වර්ෂ 2020 කොටින්ට අපල අවුරුද්දක් බවට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. අගෝස්තු මාසයේ තුන්වැනි සතිය වනවිට මේ අවුරුද්ද තුළ මියගිය 8 වැනි කොටියාත් වාර්තා විය. ඒ පිළිබඳව මුහුණුපොතේ විශාල සංවාදයක් ගොඩනැගෙනු දුටුවෙමි. පරිසරවේදීන් මෙන්ම සොබාදම් රසිකයන්ද බොහෝ සංවේදනාවෙන් එයට එරෙහිව අදහස් පළ කරනු දැකගත හැකි විය.
“මාස 8යි - කොටි 8යි - අනවසර දඩයමට එරෙහි වෙමු” බොහෝ දෙනා අතර හුවමාරු වූ පෝස්ටුවක් විය. ඇත්තටම අටවැන්නා ලෙස වාර්තා වුවද වාර්තා නොවන කොටි මරණ තවත් රාශියක්ද සිදුවන්නට ඇත.
පසුගිය අගෝස්තු 23දා ගම්පොල දොළුව ප්‍රදේශයේ පෞද්ගලික වත්තකදී මන්දකට හසුවී එම කොටියා ජීවිතයෙන් සමුගෙන තිබේ. මෙම සත්වයා අවුරුදු දෙකකට ආසන්න වයසක සිටි අතර වනජීවී නිලධාරීන් පැමිණෙන විටත් ඌ මියගොස් සිටියේය. මින් පෙරද ගම්පොළ ප්‍රදේශයේ කොටි මදුවලට අසුවී මියගොස් ඇති අතර හක්කපටස් කා මියගිය කොටියකුගේ සිරුරක්ද හමුවී තිබේ.
මේ අවුරුද්දේ සත්ත්ව ඝාතක කම්බි මදුකරුවන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵල ජනවාරි 3දාම වාර්තා විය. ඒ කොටි මරණය සිදුවූයේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් යටියන්තොටදීය. අප්‍රේල් 2දා නාවලපිටියේ තේවතු ආශ්‍රිතව තවත් කොටි මරණයක් වාර්තා විය. අප්‍රේල් 29දා මස්කෙළියේදීද යළිත් මැයි 29දා නල්ලතන්නියේදීද කොටි මරණ සිදුවිය. මැයි 29දා මියගියේ දුර්ලභ කළු කොටියෙක් වන අතර මිනිස් ඇසට කළු කොටියෙක් පැමිණි මුල්ම අවස්ථාව එය විය. ඌ ප්‍රතිකාර කිරීමට රැගෙන යාමෙන් පසුව මරණයට පත්ව තිබුණි. ජූනි 2දා නෙළුවේදී මියගිය තවත් කොටියෙක් හමුවිය. එම කොටියාගේ දත් විකුණා මත්පැන් සාදයක් දැමූ බවද ආරංචි විය. ජූනි 2දා හෙල්බොඩ වතුයායේදී කොටි දෙදෙනකු මන්දකට හසුවී තිබූ අතර වනජීවී නිලධාරීන්ට එක් කොටියකු (කොටි පැටවා) බේරාගැනීමට අවස්ථව ලැබුණි. කොටිදෙන මියගොස් සිටියාය. ජූලි 20දා නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේදී මන්දකට හසුවූ කොටිය ප්‍රදේශවාසීන් දකිනවිටත් මරණයට පත්ව සිටියේය. මන්දට හසුවූ කොටියා එහි කම්බි කඩාගෙන කෝපි ගසකට නැග ඇති අතර, කෝපි ගසේ දෙබලක මන්ද පැටලීමෙන් උගේ සිරුර පහළට එල්ලී හුස්ම හිරවී තිබුණි. ඌ අවුරැදු හතක් වයසැති වැඩුණු ගැහැනු සත්වයෙක් විය.
