2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

ඡන්ද ප්‍රතිශතයේ සීමාව වෙනස් කිරීමේ හොඳ නරක

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

මහ මැතිවරණයකදී මනාප ඡන්ද ගණන් කිරීමට සුදුසුකම් ලැබීමේ කඩඉම් සීමාව (Cut off Point) ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 8%ක් විය යුතු බවට වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවට වාර්තා වෙයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙම කඩඉම් සීමාව පැවතුණේ 12.5%ක මට්ටමකය. එහෙත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් මුස්ලිම් කොංග්‍රසය ඇතුළු ඇතැම් සුළු පක්ෂ කළ ඉල්ලීමකට අනුව එම සීමාව 5% දක්වා අවම කෙරිණි. අලුත් ආණ්ඩුව නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පියවර ගනිමින් සිටින අතර එම සංශෝධනයේදී කඩඉම් සීමාව 10%ක් කළ යුතු යැයි මුලින් යෝජනා වී තිබුණද දැන් එය 8%ක් කළ යුතු යැයි අදහස් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමයයි. මෙරට පැවැති පළමුවැනි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔවුන් හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයේ පැවැති කේවල මැතිවරණ ක්‍රමයයි. එහිදී එක් මැතිවරණ කොට්ඨාශයකට අනවශ්‍ය අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග කිරීම වැළැක්වීම සඳහා අවම ඡන්ද ප්‍රතිශතයක් හෙවත් Cut off Point නම් ක්‍රමයක් භාවිත කෙරිණි. එම ප්‍රමාණය සමස්ත ඡන්දවලින් 1/8ක් හෙවත් 12.5%ක් විය. එම ඡන්ද ප්‍රතිශතය ලබාගත නොහැකි සෑම අපේක්ෂකයකුගේම ඇප මුදල රාජසන්තක කෙරිණි. එහෙයින් අනවශ්‍ය ලෙස විශාල පිරිසක් මැතිවරණවලට ඉදිරිපත් වීම  වැළකී ගියේය. 1977 මහ මැතිවරණය තෙක් මෙම තත්ත්වය ක්‍රියාත්මක විය. 1977 මහ මැතිවරණය පැවතියේ මැතිවරණ කොට්ඨාශ 160 සඳහාය. බහු මන්ත්‍රී ආසන කිහිපයක්ද පැවැති අතර ඒ අනුව මන්ත්‍රීවරැ 168 දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගනු ලැබූහ. 1977 නව ව්‍යවස්ථාව මගින් සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. එහිදීද කඩඉම් සීමාව 12.5% ප්‍රතිශතයක් ලෙස සඳහන් විය.

සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ පෙර පැවැති මැතිවරණ කොට්ඨාශ 168 අහෝසි විය. ඒ වෙනුවට මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් බවට පත්විය. (ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක් පවතින නමුදු ඇතැම් දිස්ත්‍රික්කයන්හි ජනගහණය අවම වීම හේතුවෙන් ඒවා ඒකාබද්ධ කොට එක් මැතිවරණ දිස්ත්‍රික්කයක් බවට පත් කෙරිණි. ඒ අනුව යාපනය හා කිලිනොච්චිය එක් මැතිවරණ දිස්ත්‍රික්කයක් ලෙස නම් කොට යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය ලෙසද මුලතිව්, වවුනියා සහ මන්නාරම එක්කොට වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය ලෙසද හැඳින්විණි.) මෙහිදී පෙර පැවැති මැතිවරණ කොට්ඨාශයකට වඩා දිස්ත්‍රික්කය විශාල වූ අතර එහිදී කඩඉම් සීමාව 12.5% ප්‍රමාණයක පැවතීම යථාර්ථවාදී නොවීය. එහෙයින් 15 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කඩඉම් සීමාව 5% දක්වා අවම කෙරිණි.

