2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

පියා මැරූ පලිය ගන්න පාතාලයක් හැදූ පොඩි ලැසී

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 856

අරුමානන්දි ජනිත් මධුසංක ද සිල්වා. මේ නම දන්නවාදැයි කවුරුන් හෝ අයකුගෙන් ඇසුවහොත් බොහෝ දෙනා පවසන්නේ එහෙම කෙනකු නොදන්නා බවය. එහෙත් දකුණේ පාතාලයේ පොඩි ලැසී දන්නවාද යන්න කවුරැන් හෝ අයකුගෙන් ඇසුවහොත් බහුතරයක් දෙනා ඔව් යනුවෙන් පිළිතුරු දෙනු ඇත. දකුණේ පාතාලයේ අඩුම වයසින් වැඩිම අපරාධ රුසක් සිදුකළ මේ පොඩි ලැසී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අලුගෝසුවෙකි. කුලියට මිනීමැරීම, කප්පම් ගැනීම්, කුඩු විකිණීම කියන පාතාලයකු වීමේ මූලික සුදුසුකම් සපුරා සිටින ලැසී මේ වනවිට ඉන්නේ ලංකාවේ දරුණු ගණයේ අපරාධකරැවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේය.

බූස්සේ සිටියත් සිය අපරාධ අත් නොහළ ලැසී කප්පම් ගැනීම්, කුඩු විකිණීම්, මනුෂ්‍ය ඝාතන තවමත් ඔහුගේ කණ්ඩායම විසින් සිදුකරගෙන යන්නේ ලැසීගේ ආශිර්වාදය සහ නම්, ගම් විකුණමිනි. ඊට හොඳම උදාහරණය වන්නේ පසුගියදා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් පොඩි ලැසීගේ මව අත්අඩංගුවට ගැනීමය. තනූජා දිල්ෂානි නැමැති ඇයව අත්අඩංගුවට ගන්නේ හෙරොයින් ජාවාරමේ මුදල් පරිශීලනය කිරීමේ චෝදනාව යටතේය. එහෙත් මේ දෙයද කිව යුතුය. හෙරොයින් මුදල් පරිශීලනය කළා යැයි චෝදනාව මත ලැසීගේ මව අත්අඩංගුවට ගන්නවා නම් මේ රටේ ඡන්ද ව්‍යාපාරවල නිරත වන ඇතැම් අයගේ මුදල් සම්බන්ධයෙන්ද එවැනිම පරීක්ෂණයක් කළ යුතු බවය. එහෙත් මොකක්දෝ හේතුවකට හාල් මැස්සන් කොටුවුණත් හරි හමන් තෝර මෝරකු කොටුවන පාටක් තවම නැත. ඒ නිසා ඒ කතාව වැඩිදුර ඇදගෙන නොගොස් නැවතත් මේ ලැසීගේ කතාවට අවතීර්ණ වන්නේ මෙවර අපේ කතානායකයා දකුණේ පාතාලයේ අලුගෝසුවකු වූ පොඩි ලැසී ගැන කීමටය.

පොඩි ලැසී සහ ලොකු ලැසී අයියා මලෝය. එහෙත් ලොකු ලැසී පාතාලයට සම්බන්ධ නැත. පාතාලයට සම්බන්ධ වන්නේ පොඩි ලැසී සහ ඔහුගේ පියා වන තෙල්වත්තේ වසන්ත පමණි. තෙල්වත්තේ වසන්ත යනු එවකට දකුණේ පාතාලයේ කෙරැමෙකු වූ එස්.ටී.එෆ්. නඳුන්ගේ ගෝලයාය. නඳුන්ගේ කල්ලියේ අපරාධකරැවකු වූ වසන්ත ද සිල්වා හෙවත් තෙල්වත්තේ වසන්ත තම බිරිඳත් සමඟ යතුරුපැදියෙන් ගමන් කරන විට නාඳුනන වෙඩික්කරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ තෙල්වත්ත සුනාමි ස්මාරකය ඉදිරිපිටදීය. මේ වෙඩි ප්‍රහාරයෙන් වසන්ත එතැනම මිය යන අතර වසන්තගේ බිරිඳ වන තනුජා දිල්ෂානි බඩට වෙඩි වැදී ජීවිතය බේරගන්නේ අනූනවයෙනි. කෙසේ වෙතත් මෙම ඝාතනය එවකට නඳුන්ගේ කල්ලිය සමඟ නිතර ගැටෙමින් සිටි රත්ගම මනෝජ් මෙන්ඩිස්ගේ කල්ලිය අතින් සිදුවුණ බව හෙළිවිය. එම ඝාතනය මනෝජ්ගේ ගෝලයකු වූ අත කොට රවී විසින් සිදුකළ බවත් ලැව් ගින්නක් සේ දකුණු පළාත පුරා පැතිරී ගියේය.

