2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

ලෙඩ වූ ලාංකික සේවකයා කෝටි 1 1/2 ක් ගෙවා ආපසු එවූ සෞදි හාම්පුතා

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

ජීවිතේ ඇන්ඩෘට බොහෝ හීන තියෙන්නට ඇති. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට කාටවත් කරදරයක් නොවී ජීවත් වන්නට ඔහුට හීන තිබුණි. හැම හිත්වලම පාහේ ඇති එවැනි හීන හැබෑ කරගන්නට ඔහු අසීමිත කැපකිරීම් කළේය.
ජීවිතය දිනන්නට ඇන්ඩෘ රොහාන් සවුදි අරාබියේ රැකියාවකට මව්රටින් ගුවන්ගත වූයේ මීට වසර තිහකට පමණ පෙරදීය. එතැන් සිට වරින්වර ලංකාවට පැමිණි ඇන්ඩෘගේ ජීවිතේ වැඩි කාලයක් ගතවූයේ සවුදි රටේ රැකියාවේ නිරත වෙමිනි. 
2008 වසරේදී ඇන්ඩෘ සවුදියේ ගල්ෆ් වෙස්ට් පෞද්ගලික සේවයට එක්වූයේ කළමනාකරුවකු ලෙසය. එම වසරේ සිට ඇන්ඩෘ ඉතා දක්ෂ සේවකයෙක් ලෙස නමක් දිනාගෙන එම ආයතනයට සේවය කළේය.

“ඇන්ඩෘ කියන්නේ හිත හොඳ මනුස්සයෙක්. හැමෝටම උදවු කළා. කා එක්කත් හරි එකතුයි.”

ගල්ෆ් වෙස්ට් පෞද්ගලික ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු වූ නසීර් මොහොමඩ් මහතා දේශයට අදහස් දැක්වූයේ එලෙසිනි. නසීර් එම සමාගමට එකතු වී ඇත්තේ 2004 වසරේදීය.

වයස අවුරුදු පනස් නවයක් වූ ඇන්ඩෘ නිරෝගී පුද්ගලයෙක් විය. තම රාජකාරි කටයුතු නිසි පරිදි කරගෙන ගිය ඇන්ඩෘ එක්වරම ආයතනයේ සේවය කරන අතරතුරේදී අසනීප විය. ඒ ජූනි මස 27 වැනිදාය. ඇන්ඩෘ එක්වරම සිහිසුන් විය. ආයතනය විසින් ඉතා ඉක්මනින්ම ඇන්ඩෘව රෝහල්ගත කරනු ලැබීය. ඇන්ඩෘගේ තත්ත්වය එතරම් යහපත් වූයේ නැත. වෛද්‍යවරු ඉතා ඉක්මනින්ම ඇන්ඩෘ සැත්කමකටද යොමු කළහ. නමුත් ඇන්ඩෘගේ මොළයේ අභ්‍යන්තරයේ සිදු වූ ලේ වහනයක් හේතුවෙන් ඔහු කෝමා තත්ත්වයට පත්විය. තමන්ගේ කියා කිසිවක්ම ඒ වෙද්දී එරට සිටියේ නැත. ඔහුගේ බිරිඳ, දරුවන්, ඥාතීන් සියලු දෙනා ලංකාවේ ජීවත් වෙද්දී ඇන්ඩෘ රෝහලේ තනිවිය. නමුත් ඔහුගේ මිතුරන්, ආයතනයේ හිමිකරු වූ ඇයිඩ්‍රස් මුස්තාෆා මෙන්ම ආයතනයේ සේවක මඩුල්ල ද ඇන්ඩෘ පිළිබඳව සොයා බැලුවද ඇන්ඩෘව නැවත යථා තත්ත්වයට පත්වන්නට නම් ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ සත්කාරය ද අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. ඇන්ඩෘ නැවත යථා තත්ත්වයට පත්වන්නට අතීත මතකයන් මෙන්ම හුරුපුරුදු මුහුණු අවශ්‍ය විය.

නමුත් ඒ වෙද්දී මුළු ලොවම කොවිඩ් - 19 වසංගතයට මුහුණ දී සිටියේය. ගුවන් යානා සීමා වුණි. ලංකාවට විදේශගතව මෙරටට පැමිණෙන සියලුම දෙනාව දින දාහතරක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු විය. මෙවැනි වාතාවරණයකදී කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන රෝගාතුර වූ රෝගියකු මෙරටට ගෙන ඒම එතරම් පහසු වන්නේ ද නැත. එය ඉතා මිලක් වැයවන කාර්යයක් විය.

දින ගෙවෙමින් පවතී. මාස දෙකක කාලයක් ඇන්ඩෘ ගත කළේ සවුදි රටේ රෝහල් ඇඳකය. සියලු සැප පහසුකම් තිබුණද තමාගේම කියා කෙනකු නොමැති මොහොතක කිසිදු මතකයක් නැති ඇන්ඩෘ එරටේ තනි වී සිටියේය. ඇන්ඩෘ ගැන කණවැකුණු දා සිට ඔහුගේ බිරිඳ සහ දරුවන් සිටියේ හැඬූ කඳුලිනි. කතෝලික බැතිමතකු වන ඇන්ඩෘගේ ඥාතීහු ඔහු වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරිපිට යාඥා කළහ.

තම ආයතනයේ වසර දොළහක කාලයක සිට සේවය කළ ක්‍රියාශීලී සේවකයකු දැඩි ලෙස රෝගාතුර වී රෝහල් ඇඳක් මත නිසොල්මනේ වැතිර ඉඳිද්දී සමාගමේ හිමිකරු ලෙස කිසිවක් නොකර බලා සිටින්නට අයිඩ්‍රස් මුස්තාෆාට බැරි විය. ඔහු රෝහලේ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කළේය.

