මේ වනවිට දිවයිනේ විශාල කහ හිඟයක් උද්ගතව තිබේ. දැනට විවෘත වෙළෙඳපොළේ කහ කුඩු ග්‍රෑම් 100ක මිල රුපියල් 400 දක්වා ඉහළ ගොස් ඇති අතර ඇතැම් කඩවල ග්‍රෑම් 100ක් නිකුත් නොකරන අතර ග්‍රෑම් 50ක් රුපියල් 200 බැගින් අලෙවි කරනවා දැකගත හැකිය.
රටේ මේ වනවිට කහ හිඟයක් ඇතිවීමට ප්‍රධාන ලෙස බලපෑවේ 2019 දෙසැම්බර් 06 දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජය කහ ඇතුළු කුළුබඩු නිෂ්පාදන 10ක් ආනයනය කිරීම තහනම් කිරීමය. මෙම තහනම වහාම ක්‍රියාත්මක වන ලෙස පැනවූ නිසා ඒ වනවිට පිටරටින් කහ ආනයනයට කර තිබූ ඇනවුම් ද අවලංගු කිරීමට වෙළෙඳුන්ට සිදුවිය. රටට අවශ්‍ය කහවලින් වැඩි කොටස ආනයනය කළ නිසා ඉල්ලුමට අවශ්‍ය සැපයීම නොලැබීමෙන් රටේ උග්‍ර කහ හිඟයක් ඇතිවිය.
පවතින වාතාවරණය හමුවේ නොයෙක් පුද්ගලයන් මහා පරිමාණ වශයෙන් සහ සුළු වශයෙන් තැනින් තැන අනවසරයෙන් කහ ආනයනය කිරීමට පෙළඹී ඇති බව දිවයිනේ නන්දෙසින් ලැබෙන වාර්තාවලින් සනාථ වෙයි. තීරුබදු බලපත්‍ර රහිතව රටට ගෙන්වූ කහ කිලෝ 6381ක් පසුගිය දා සැකකරැවන් හතර දෙනකු සමඟ හලාවතදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ. මෙම තොගයේ වටිනාකම රුපියල් මිලියන 44ක් වේ. මේවා රටට ගෙනැවිත් ඇත්තේ ටෝලර් යාත්‍රාවකින් වන අතර මධ්‍යම රාත්‍රියේ හලාවත මුහුදු සීමාවට ගොඩ බා ඇත. නාවික හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව ඇල්ලූ සැකකරුවන් හතර දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
එසේ හොරෙන් ගෙන්වූ වියළි කහ ගෝනි දෙකක් මන්නාරමදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ තුළ කිලෝග්‍රෑම් 57යි ග්‍රෑම් 200ක් තිබී ඇත. මෙයට පෙරද එහිදී කිලෝ 999 ග්‍රෑම් 500ක් අල්ලාගෙන ඇති බව හමුදාව පවසයි. දැනට කහ මිල ඉහළ යාම නිසා කුඩා ප්‍රමාණයෙන් ගෙන්වුවද අධික ලෙස ලාභ ලබාගත හැකිවීම හේතුවෙන් අනවසරයෙන් ගෙන්වන අය වැඩි වී තිබේ. එහෙත් අත්අඩංගුවට ගන්නට හැකිව ඇත්තේ ගෙන්වන කහවලින් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් වන අතර වැඩි කොටසක් කෙසේ හෝ රට තුළට එන බව දැන ගන්නට තිබේ. කහ කැබළි විශාල වශයෙන් ඉන්දියාවෙන් හොරෙන් ගෙන්වීමට වෙළෙඳුන් පෙළඹී ඇති අතර වෙනත් ආනයන ද්‍රව්‍ය අතර සඟවා ගෙන ඒම විශාල ජාවාරමක් බවට පත්ව ඇත.