ගණිතමය වශයෙන් මෙහි යහපත් තත්ත්වයක් පෙනී ගියද ඉන් අනිසි ප්‍රතිථලයක්ද නිර්මාණය විය. එතෙක් ප්‍රධාන පක්ෂ සමඟ එක්ව කටයුතු කළ සුළු ජාතීහු තම ජාතික අනන්‍යතාව මත පක්ෂ බිහි කිරීමට පියවර ගත්හ. සුළු ජාතික පක්ෂ විශාල සංඛ්‍යාවක් උතුරැ නැගෙනහිර පමණක් නොව බස්නාහිර පළාතෙන්ද බිහි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් මින් නිර්මාණය වූ බවට කෙනෙකුට තර්ක කළ හැකි වුවද එය ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන සංඛ්‍යාවක් විය. ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 70ක් පමණ වේ. තවත් පක්ෂ 100කට අධික ප්‍රමාණයක් ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අයැදුම් කර ඇතැයි වාර්තා වේ. මෙම පක්ෂ අතුරින් වැඩි ප්‍රමාණයක් ජාති, ආගම් හා විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය කරනු සඳහා පිහිටුවා ගන්නා ලද පක්ෂ වේ. 20 වැනි සංශෝධනයේදී හෝ 21 වැනි සංශෝධනයේදී මැතිවරණ ක්‍රමය වෙනසකට ලක් කෙරෙන්නේ නම් මෙම තත්ත්වය පිළිබඳව යළි සලකා බැලීමට සිදුවනු ඇත. (පළාත් සභා මැතිවරණවලදී කඩඉම් සීමාවක් පැනවී නොමැත. එහි ප්‍රතිඵලය වූයේ ඉතා සීමිත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා පක්ෂයකට වුවද මන්ත්‍රී ආසන හිමිවීමය.)

කඩඉම් සීමාව ඉහළ දැමීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඒ තුළින් අනවශ්‍ය දේශපාලන පක්ෂ මෙන්ම ජාතික වශයෙන් රටට සේවයක් කරන දේශපාලන පක්ෂද ඉවත් විය හැකියැයි පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. කඩඉම් සීමාව 5% සිට 8%ක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව අදහස් කරන්නේ නම් එහි යහපත් හා අයහපත් බලපෑම් දෙකම තිබෙනවා. මේ වන විට රටට අනවශ්‍ය තරමට සුළු පක්ෂ රුසක් නිර්මාණය වී තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේවායින් වැඩි ප්‍රමාණයකට නිසි ඡන්ද පදනමක් නැහැ. එවැනි පක්ෂ පාලනය කිරීමට මෙම ක්‍රමය වැදගත් වේවි. එහෙත් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු, රට වෙනුවෙන් කිසියම් කාර්යභාරයක් ඉටුකරන ඇතැම් පක්ෂවලටත් මේ ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි විය හැකියි. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමේදී මෙම කඩඉම් සීමාව පැවතියේ 12.5% ලෙසින්. පසුව එය 5% දක්වා අවම කෙරුණේ සුළු පක්ෂවලට වැඩි අවස්ථාවක් ලබා දීම සඳහායි. එකදු දිස්ත්‍රික්කයකින් හෝ ආසනයක් දිනා නොගත් ඇතැම් පක්ෂවලටත් ආසනයක් හිමිවූයේ ඒ ක්‍රමය නිසයි. කිසිදු ජනතා පදනමකින් තොර ජාතිවාදී, ආගම්වාදී හෝ වෙනත් පෞද්ගලික ලාභ අරමුණුකරගත් දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වීම වැළැක්විය යුතුයි. ඒ සඳහා නීති සංශෝධනය වීම වැදගත්. එහෙත් එම නීති හේතුවෙන් ජනතාවට සේවය කරන සුළු දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති ඉඩකඩ අහිමි නොවන පරිදි කටයුතු කිරීම වැදගත්. 