“වෛද්‍යවරුන් ලෙස අපිට කළ හැකි දේ කළා. කෝමා තත්ත්වයෙන් යම් සුවයක් ලබන්නට රෝගියාගේ ඥාතීන්ගේ උදවු අවශ්‍ය වෙනවා. එයාට යථා තත්ත්වයට පත්වෙන් තව ටික කාලයක් ගතවේවි. ඒ වෙනුවෙන් ඥාතීන්ගේ ඇසුර අවශ්‍යම වෙනවා. බෙහෙත්වලින් මගේම අතීතය නැවත මතකයට එන්න රෝගියාගේ නිවෙස්වල අයගේ උදවුවක් අවශ්‍යයි.”

රෝහලේ වෛද්‍යවරැන් මුස්තාෆාට දුන් අවසන් තීන්දුව වූයේ එයයි. වෙන කළ හැකි කිසිවක්ම නැත. රෝගියාගේ බිරිඳ දරුවන් සවුදි රටට ගෙන ආවද ලෝකයේ පවතින කොවිඩ් - 19 වසංගතයත් සමඟ එය ක්‍රියාවට නැංවීම ද සාර්ථක වන්නේ ද නැත.
“අපි ඇන්ඩෘව ලංකාවට යවමු” මුස්තාෆාගේ තීරණය එය විය.

නමුත් සාමාන්‍ය ගුවන් යානාවකින් රෝගියාව ලංකාවට එවිය නොහැක. මේ නිසාම මුස්තාෆා ඇතුළු සමාගමේ ඉහළ නිලතල දරන සාමාජිකයන් කිහිපදෙනෙක් සාකච්ඡාවක් පැවැත්වූහ. තමන්ගේ වියදමින් පෞද්ගලික ජෙට් යානාවකින් ඇන්ඩෘව ලංකාවට එවීමට මුස්තාෆා එකඟ විය. මුදලට වඩා වසර ගණනාවක් තම සමාගම වෙනුවෙන් ක්‍රියාශීලීව සේවය කළ ශ්‍රී ලාංකික සේවකයාගේ සේවයත්, ඒ ජීවිතයත් මුස්තාෆාට වටිනා බව ඔහු ලොවටම ඔප්පු කර පෙන්වීය.

එතැන් සිට ඇන්ඩෘව ලංකාවට එවනා වැඩපිළිවෙළ දෙරට අතරේ ක්‍රියාත්මක විය. සවුදි අරාබියේ තානාපති කාර්යාලය ද ඒ සඳහා මැදිහත් විය. ඒ සියල්ලෝම කඩි රුලක් සේ ඇන්ඩෘ මව්බිමට එවීමට කටයුතු කරද්දී කිසිවක්ම නොදත් ඇන්ඩෘ සිටියේ රෝහලේ ඇඳ මත ප්‍රතිකාර ලබමිනි. ඇන්ඩෘ යහළුවන්ට මෙන්ම තව නිවසේ අයටද ඉතා හොඳ පුද්ගලයෙකි. බිරිඳට මෙන්ම තම දරුවන්ට ද නිතර දුරකථනයෙන් කතාකොට ආගිය තොරතුරු පවසා නිවැසියන්ගේ සුවදුක් විමසා බැලීය. නමුත් මාස දෙකක කාලයක් තිස්සේ ඔවුන්ට ඒ කටහඬ ඇසුණේ නැත.

සියල්ල සූදානම් වුණි. රෝහලෙන් ඉතා පරිස්සමට ගිලන් රථයකින් ඇන්ඩෘව සවුදි ගුවන් තොටුපොළට රැගෙන එනු ලැබීය. ඒ එද්දීද ඇන්ඩෘ වෙනුවෙන්ම වෙනමම ජෙට් යානාවක් සූදානම් කර තිබුණි. වහාම ඇන්ඩෘව ගුවන් යානය තුළට ඔසවා තැබිණි. ඔහුත් සමඟ සවුදි වෛද්‍යවරුන් හා හෙදි නිලධාරීන් කණ්ඩායමක් ජෙට් යානාවට ගොඩවූහ. මාස දෙකකට අධික කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇන්ඩෘ රොහාන් මෙරටට එවීමට වැය වූ සියලුම මුදල් සවුදියේ ගල්ෆ් වෙස්ට් පෞද්ගලික සමාගම විසින් දරනු ලැබීය. ඒ සඳහා වැය වූ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි හය ලක්ෂ හැත්තෑ දෙදහසකි. (අමෙරිකානු ඩොලර් 58,000කි.)

පසුගිය 21 වැනිදා සිකුරාදා ඇන්ඩෘ රොහාන් රැගත් ජෙට් යානය කටුනායකට ගොඩබැස්සේය. පෙර සූදානම් කරගත් පරිදි ඉතා ඉක්මනින් ඇන්ඩෘ නිරෝධායනයට ලක් කරමින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය. මේ වනවිටත් ඇන්ඩෘ එම පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. නිරෝධායනය හේතුවෙන් ඔහුගේ ඥාතීන්ට පවා ඇන්ඩෘගේ සුවදුක් බැලීමට ඔහු අසලට යාමට තවමත් අවස්ථාවක් නැත. ඔහුගේ බිරිඳට පමණක් ඉතා දුරක සිට වීදුරුවකින් එපිට සිටිනා ඇන්ඩෘව බලන්න අවස්ථාව ලැබුණි. කෙසේ හෝ ඇන්ඩෘට යථා තත්ත්වයට පත්විය හැකි බව වෛද්‍යවරුන්ගේ තීරණය බව සඳහන්ය.

විශේෂ ස්තුතිය..
සවුදි අරාබියේ වෙසෙන නසීර් අහමඩ් මහතාට

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02