දේශපාලන පක්ෂ 25ක් හා ස්වාධීන කණ්ඩායම් තුන්සියය ඉක්මවා තරග වැදුණු මහ මැතිවරණයට අපේ ජනබල පක්ෂය එක්ව තිබුණේ අතරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙනි. එම පක්ෂයේ නාම යෝජනා කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ප්‍රතික්ෂේප වී තිබුණේ අත්සන් සහතික නොකිරීම හා බලයලත් නිලධාරීන් අත්සන් නොකිරීම ඇතුළු හේතු කිහිපයක් නිසාය. එම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අත්වූයේ ගැටලුවකි. එම කරුණ වාසියට හරවාගත් පක්ෂය ප්‍රධාන සටන් පාඨයක් කොටගත්තේ ඥානසාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීම සඳහා මුළු රටට ඡන්දය භාවිතා කරන බවය.
අපේ ජනබල පක්ෂය සමස්ත රටේ මනාව 67,758ක් ලබාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට හිමිකම් කීවේ ඒ අනුවය. එසේම උතුරු නැගෙනහිර දෙපාළාත හැර සෙසු බොහෝ දිස්ත්‍රික්කවලින්ද අපේ ජනබල පක්ෂය 5 වැනි ස්ථානයට පත්වීම විශේෂ සිදුවීමකි.
මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු පසුගිය 20 වැනිදා දිවුරැම් දුන් නමුත් අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමට එකී පක්ෂය අපොහොසත්ව තිබිණ. එම මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වූයේ එම පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් සිය නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යෝජනා කොට මැතිවරණ කොමිසම වෙත ලිපියක් ඉදිරිපත් කිරීමත් සමඟය. ඉන්පසුව පිළිතුරු ලිපියක් යවන ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සටහන් කර ඇත්තේ අපේ ජනබල පක්ෂය මගින් එහි ලේකම් වූ වේදිනිගම විමලතිස්ස හිමියන් එකී තනතුරෙන් ඉවත් කර ඇති බව සහ එම මන්ත්‍රී පදවිය සඳහා වෙනත් අයකු නම්කර ඇති බවත්ය. ඒ අනුව පවතින නීතිමය ගැටලු නිරාකරණය කොටගෙන දන්වන තෙක් අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ගැසට් නොකරන බව මහින්ද දේශප්‍රිය මහතා දන්වා තිබිණ. මේ අතර එම කොමිසම වෙත ලැබුණු තවත් ලිපියකින් දන්වා ඇත්තේ මන්ත්‍රීධූරය සඳහා පක්ෂයේ සභාපති සමන් පෙරේරා නම් කළ බවකි.
මේ අතර පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත ලැබුණු දුරකථන ඇමතුමකින් කියා තිබුණේ අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන්ට ජීවිත තර්ජනයක් ඇති බවය. අනතුරැව පොලීසිය මාවනැල්ල පිහිටි නිවසක් සෝදිසි කළද ඒ හිමියන් එහි සිට නොතිබුණි. ඒ වනවිටත් අතුරුදන් තත්ත්වයේ පසු වූ වේදිනිගම විමලතිස්ස හිමියන් නිසා අතුරලියේ රතන හිමියන්ටත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටත් චෝදනා එල්ල කෙරුණේ උන්වහන්සේලාගේ අනුදැනුම මත වේදිනිගම විමලතිස්ස හිමියන් සඟවා තබා ඇති බවටය. එසේ උන්වහන්සේ පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා කළේ විමලතිස්ස හිමියන්ගේ මාධ්‍ය ලේකම්වරයාය. වැඩිදුරටත් උන්වහන්සේ කියා තිබුණේ ජනාධිපතිවරයා හමුවීමට යැයි කියමින් රතන හිමියන් සමඟ එකම වාහනයක උන්වහන්සේලා ගිය බවකි. එම සිදුවීම මිරිහාන ප්‍රදේශයේදී සිදුවූ බවත් එතැන් සිට වැඩිදුරටත් උන්වහන්සේ කියා තිබුණේ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය රතන හිමියන් විසින් පැහැර ගැනීම සඳහා මෙසේ උත්සාහයක නිරත වන බවත්ය.