ඒ වනවිටත් පාසල් යන වයසේ සිටි පොඩි ලැසීට ද එය ඔළුවට වැදුණු පහරක් විය. එතැන් පටන් ලැසී මනෝජ් මෙන්ඩිස්ගෙන් පලිගැනීමේ අරමුණින් පසුපසින් හඹා යාම ඇරඹුවේය. මනෝජ් මෙන්ඩිස් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති වුවත් පාතාල කල්ලි ගේම් නතර කළේ නැත. ඔහු හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටල් බලෙන් අල්ලාගෙන සිටියා පමණක් නොව කප්පම් පවා ගත්තේය. ලියුම්කරු කිහිප වතාවක් ඒ සමයේදී මනෝජ්ගේ මෙකී කැලෑ නීති පාලනය ගැන පවා හෙළිදරව් කළ අතර එවකට මනෝජ්ගේ ගෝලබාලයන් අවි අමෝරාගෙන පැමිණි අවස්ථා අනන්ත අප්‍රමාණ වූහ. එයට හේතුව වූයේ මනෝජ්ට පාතාල හයිය පමණක් නොව දේශපාලන හයියද තිබුණු නිසාය. ඒ නිසා මනෝජ් දකුණේ ප්‍රාන්ත පාලනයක් සිදුකරගෙන ගියේය. මේ නිසා අනෙකුත් කල්ලිවලට ඔළුව එසවීමට හැකියාවක් තිබුණේ නැත.

දකුණේ පාතාලයේ දරැණුතම කල්ලිය වන නඳුන්ගේ කල්ලිය විසිරී ගියේ නඳුන් සියලු පාතාල ක්‍රියාකාරකම් අතැර යුරෝපයට යාම නිසාය. එසේම දකුණේ පාතාලයේ අනෙක් කල්ලිය වූ කොස්ගොඩ සුජිත්ගේ කල්ලිය ද කොස්ගොඩ සුජිත් අතැර දමා ඩුබායි රාජ්‍යයට පැන ගත්හ. එවකට මාකඳුරේ මධූෂ් සිටියත් ඔහු ඒ කාලේය මහා ලොකු පාතාලයෙක් නොවීය. ඒ නිසා දකුණේ පාතාලයේ එකම කෙරැමා වුණේ රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ්ය. මෙය කරඳඬු උස් මහත් වෙමින් සිටි ලැසීලාට ඇල්ලුවේ නැත. ඒ තමන්ගේ පියා ඝාතනය කිරීමේ මෙහෙයුම්කරැ මනෝජ් නිසාය.

2015 මාර්තු 23 වැනිදා රාත්‍රියේ මනෝජ් තවත් සගයකු වූ සංකුත් සමඟ මදුවිත පානය කරමින් හික්කඩුව හෝටලයක සිටියේය. ඒ අවස්ථාවේ කොහේදෝ සිට පැමිණි පොඩි ලැසී එක දිගට මනෝජ්ටත් සංකුටත් වෙඩි තැබුවේය. දකුණේ පාතාලයේ මහ කෙරැමකු වූ මනෝජ් එතනම මැරී වැටුණේය. සංකු බරපතළ ලෙස තුවාල ලැබුවේ ඇසක් ද අහිමි කරගනිමිනි.

දතට දතක්, ලෙයට ලෙයක්, ජීවිතේට ජීවිතයක් ගැනීමේ න්‍යායට අනුව පොඩි ලැසී තමන්ගේ පියාගේ ඝාතනයේ වාඩුව මනෝජ්ගෙන් ගත්තේ ඒ ආකාරයටය. ඒ අනුව මනෝජ්ගේ චැප්ටර් එක අවසන් වුණු අතර දකුණේ පාතාලයේ මනෝජ්ගේ කණ්ඩායම අතුගෑවී ගියේය. මේ සිද්ධියත් සමඟ දකුණේ පාතාලයේ අලුත්ම පිටුවක් පොඩි ලැසී විසින් ආරම්භ කෙරිණි.

නඳුන්ගෙන් ගැලවී ගිය බොහෝ දෙනාගේ නවාතැන වුණේ කොස්ගොඩ සුජීගේ කල්ලියයි. මේ නිසාම මනෝජ් ඝාතනයෙන් සැඟවී සිටි පොඩි ලැසීට එකම සරණ වූයේ කොස්ගොඩ සුජීය. ලැසී කට්ටි පනිමින් කැලෑ වදිමින් පොලීසියෙන් සැඟවී සිටියේය. එහෙත් එසේ වැඩිකල් ඉන්නට ලැසීට හැකිවුණේ නැත. ලැසී පොලීසියට කොටුවිය. පසුව බන්ධනාගාර ගතවිය. එසේ බන්ධනාගාර ගත වූ ලැසීට සියලු පහසුකම් කොස්ගොඩ සුජී විසින් සලසා දී තිබුණේය. ඒ සුජීගේ ගෝලයන් දෙදෙනකු හරහාය.