දේශපාලන පක්ෂ ක්‍රියාත්මක විය යුත්තේ ප්‍රතිපත්ති මත පදනම්වයි. ජාතිවාදී, ආගම්වාදී හා ප්‍රාදේශීයවාදී දේශපාලන පක්ෂ තිබිය නොහැකියි. එහෙත් අපේ රටේ පවතින දේශපාලන යථාර්ථය අනුව වැඩියෙන්ම තියෙන්නේ එවැනි පක්ෂයි. කඩඉම් සීමාව 8%ක් වැනි සීමාවකට වැඩි කළහොත් බොහෝ පක්ෂවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි විය හැකියි. එතුළින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පටු විය හැකියි. අනවශ්‍ය පිරිස් මැතිවරණවලට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා වෙනත් ක්‍රම යොදාගත හැකියි. උදාහරණයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයකු දැනට තැන්පත් කළ යුතු ඇප මුදල රැපියල් 2000ක් පමණයි. මෙම ඇප මුදල අවම වශයෙන් රැපියල් ලක්ෂයක් දක්වාත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයකුගෙන් ලක්ෂ 20ක් හෝ 25ක් දක්වාත් වැඩි කළ යුතුයි. සෑම වසර 5කට හෝ 10කට වරක් සක්‍රීය දේශපාලනයේ නොයෙදෙන පක්ෂ ඉවත් කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය විය යුතුයි. ඇතැම් දේශපාලන පක්ෂ ව්‍යාපාර බවට පත්ව තිබෙනවා. ඔවුන් විවිධ අවස්ථාවල විකිණෙනවා. මේවා වැළැක්වීම සඳහා කිසියම් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම වැදගත්. යැයි ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණ සඳහා දැනට පවතින ක්‍රමය වෙනුවට නැචුරල් කට්ඕෆ් හෙවත් ස්වභාවික කඩඉම් සීමාව යොදාගත හැකියැයි ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ සඳහන් කරයි. නැචුරල් කට්ඕෆ් කියන්නේ කිසියම් මැතිවරණ දිස්ත්‍රික්කයකින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරැන් සංඛ්‍යවෙන් බෙදා ඒ අනුව කඩඉම් සීමාව පැනවීමයි. උදාහරණයක් ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනෙන්නේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් පමණයි. එවිට එහි නැචුරල් කට්ඕෆ් එක 25%යි. කොළඹ ගම්පහ වැනි දිස්ත්‍රික්කවලින් මන්ත්‍රීවරැන් 18ක් 19ක් තෝරා ගැනෙනවා. එවිට එහි ස්වභාවික කඩඉම් සීමාව වෙන්නේ සියයට පහයි දශම ගණනක්. වන්නි දිස්ත්‍රික්කයෙන් ඊපීඩීපී පක්ෂයට ආසන දෙකක් හිමි වුණා. ඔවුන් ලබාගත් ප්‍රතිශතය පැවතුණේ 5% ආසන්නයේ.  ජනතා විමුක්ති පෙරමුණ කොළඹ සහ ගම්පහින් ආසන දෙකක් හිමි වුණා. ඔවුන්ට හිමිවූයෙත් 5% ආසන්න ඡන්ද ප්‍රතිශතයක්. අණ්ඩුව 8%ක් හෝ 10%ක් කඩඉම් සීමාව ලෙස වෙනස් කරනවා නම් ඇතැම් දිස්ත්‍රික්කවලට එය සාධාරණ වන්නේ නැහැ. එහෙයින් දිස්ත්‍රික්කය අනුව ස්වභාවික කඩඉම් ප්‍රතිශතයක් යොදාගත හැකිනම් එය සාර්ථක ක්‍රමයක් වේවි. කෙසේ වුවත් දැනට පවතින 5% කඩඉම් ප්‍රතිශතය නිවැරදි ප්‍රතිශතය ලෙසයි මා දකින්නේ  දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමයෙන් ඉවත් වුවහොත් මේ සියලු ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි* මහාචාර්යවරයා සඳහන් කළේය. 