ඒ අතර සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇති සුවිශේෂ සිද්ධියක් වනුයේ දැනට වෙළෙඳපොළේ අලෙවි වන කහ කුඩුවලට සියයට 50කට වැඩියෙන් හාල් පිටි, පාන් පිටි හා විනාශකාරී වර්ණක වර්ග මිශ්‍ර කර ඇති බවය. මේ බව පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකරනු ලැබූ විමර්ශනයකදී වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත. මිල ඉහළ යනවිට මෙලෙස අපද්‍රව්‍ය මිශ්‍ර කිරීම් ද ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වෙයි. එහෙත් එම තත්ත්වයට යොදා ඇති ප්‍රතිකර්ම ප්‍රමාණවත්ද යන ගැටලුව උද්ගතව තිබේ.
එසේම කහ කුඩුවලට කිලෝව රැපියල් 750ක් වූ උපරිම වෙළෙඳ මිලක් නියම කර තිබියදී ඉතාම ඉහළ මිලට කහ කුඩු විකිණීම නවත්වාලීමට තවමත් අදාළ බලධරයන් අපොහොසත්ව තිබේ. රටට කහ කුඩු වශයෙන් ආනයනය නොකරන අතර ගෙන එන්නේ කහ කැබළි වශයෙනි. කහ කැබළි කුඩු කරන නිසා කැබළිවලට පාලන මිලක් පැනවීම අත්‍යවශ්‍ය නමුත් එය සිදුකර නොමැත. මේ පිළිබඳ දේශය පුවත්පත මගින් මෙයට පෙර පෙන්වා දුන්නද බලධරයන් කහ කැබැළිවලට මිල පාලනයක් නොදමන්නේ ඇයිද යන්න ගැටලු සහගත වේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පවසන්නේ ගෙවී ගිය සති තුනක කාලය තුළ මෙරටට නීති විරෝධී ලෙස රුගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝග්‍රෑම් 8360ක් නාවික හමුදාව අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගත් බවය. මෙයින් කිලෝ 807ක් පසුගිය 18දා මන්නාරමදී හා නොරොච්චෝලේදී ඇල්ලීමට නාවික හමුදාව සමත් වී තිබේ. ආසන්න රටවල සිට ධීවර බෝට්ටු මගින් කහ රට තුළට ගෙන ඒමේ ව්‍යාපාරයක් පවතින අතර මේ නිසා රට තුළට කොවිඩ් 19 වෛරස් පවා පැමිණීමට අවදානමක් ඇති බැවින් මෙලෙස නීති විරෝධී ලෙස කහ රැගෙන ඒම වහාම නවත්වන ලෙස ඔහු අපේ ධීවරයන්ගෙන් ඉල්ලා සිටී.
පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රකාශකයකු පැවසුවේ පාලන මිල ඉක්මවා කහ අලෙවි කරන වෙළෙඳුන් ඇල්ලීමේ කටයුතු මේ වනවිට ප්‍රබල කර ඇති බවය. රටට අවශ්‍ය කහ ප්‍රමාණය වෙළෙඳපොළේ නොමැති වීම මෙලෙස කළු කඩ මිලක් නිර්මාණය වීමට හේතු වී ඇති අතර ප්‍රමිතිය බාල වීමද සිදුව ඇති බව ඔහු පැවසීය.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද:
අපේ රටේ වියලි කහවල අවශ්‍යතාව වර්ෂයකට මෙට්‍රික් ටොන් 6500ක්. මෙයින් ලංකාවේ නිෂ්පාදනය වන්නේ ටොන් 1300 පමණයි. ඉතිරි 5200 මෙතෙක් කල් ආනයනය කළා. 2019 දෙසැම්බර් මස 06දා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් කහ ආනයනය තහනම් කර තිබෙනවා. රටේ කහ අස්වැන්න වෙළෙඳපොළට එන්නේ වර්ෂයේ මාර්තු සිට මැයි දක්වා කාලය තුළයි. ඒ කාලයේ අමු කහ කිලෝව රුපියල් 20ක් තමා වෙළෙඳපොළ මිලවූයේ. වියලි කහ කිලෝවක් හදන්න අමු කහ කිලෝ 6ක් අවශ්‍ය වෙනවා. කිලෝ 1000ක් හදනවා නම් අමුකහ කිලෝ 6000 වගේ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
හදිසියේම කහ ආනයනය තහනම් කළ නිසා කහ කැබලි කිලෝව රුපියල් 4500 – 5000 තරමට ඉහළ ගියා. වගාකර මාස 6ක් පමණ කාලයක් අස්වැන්න ලබාගැනීමට ගතවන නිසා අවශ්‍ය අමු කහ වෙළෙඳපොළට ආවේ නැහැ. ඒ නිසා රටේ කහ හිඟයක් ආවා. මෙට්‍රික් ටොන් 5200ක් ආනයනය නැවතීම මෙයට හේතු වුණා. එලෙස තහනම් කළේ පසුගිය දෙසැම්බර්වල කහ ඇතුළු කුළු බඩු වර්ග 10ක් ආනයනය කිරීම මුදල් අමාත්‍යංශය මගින් තහනම් කිරීම නිසයි. මේ වනවිට කහ කුඩු කිලෝව රුපියල් 3000ද ඉක්මවා මිල ඉහළ ගිහින් තියෙනවා.