මේ ආකාරයට අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය වෙනුවෙන් අතුරලියේ රතන, ගලගොඩඅත්තේ ඥානසාර සහ වේදිනිගම විමලතිස්ස යන ස්වාමීන්වහන්සේලා අතර පවතින ගැටුම සම්බන්ධයෙන් රටේ මහා සංඝරත්නය, දේශපාලන අධිකාරිය මෙන්ම මහජනතාව දැඩි අවධානයකින් බලා සිටියෝය. ගැටුම සමතයකට පත් නොවන බව නිරීක්ෂණය වූයෙන් අදාළ සිදුවීම බොහෝ පාර්ශ්වවල දෝෂ දර්ශනයට ලක්විය. මේ සිදුවීම හරහා බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් දැඩි අපහසුතාවකට පත්වුණු අතර ඊට එරෙහිව හඬ අවදි කළ නායක ස්වාමීන් වහන්සේලා තත්ත්වය විවේචනය කරමින් කරුණු පැවසූහ.
ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් මෙසේ කීවේය.
“අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරයට කවුරු එනවද කියලා තවම නිශ්චිත කරලා නෑ. මේ ගැටලුව ඇතුළේ සිවුරු පොරවාගත්තු පාතාල නායකයන්, වංචනිකයන්, ආත්මාර්ථකාමී අවස්ථාවාදීන් ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට එන අවදානමක් තිබෙනවා. රටේ ගැටලුව මහා සංඝරත්නයටත්, බෞද්ධ ජනතාවටත් අවමානයක්, උපහාසයක් වෙලා තියන මේ කාරණය හේතුවෙන් මන්ත්‍රී ධූරය වහාම අවලංගු කරන්න කියලා අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා. මේ පක්ෂය මුලින් රටට කියපු දේ නොකෙරෙන බවක් තමයි පේන්නේ. මේ ගැටලුව බෞද්ධ ජනතාවට වේදනාවක්. මේ ඉල්ලීම නිත්‍යානුකූල නොවුණත් අවශ්‍යතාව ඇති තැන නීතිය වුණත් වෙනස් කළ යුතුයි. නීතිය පැවැතිය යුත්තේ මහජනතාව උදෙසයි. බෞද්ධ ජනතාවගේ මහා සංඝයා වහන්සේලාගේ ගෞරවය ශාසනය ගැන හිතලා මේ ඉල්ලීම අපි මැතිවරණ කොමිසමේ සභාපතිතුමන්ගෙන් ඉල්ලන්නේ. පෙනෙන විදිහටනම් මේ පක්ෂයේ කිසිම කෙනෙක් ජාතික නායකත්වයට සුදුසු නැති බවයි අපේ හැඟීම.”
මේ අතරවාරයේ විමලතිස්ස හිමියන් පැහැරගෙන ඇතැයි කියන පැමිණිල්ල විමර්ශනයට අතරලියේ රතන හිමියන්ට දන්වා තිබුණේ කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පෙනී සිටින ලෙසය. එසේ නොවුණු විට පොලීසිය උන්වහන්සේ සොයා බොරැල්ල විහාරස්ථානයට ගියද උන්වහන්සේ සිට තිබුණේ නැත.
කෙසේ වෙතත් අවසානයේ පසුගිය 26 වැනිදා පැහැර ගැනීමට ලක් වූ බව කී වේදිනිගම විමලතිස්ස හිමියෝ සිය ගුරු හිමියන් වූ හුණුපොළගම වජිර ශ්‍රී නාහිමියන් සමඟ මාධ්‍ය හමුවකට ඉදිරිපත්ව සිටියහ. එහිදී වජිර ශ්‍රී නාහිමියන් ප්‍රකාශ කොට තිබුණේ සිය ශිෂ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් කිසිවකු විසින් හෝ පැහැර නොගත් බව ස්ථිරවම ප්‍රකාශ කරන බවත් ආරක්ෂාව උදෙසා නිසි පිළිවෙත අනුගමනය කළා පමණක් බවත්ය.
සමන්ත ප්‍රදීප් විල්තෙර