කඩඉම් සීමාව වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවට මෙතෙක් යෝජනා වී නොමැති යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එහෙත් එවැනි වෙනස්කමක් සිදුවුහොත් එය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට කිසිදු බලපෑමක් ඇති නොකරන අතර සෑම දිස්ත්‍රික්කයකින්ම එම පක්ෂවලට 8% ඉක්මවන ප්‍රතිශතයක් හිමිවන බවත් ඔහු සඳහන් කළේය. උතුරු නැඟෙනහිරින් පිටත සුළු ජනවාර්ගිකයන් නියෝජනය කරන පක්ෂ, ප්‍රධාන පක්ෂ දෙක සමඟ සන්ධාන ගතවී තරග කරන හෙයින් ඔවුන්ට ඉන් බලපෑමක් ඇති වන්නේ නැහැ.. කිසියම් බලපෑමක් සිදු වුවහොත් ඒ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ඔවුන් ජාතික ලැයිස්තු ආසනයකට පමණක් විය හැකියි. ඇතැම් පිරිස් වැරදි මතයක සිටිනවා 12.5% තිබූ ප්‍රතිශකය 5% දක්වා අවම කිරීම නිසා ආණ්ඩු අස්ථාවර වුණා කියලා. ආණ්ඩු අස්ථාවර වුණේ බෝනස් මන්ත්‍රිධුර නොමැති වීම නිසයි. බෝනස් මන්ත්‍රිධුර ලබා දිය යුත්තේ දිස්ත්‍රික්කයට නොවෙයි දිනපු පක්ෂයටයි. දැන් දෙන්නේ දිස්ත්‍රික් මට්ටමට නිසා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට ඉන් දායකත්වයක් ලැබෙන්නේ නැහැ. මේ සම්බන්ධව නව ව්‍යවස්ථා සම්පාදක කමිටුවට ඉදිරිපත් කරනවා*. යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

උදය ගම්මන්පිල මහතා සඳහන් කළ පරිදි ප්‍රතිශතය වෙනස් කිරීමෙන් වැඩිම බලපෑම සිදුවන්නේ ජනතා විමුක්ති පෙරමුණටද? මේ සම්බන්ධයෙන් අප විමසා සිටියේ ජනතා ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතාගෙනි. ආණ්ඩුව කඩඉම් ප්‍රතිශතය වෙනස් කළහොත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බොහෝ කුඩා පක්ෂවලට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වන බව ඔහු කියා සිටියේය.  12.5%ක්ව තිබූ කඩඉම් සීමාව 5෴ දක්වා අවම කළේ බහු පක්ෂ නියෝජනයට ඉඩ ලබා දීමේ අරමුණින්. මෙම ප්‍රතිශතය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් බොහෝ සුළු පක්ෂවලට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම අහිමි වෙනවා. මෙවර ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිශතය අඩු වුණා. අප වැනි සියලු කුඩා පක්ෂවලට මෙය හානිකර ලෙස බලපාවි. ජනතාව මෙවර මහමැතිවරණයේදී ක්‍රියා කර ඇත්තේ ප්‍රධාන පක්ෂවලට පමණක් බලය තිබිය යුතුය යන ආකල්පයකින්. ඔවුන් 2/3ක බලයක් එක් පක්ෂයකට ලබා දීමෙන් පැහැදිලි වන්නේ තනි පක්ෂයක් රට පාලනය කළාට තමන්ට ගැටලුවක් නොමැති බවයි. කුඩා පක්ෂවලට බලයට පැමිණිය හැකි අවස්ථා අවම වන විදිහට අවශ්‍ය නීති සකස්කර ගැනීමට දැන් ආණ්ඩුවට පුළුවන්. විකල්ප මතවාද හා ජනතා ප්‍රශ්න සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ නැඟෙන හඬ අවම විය හැකියි. ජනතාවගේ කැමැත්ත එය බව පේනවා. ඔවුන් කැමැත්ත පළකොට තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න අඩුවෙන් නියෝජනය වී ආණ්ඩුවට තමන් කැමැති දෙයක් කිරීමේ අවස්ථාව සලසාදීමටයි. 5% කඩඉම් සීමාවක් පවතින විටත් ජනතාව ඡන්දය භාවිත කර තිබෙන්නේ සුළු පක්ෂවලට එම ප්‍රමාණයවත් නොලැබෙන ලෙස නම් 8% දක්වා ඉහළ දැමූ විටද සුළු පක්ෂවලට අත්වෙන ඉරණම කෙබඳුවේවිදැයි කිව නොහැකියි. යනුවෙන් ප්‍රකාශ කළේය.

  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02