වසන්ත පද්මලාල් හෙවත් කොස්ගොඩ රණා සහ සනත් සිල්වා හෙවත් මීටියාගොඩ රාජු ඒ දෙදෙනාය. මේ දෙදෙනා ගමක් රටක් හඬවන අපරාධයක් කොට බන්ධනාගාර ගතවී සිටියහ. කරන්දෙණියේ හිතහොඳ දොස්තර මහත්තයා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව සිදුකළේ මේ දෙදෙනා විසිනි. මේ දෙදෙනාගේ මිත්‍රත්වය ගාල්ල බන්ධනාගාරයේදී ආරම්භ වන්නේ 2008 වසරේ සිටය. දෙදෙනාම හමුදාවෙන් පැන ආ දෙදෙනකු වන අතර දොස්තර ඝාතනය කරන්නේ 2011 වසරේදීය. ඒ අනුව දෙදෙනා පාතාලයේ ගජයන් වූයේ කොස්ගොඩ සුජී යටතේය.

මේ අතර බන්ධනාගාරයේ සිටින පොඩි ලැසී ඝාතනය සඳහා සැලසුමක් රත්ගම මනෝජ් මෙන්ඩිස්ගේ කල්ලිය විසින් සැකසුණි. ඒ බන්ධනාගාරය තුළදීමය. එහෙත් ආයුධ කිසිවක් ගෙන යා නොහැකි නිසා මනෝජ්ගේ කල්ලිය ඒ සඳහා යොදාගත්තේ තවත් වැඩකරුවෙකි. ඒ එල්.ටී.ටී.ඊ. ප්‍රබල වෙඩික්කරැවකු මෙන්ම දකුණු පාතාලයේ ද කුලී මිනීමරන්නකු වූ කෙනඩිය. කෙනඩි එල්.ටී.ටී.යේ ප්‍රබල බලකායක් වන චාල්ස් ඇන්තනී බලකායේ සාමාජිකයෙක් විය. එහෙත් ඔහු දකුණට පැනවිත් දකුණේ පාතාලයට මුක්කු ගසා ඝාතන කරන්නට විය. ඒ අනුව ගාල්ල බන්ධනාගාරයේ සිටින කෙනඩිට කොන්ත්‍රාත්තුව බාර දෙන්නේ මනෝජ්ගේ දකුණු අතවන් සුදත් ප්‍රියන්ත විසිනි. සුදත් කෙනඩිගෙන් ඇතුළේදී වැඩක් දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර ඒ සඳහා කෙනඩි පවසන්නේ ලේසිම සහ පහසුම ක්‍රමය ලැසීට සයිනයිඩ් එන්නත් කිරීම බවයි. ඒ නිසා තමන්ට සයිනයිඩ් බන්ධනාගාරය තුළට ගෙනත් දෙන ලෙස කෙනඩි ප්‍රියන්තගෙන් ඉල්ලා සිටියි. ප්‍රියන්ත එයට එකඟ වන අතර ඒ සඳහා අවශ්‍ය සයිනයිඩ් බන්ධනාගාර නිලධාරියකු හරහා ලබාදෙන බවද පොරොන්දු වේ.

කෙසේ වෙතත් මේ සැලසුම සූදානම් කරමින් සිටින අතරේ මේ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව පොඩි ලැසීට දැනගන්නට ලැබේ. මෙයින් කලබල වන ලැසී ක්ෂණයකින් ඇමතුම ගන්නේ තම ගැලවුම්කාරයා වන කොස්ගොඩ සුජීටය. සුජීට සියල්ල පවසන ලැසී හැකි ඉක්මනින් ප්‍රියන්ත මේ සිද්ධියෙන් ඉවත් කළ යුතු බව පවසයි. ඒ අනුව සුජී පවසන්නේ ප්‍රියන්තව හැකි ඉක්මනින් මේ කතාවෙන් ඉවත් කරන බවය. ඒ සඳහා තමන්ගේ හොඳම ගෝලයා එළියට එනතෙක් ඉවසන්න යැයි සුජී ඉල්ලා සිටියි.
දින කිහිපයක් ගතවිය. කොස්ගොඩ සුජීගේ හොඳම ගෝලයා වන කොස්ගොඩ රණා එළියට ආවේය. ඊටත් දින කිහිපයකට පසුව මීටියාගොඩ රාජු ද ඇප ලබා එළියට ආවේය. පැමිණ පළමු කොන්ත්‍රාත්තුව බාරගත්තේය. ඒ ලැසී සහ කොස්ගොඩ සුජිත් බාරගත් කොන්ත්‍රාත්තුවක්ය. ඒ කොන්ත්‍රාත්තුවට අනුව පළතුරැ වෙළෙන්දකු වූ විපුල් ප්‍රියන්ත යන අය අම්බලන්ගොඩ මීටියාගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඒ 2016 වසරේ දෙසැම්බර් 12 වැනිදාය.