මෙලෙස බල්ලන් බළලුන් මැරෙන ගාණට කොටි මරණද වාර්තාවීම ඉතා කනගාටුදායකය. අප රටට ආවේණික උප විශේෂයක් වන කොටියා වනාන්තරයේ අලංකාරතම ක්ෂීරපායී සත්වයාය. ඌ සංචාරක ආකර්ශනයට ලක්වූ සතෙකි. වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්වූ සතෙක් වශයෙන් රතු දත්ත පොතටද නම ඇතුළත්ව සිටී. කඳුකරයේ තේවතු ආශ්‍රිතව මෙන්ම පහතරට තෙත් කලාපයේ යටියන්තොට, ගාල්ල, නෙළුව වැනි ප්‍රදේශවලින්ද කොටි මරණ පසුගිය කාලයේ වාර්තා වී තිබේ. බහුතරයක් කොටි ඝාතන වාර්තා වන්නේ මධ්‍ය කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. තේවතු ආශ්‍රිත කුඩා කැලෑකුට්ටි, සමනළ අඩවි වනාන්තරය ආදී ප්‍රදේශ උන් අභයභූමි බවට පත් කරගෙන තිබේ.
මේ අවුරුද්දේ වාර්තා වූ සෑම මරණයක්ම කම්බි මදුවලට හසුවීම නිසා සිදුවූ ඒවාය. රජරට අලින්ට හක්කපටස් මාරකයක් වූවා සේ කඳුකරයේ කොටින්ට මදු මාරකයක් වී තිබේ.
වල්ඌරන්, ගෝන්නු වැනි සතුන් දඩයම් කිරීමට තබන මදුවලට කොටි අසුවන බවටද මතයක් පවතී. තවත් පිරිසක් පවසන්නේ කොටින්ගේ ශරීර කොටස්වල ඇතැයි කියන වාජීකරණ ගුණය නිසා ඒවා ලබාගෙන රහසේ විකිණීමට කොටි ඝාතනය කරන බවය.
වනජීවී නිලධාරින් කොටි මරණයට පත්වීම වැළැක්වීමට විධිමත් පියවර නොගන්නා බවටද පසුගිය කාලයේ චෝදනා එල්ල විය. පසුගියදා වනජීවී දෙපාර්තමේන්තුව වතු අධිකාරීවරුන්ගේද සහය ඇතිව තේවතු ආශ්‍රිත එළවළු වගාබිම්වල හා ජනාවාස අවට අටවා තිබෙන මදු ගලවා ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ යටතේ ජූලි මාසයේ මදු දහසක් පමණ ඉවත් කර තිබේ. ඇතැම් වතු කම්කරුවෝ අමතර ආදායමක් ලබාගැනීමට වතු නිවාස සහ වතුවලට යාබද වනරක්ෂිත ආසන්නයේ එළවළු වගාකරන අතර එම වගා ආරක්ෂා කර ගැනීමට වල්ඳුරන්ට සහ ඉත්තෑවන්ට මදු අටවති. වනජීවී නිලධාරීන් කොතරම් මදු ඉවත් කළත් දිනපතාම මදු අටවනු අපට පෙනෙයි.
ලෙපර්ඩ් ට්‍රස්ට් පරිසර සංවිධානයේ රුක්ෂාන් ජයවර්ධන පවසන්නේ මෑතක සිට කොටියාම ඉලක්ක කර මදු ඇටවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි. ශරීර කොටස් ලබාගැනීමට මෙන්ම, කොටි ගම්වැදීමට දක්වන අනවශ්‍ය බියත් එයට හේතුව බව ඔහු පවසයි.
“කොටි ඝාතනයට නීතිය ක්‍රියාත්මක කිරීම අසීරු කරුණක් වී තිබෙන්නේ පෞද්ගලික ඉඩම්වල මේ ඝාතන සිදුවීම නිසයි. මේ නිසා වරදකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට වතු අධිකාරීවරුන්ගේ සහයත් අවශ්‍යයි.” පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන අප සමඟ පැවසුවේය.
“කොටියා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 30 වගන්තියේ 2 උප වගන්තිය අනුව දැඩි ලෙස ආරක්ෂිත සත්වයෙක්. මැරීම, මරණයට තැත්කිරීම, ශරීර කොටස් ළඟ තබාගැනීම ඇප දිය නොහැකි වරදක්. වරෙන්තුවක් නැතුව අත්අඩංගුවට ගත හැකියි.” ජගත් ගුණවර්ධන වැඩිදුරටත් අප සමඟ කීවේය.