කහ මිල අසීමාන්තිකව ඉහළ යාම පාලනය කිරීම සඳහා කහ වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා.
කහ වගාව ගෙවතු වගාවක් ලෙස ප්‍රචලිත කිරීම සඳහා පොහොර බෑග්වල කහ වගා කිරීම දැනට ප්‍රවර්ධනය කරමින් පවතිනවා. කහ ග්‍රෑම් 200ක් පොහොර බෑග් එකක වගාකර කිලෝ 8 – 10ක අස්වැන්නක් ලබාගන්න පුළුවන්. එයින් වියලි කහ කිලෝ 1 – 1/2 ½ හදාගන්න පුළුවන්. දිස්ත්‍රික් කෘෂි ව්‍යාප්ත නිලධාරීන් මගින් ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරනවා.
එයට අමතර වශයෙන් මේ වනවිට හෙක්ටියාර 1500ක පමණ කහ වගා කර තිබෙනවා. එය මහා පරිමාණයෙන් කරන අයද සිටිනවා. දැන් යල කන්නයේ වගාව අවසන්. ඔක්තෝබර් - නොවැම්බර් වනවිට මහ කන්නයේ හෙක්ටයාර 2000ක් පමණ වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. ලබන වසරේ ජනවාරි 15 පසුව තමා අස්වැන්න ලැබෙන්නේ. ඒ වනතුරැ කහ හිඟය බලපවත්වාවි. අපේ සැලසුම අනුව 2023දී රට කහවලින් ස්වයංපෝෂිත වෙනවා. දැනට බීජ කහ විතරයි ආනයනය කරන්නේ.
දැනට වගා කරන කහ වෙළෙඳපොළට පැමිණෙන තුරු වසර 1 ½ක් පමණ කාලයකට කහ ආනයනය කිරීමට අවසර දීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි කුඩා වැවිලි භෝග සහ වගා සංවර්ධනය ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. කහ හිඟය නැති කිරීමට තම විශේෂ අවධානය යොමුව ඇති බව කියන ඇමැතිවරයා රට තුළ ගෘහාශ්‍රිතව පවා වගා කර ස්වයංපෝෂිත කළ හැකි මෙම කුළු බඩු වර්ගය ආනයනය කිරීමට දිගටම අවසර දිය නොහැකි බවද පැවසීය. එසේ වුවද දැනට ඇති හිඟය අවම කිරීම සඳහා කෙටිකාලීන වශයෙන් ආනයනය කරන බවද කීවේය. නමුත් අවම ලෙස රටට අවශ්‍යතාවට පමණක් කහ ආනයනයට අවසර දෙන අතර ජනාධිපති සමඟ සාකච්ඡා කර මේ පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරන බවද අවධාරණය කරයි.
යසවර්ධන රුද්‍රිගු