එම ඝාතනයත් සමඟින් දෙවැනි අරමුණ වුණේ කෙසේ හෝ ලැසීට මාරයා කැන්දාගෙන එන්නට හදන මනෝජ් මෙන්ඩිස්ගේ කල්ලියේ දේමුණි සුදත් ප්‍රියන්ත ඝාතනය කිරීමටය. ක්‍රම ක්‍රමයෙන් ලැසී ඝාතනයට එම පිරිස සූදානම් වෙමින් සිටි නිසාය.
ඒ අනුව 2017 මැයි 06 වැනිදා ඉමදූව ප්‍රදේශයේදී රණාත්, රාජුත් එකතුව ප්‍රියන්තව ඝාතනය කළහ. ඒ තම දියණිය ඉදිරිපිටමය. මෙම ඝාතනයත් සමඟම මනෝජ් මෙන්ඩිස්ගේ කල්ලිය ගැස්සී ගිය අතර සුජිත් සහ ලැසී එකම කල්ලියේ බව රටම දැනගත්තේ මෙකී සිද්ධිය හරහාය. මේ තොරතුරත් සමඟ දකුණේ පාතාලය ගැස්සී ගියේය.

ඉන් නොනැවතුණු සුජී සහ ලැසී දෙවැනි ප්‍රහාරය එල්ල කරන්න සූදානම් වුණේ තමන්ගේ අනෙක් කල්ලියට එරෙහිවය. ඒ ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරකගේ කල්ලියට එරෙහිවය. තාරක යනු කොස්ගොඩ සුජිගේ කණ්ඩායමේම සාමාජිකයෙකි. එපමණක් නොව සුජීගේ ඥාති පුතෙකි. දෙදෙනා එකට පාතාලය හසුරැවා එහෙත් අවසානයේ දෙදෙනා හතුරන් වූහ. සුජීගේ කල්ලිය යටත් කරමින් තා‍රක හිස ඔසවමින් සිටි නිසා සුජිත්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ තාරකට දැනෙන්න යමක් කරන්නටය. ඒ සඳහා තාරකගේ හොඳම ගෝලයා වන කොස්ගොඩ ලොකූ ඝාතනයට සුජී තීන්දු කළේය. ඒ සඳහා සුජී ඇමතුමක් ලබාදී රණාට පැවසූයේ හැකි ඉක්මනින් කොස්ගොඩ ලොකූට ප්‍රහාරයක් එල්ල කරන ලෙසටය.

එම කොන්ත්‍රාත්තුව ලබාගත් රණා සහ රාජු 2017 මැයි 08 වැනිදා, ප්‍රියන්ත ඝාතනයෙන් දින දෙකකට පසු එම ප්‍රහාරය එල්ල කළේය. යතුරුපැදියේ තවත් දෙදෙනකු සමඟ පැමිණෙමින් සිටි ලොකූත් තවත් මිතුරෙකුත් එම ප්‍රහාරයෙන් ඝාතනය වූ අතර අනෙක් මිතුරා තුවාල ලැබීය. මේ වනවිට ලැසී බන්ධනාගාරය තුළ භීෂණය වපුරමින් කෙරැමෙක් වෙමින් සිටියේය. පොඩි වයසට අලුගෝසුවෙකු වීම හැමදෙනාටම ඇඟ ගැහෙන සිද්ධියක් විය. කොස්ගොඩ සුජී සිදුකළ කොන්ත්‍රාත් පවා ලැසීගේ ගිණුමෙන් යන තැනට ලැසී හැසිරෙන්නට විය.

මේ සියල්ල බලා සිටි කොස්ගොඩ  තාරක සුජීටත් ඔහුගේ ගෝලබාලයන්ටත් උණ ගන්නට වැඩක් දීමට පිඹුරැපත් සකසන්නට විය. ඒ කොස්ගොඩ සුජීගේ මාමා කෙනකු ඝාතනය කිරීමටය.

(තාරකගෙන් කොස්ගොඩ සුජීට මරණ තුනක්)

 ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02