කොටි පමණක් නොව ශ්‍රී ලංකාව පුරා කැලෑ ආශ්‍රිතව පැතිරී සිටින වනජීවීන් රැකගැනීමට සිටින්නේ වනජීවී නියාමකයන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් 883 දෙනකු පමණි. ජගත් ගුණවර්ධන සඳහන් කරන්නේ වනජීවීන්ට නිසි ආරක්ෂාව සලසා දීමට මේ සංඛ්‍යාව 6000 දක්වාවත් වැඩි කළ යුතු බවයි. ඒකාබද්ධ වනජීවී නියාමක සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලක පැවසුවේ නිලධාරීන් හිඟය නිසා වනජීවී නිලධාරීන්ට පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නිවාඩුවක්වත් ලබා නොගෙන සේවය කිරීමට සිදුව ඇති බවයි. “යටියන්තොට ප්‍රදේශයේ කොටියෙක් මැරුණාම ගම්පහ නිට්ටඹුව කාර්යාලයෙන් තමයි යා යුතු වන්නේ. දුර ගෙවාගෙන යා යුතුයි. කෑගල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන්නේ ගම්පහ කාර්යාලයෙන්. හැටන්, මස්කෙළිය, නාවලපිටිය ප්‍රදේශ ආවරණය වන්නේ නල්ලතන්නියෙන්. මේ නිසා වනජීවී නිලධාරීන්ට විශාල වපසරියක සේවය කිරීමට සිදුවෙලා. දැනට අපගේ දෙපාර්තමේන්තුවට වනජීවි නියාමක, අඩවි සහකාර සහ අඩවි ආරක්ෂක යන නිලධාරීන් 1200කට ආසන්න සංඛ්‍යාවක අනුමැතියක් තමයි තිබෙන්නේ. එයිනුත් සේවයේ නිරතවන්නේ 883ක සංඛ්‍යාවක්. නිලධාරී සංඛ්‍යාව වැඩිකර ගැනීමට දෙපාර්තමේන්තුවෙනුත් ඉල්ලීම් කර තිබෙනවා. තවම අනුමැතිය ලැබී නැහැ.” ඉමේෂ් පැවසුවේය.
යටත්විජිත යුගයේදී කොටි මරා උන්ගේ මළසිරුර සමඟ ඡායාරූප ගැනීමට සුද්දෝ ප්‍රිය කළහ. අද නම් කොටි රහසිගතව මරා නීතියෙන් බේරී සිටීම විනෝදාංශයක් වී ඇති බව පෙනේ. සතුන් මැරීමට මදු ඇටවීම නීතිවිරෝධීය. එහෙත් එය නීතිපොතට පමණක් සීමා වූ නීතියක් බව පෙනේ. පසුගිය වර්ෂ 10 තුළ මදුවලට ගොදුරු වූ කොටි සංඛ්‍යාව 50ක් පමණ වේ. වානේ කම්බි හෝ කේබල් මදු වශයෙන් අටවන අතර ඒවාට අසුවූ විට සතා වේගයෙන් දඟලයි. මේ නිසා උගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට පවා හානි සිදුවේ. ඒ හේතුවෙන් මදුවලින් ගලවාගත් සතුන් පවා බේරාගැනීම අසීරු වී ඇති බව වනජීවී පශු වෛද්‍යවරු පවසති.
මදු ගසා කොටි මැරීම සෙල්ලමක් වී ඇති බව පෙනේ. මේ ප්‍රවණතාවය දිගටම සිදුවුවහොත් කැලේ සිටින කොටින්ටත් අබ සරණය. වනාන්තර ප්‍රදේශවල ගැමියන් මෙන්ම පොලීසිය ඇතුළු ආරක්ෂක අංශත් වනජීවී නිලධාරීන් සමඟ එකතු වී කොටි සංහාරයට එරෙහිව පෙරමුණ ගත යුතුව ඇත.
කුසුම්සිරි විජයවර්ධන