නඩත්තු නොවුණු කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණයට නැවතත් නව පණක් ලැබුණා සේය. විදේශිකයකු නොව අඩුම තරමින් ශ්‍රී ලාංකිකයකුවත් ගොඩවැදෙන්නට අකැමැති වුණු මෙය නැවතත් අලුත් කිරීමට පියවර ගනිමින් තිබේ.
වසර කිහිපයකට පෙර කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ (Floating market) ඇවිද යන්නට බොහෝ දෙනා ඇළුම් කළහ. කොළඹ නගරයට එදිනෙදා අවශ්‍යතා සඳහා පැමිණි බොහෝ දෙනා අමතක නොකර මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණයටද ගොඩ වැදුණාහ. ගිනි ගහන මධ්‍යහනයේ දහවල් ආහාර ගන්නටත් පාවෙන වෙළෙඳ සංකීර්ණයේ ඇති අවන්හලකට ගොස් සාධාරණ මිලකට ආහාරවේලක් ගෙන පසෙකින් ඇති බේරේ වැවේ කුඩා කොටසකට මුහුණලා ආදර තෙපුල් කියමින් නිදහසේ ආහාර ගන්නටත් බොහෝ පෙම්වත්හු කැමැති වූහ.
2014 වසරේ අගෝස්තු මස 25 වැනිදා කොළඹ කොටුව ප්‍රධාන දුම්රියපොළ හා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ආශ්රිත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිවිය. මෙය අක්කර 6.5ක භූමි වපසරියක පිහිටා ඇති පාවෙන වෙළෙඳ සංකීර්ණයකි. වර්තමාන ජනපති, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිවිය.
මෙම වෙළෙඳ සංකීර්ණය වෙළෙඳ සල් 103කින් සමන්විත විය. එයට වැය වූ මුදල රුපියල් මිලියන තුන්සිය දොළහකි. මෙම වෙළෙඳ සංකීර්ණය ඉදිකරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. එතැන් සිට බොහෝ දෙනෙක් වෙළෙඳ සංකීර්ණයට ආව ගියහ. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් අතර මුල් කාලයේදී වෙළෙඳ සල් හිමියන්ටද කල්ල මරේය. දෛනිකව ඔවුහු සැලකිය යුතු ආදායමක් ලැබූහ.
“ඔය පාවෙන වෙළෙඳ සංකීර්ණය විවෘත කරපු මුල් කාලයේදී එතනට හරියට සෙනග ආවා. ඒ කාලේ ඒ පැත්තම හරි ලස්සනයි. රෑට මුළු පැත්තම ලයිට් වලින් එළිය වුණා. හරියට තොරණ් වගේ. සමහර කෙල්ලෝ කොල්ලෝ යාළු වුණෙත් මෙතනට ඇවිත්. සමහරු මුණගැහෙන්නත් යොදාගන්නේ ඔය පාවෙන වෙළෙඳ සංකීර්ණයයි. එහෙම ලස්සනට තිබුණු තැනට අද වෙච්චි දෙයක්.” කොළඹ වෙළෙඳාමේ නිරත වුණු අජිත් ප්‍රසන්න දේශයට පැවසීය.
වස විසෙන් තොර ආහාර පිසින ලද අවන්හල් තිබූ, දේශීය නිෂ්පාදන වෙළෙඳාම් කළ වෙළෙඳ කුටිවලින් සමන්විත වුණු පාවෙන වෙළෙඳ සංකීර්ණය දිනෙන් දින වැටුණේ අගාධයටය. ආණ්ඩු මාරුවීමත් සමඟ සංවර්ධනය වෙමින් තිබූ මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණයට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. විදුලි බල්බ එකින් එක ගැලවුණි. රාත්‍රී කාලයේදී මත්වන්නට කුඩු පැකැට්ටුව ගන්නට අතේ සතේ නැතිවුණු සමහරු මෙම විදුලි බුබුළු ගලවා විකුණා ගත්හ. ඇතැම් බල්බ පිළිස්සී ගොසිනි. නමුත් ඒ කිසිවක් ආරක්ෂා කරන්නට කෙනකු සිටියේ නැත. නඩත්තු කරන්නටද කිසිවකු සිටියේ නැත. අන්ධකාරයෙන් වැසී ගිය පාවෙන වෙළෙඳ සංකීර්ණය කුඩු තිප්පොළක් විය. කුඩු තැරුව්කරුවෝ රාත්‍රී කාලයේදී පමණක් නොව දහවලේදීද හිතේ හැටියට තම ව්‍යාපාරය කරගෙන ගියහ.
