසින් එකක් තිබී සොයාගෙන ඇත. මෙම අවි තොගයද භාවිතයට නොගත් අලුත්ම ඒවා බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරීහු පවසති.

අංගොඩ ලොක්කාගේ සමීපතමයකු බව කියන පසුගිය 23වැනිදා කටුනායක ගුවන්තොටුපළේදී කොටු වූ වෙන්නවත්ත සුබීර් නැමැත්තාගේ අනාවරණය කිරීම හමුවේ අත්අඩංගුවට ගත් හෙරොයින් හා ආයුධ තොගය මොවුන් ඩුබායි රාජ්‍යයට පලාගිය පසුව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් සඟවා තැබීමේ සූදානමින් පසුවී ඇත.

දින කිහිපයකට ඉහතදී අංගොඩ ලොක්කාගේ සමිපතමයකු වන අංගොඩ ලොක්කාගේ වෙඩික්කරු කියන චමින්ද එදිරිසූරිය හෙවත් චමියා කැලණිමුල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. පසුව සඟවා ඇතැයි කී අවි කිහිපයක් පෙන්වීම සඳහා ගම්පහ ඔරුතොට ප්‍රදේශයට යමින් සිටියදී පොලිස් රථයේ සිටි නිලධාරියකු සතු ගිනි අවිය උදුරා ගැනීමට තැත්කළ මොහොතේ තවත් පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩිතැබීමකදී චමියා ජීවිතක්ෂයට පත්ව තිබිණ. සිදුවීමෙන් පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියකු තුවාල ලබා තිබිණ.

පසුගිය 22 වැනිදා කළුතර උතුර ඇල්මෝදර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මාකඳුරේ මධූෂ්ගේ ගෝලයකු වන පන්නිපිටිය දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරු වන දියගම මධූ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අවස්ථාව වනවිට මොහු තවත් පුද්ගලයකු සමග ත්‍රිරෝද රථයකින් හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇත.

ඊට දින කිහිපයකට පෙර වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වේයන්ගොඩ හැට්ටයා නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබ තිබිණ. හෙරොයින් ග්‍රෑම් 5ක් සමග කොටු වූ ඔහු සතුව තිබූ රුපියල් 98 ලක්ෂයක් වටිනා චෙක්පතක්ද සොයාගෙන ඇත. ඔහු සතු බැංකු ගිණුම් 3කින් රුපියල් හත්කෝටි විසිතුන් ලක්ෂයක පමණ ගනුදෙනු සිදුකර තිබෙන බවද හඳුනා ගැනිණ. මොහු ලක්ෂ 75ක් පමණ වටිනා නවීන මෝටර් රථයක් සමග අත්අඩංගුවට ගැනුණ අතර පසුගිය සිකුරාදා පොඩි ලැසී නැමැත්තාගේ ගෝලයකු වන කුඩු රංග ටී 56 ගිනි අවියක්, මැගසින් හතරක් උණ්ඩ 98ක් සහ ගල්කටස් ගිනි අවි දෙකක් මිලිමීටර් 9 උණ්ඩ 53ක් දුම්බෝම්බ දෙකක් හා අත් විලංගුවක් සමග අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ.

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීම ඇතුළු පාතාලයන්ට එරෙහි වැටලීම් රාශියක් මේ වනවිට ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02