එතැන් සිට පාවෙන වෙළෙඳ සංකීර්ණයට අත්වූයේ අවාසනාවන්ත ඉරණමකි. පාවෙන වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ කුටි මිලදී ගෙන වෙළෙඳාමේ නිරත වුණු ඇතැම් වෙළෙන්දෝ වෙළෙඳාම අතහැර ගියහ. සමහරු එම ස්ථානය අතහැර තාවකාලික ස්ථානයකට ගියහ. එතැන් සිට පාවෙන වෙළෙඳ සංකීර්ණයට අත්වූයේ පාළුවට ගිය ස්වරූපයකි. නමුත් කුඩු තැරැව්කරුවන්ට, වීදි ගණිකාවන්ට මෙය රජ දහනක් විය. දහවල් කාලයේදී පිටකොටුව වීදිය පුරා වෙහෙස දරා බඩු කරත්ත තල්ලු කළ නාට්ටාමිලා අඳුර වැටෙද්දී පාවෙන වෙළෙඳ සංකීර්ණයේ අඳුරු කෙළවරක වීදි ගණිකාවන්ගේ පහස ලැබූහ. ගඳ ගහන බේරේ වැව ගැන ඔවුනට ගාණක් නැත. තැන තැන ගොඩගැසුණු කුණුගොඩවල්වල දුගන්ධය ගැන ඔවුනට ගාණක් නැත. ඒ සියල්ල අමතක කොට ඔවුහු පාවෙන වෙළෙඳ සංකීර්ණය මඟුල් මඩුවක් කර ගත්හ.
බේරේ වැවේ දුගන්ධය නැති කරන්නට අපිරිසුදු වුණු බේරේ වැව සුද්ධ පවිත්‍ර කොට අලුත් බවක් ලබාදෙන්නට කිසිවකුට ඕනකමක් එකල නොතිබුණි. නමුත් පසුගිය වසර හතරහමාරක පමණ කාලයක සිට නිසි ලෙස නඩත්තු නොකළ මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත් කරන ලෙසට වත්මන් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් ඇමැති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
“මේ වන විට පාවෙන වෙළෙඳ සංකීර්ණයේ අතහැර දමා තිබූ වැඩ කටයුතු නැවත අපි සිදු කරනවා. මෙහි පවත්වාගෙන යා යුතු අලුත්වැඩියා කිහිපයක්ම පසුගිය කාලයේදී අතහැර දමලයි තිබුණේ. වෙළෙඳ සංකීර්ණයට ඇතුළුවීමේ සිට එවැනි නඩත්තු කළ යුතු කිහිපයක්ම තියෙනවා. බොහෝ විදුලි බුබුළු දැල්වෙන්නේ නැහැ. පොළොව කැඩිලා. වෙළෙද සල් අබලන් වෙලා. වෙළෙඳුන් ඉල්ලූ දේවල් දීලා තිබුණේ නැහැ. විශේෂයෙන් මේ සඳහා වැසිකිළි පහසුකමක් නැහැ. රථවාහන නැවැත්වීමේ පහසුකම් තිබුණේ නැහැ. මේ සියල්ලම අංගසම්පූර්ණ වුණේ නැහැ. ඒ සියල්ල මේ වෙද්දී අපි නැවත අලුත්වැඩියා කරනවා. ඒ පහසුකම් ලබා දෙනවා.” යැයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මේ වන විට වෙළෙඳ සංකීර්ණයේ එකසිය දොළහක් වෙළෙඳ සල් පිහිටා ඇති අතර එයින් වර්තමානයේදී වෙළෙඳාම් කටයුතු සිදුවන්නේ වෙළෙඳ සල් හයක පමණි. එම වෙළෙඳ සල් කිහිපයකට යම් පාරිභෝගික පිරිසක් පැමිණියද එය ප්‍රමාණවත් නැත.
“පසුගිය කාලයේදී බැස්ටියන් මාවතේ රථවාහන ගාල් කිරීමට, මිනිසුන්ට ඇවිදින්නට තිබුණු ඉඩකඩේ තාවකාලික කඩ පේළියක් ගහලා දුන්නා. පාවෙන වෙළෙඳ සංකීර්ණයේත් වෙළෙඳාම් කරමින් සිටි බොහෝ වෙළෙඳුන් එම වෙළෙඳ කුටි වසා ලබාදුන් තාවකාලික කඩ පේළියට එකතු වුණා. ඒ හේතුවෙන් රථවාහන ගාල් කිරීමටත්, පදිකයන්ට නිදහසේ ගමන් කරන්නට තිබූ මාර්ගයත් අවහිර වුණා. පාවෙන වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ කුටිත් වැහුණා.” ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිකර ඇති ඇළ මාර්ගයේ ජලය ද මේ වන විට දැඩි ලෙස අපවිත්‍රව පවතින අතර එය පිරිසුදු කරන අන්දම අපට දැකගත හැකි විය. කෙසේ වුවද මෙය නැවතත් ආරම්භ කර නඩත්තු කටයුතු ඉතා ඉක්මනින් සිදුකර නොවැම්බර් 17 වැනිදා විවෘත කරන බව අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