පාතාල කල්ලි නායකයන්ට තවදුරටත් සැඟවී සිටින්නට අවකාශ නොමැති වී තිබුණි. ඔවුන් නීති විරෝධී ලෙස මුදල් උපයා ගැනීම්, ගිනි අවි භාවිතය, මත්ද්‍රව්‍ය අලෙවිය සහ ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණ මගින් විභාග වෙමින් පවතින නඩු කටයුතු මගහැර යෑම මගින් ගොඩනගාගෙන තිබූ ආධිපත්‍යය මේ වනවිට ක්‍රමයෙන් බිඳ වැටෙමින් තිබේ.
මෙම පසුබිම යටතේ දිනපතාම පාතාල බලකොටු මෙන්ම පාතාල නායකයන්ද ආරක්ෂක අංශ වෙත කොටුවන්නට පටන් ගත්තේ ඔවුන් සතු ගිනි අවි, මත්ද්‍රව්‍ය සහ ඒවායින් උපයාගත් මුදල්ද සමගිනි. එපමණක්ද නොව එම කල්ලිවල සිටි බලවත් වෙඩික්කරුවෝද, තම ආයුධ සමගම මරු වැළඳ ගත්හ.
මෙයින් සන්ත්‍රාසයට පත් වී සිටි පාතාල කල්ලි නායක රණසිංහ ආරච්චිගේ ඉෂාර ලක්මාල් පසුගියදා (23) අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පලායෑමට සැලසුම් සකස් කරමින් සිටින බවට තොරතුරක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එරංග ප්‍රනාන්දු මහතාට ලැබී තිබුණි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මෙම නිලධාරීන් විසින් සැලසුම් කර එය ක්‍රියාත්මක කිරීමේ වගකීම කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක එස්.බී.ඩී.ජේ. නිශාන්ත මහතාට පැවරීමට තීරණය කර තිබුණි. පොලිස් පරීක්ෂක නිශාන්ත කොළඹ අපරාධ කොට්ඨාසයේ සිටින දක්ෂ, පළපුරුදු, බුද්ධිමත් නිලධාරියෙකි. ඔහු විසින් ඉෂාර ලක්මාල් කොටුකර ගැනීමේ ක්‍රියාකාරී සැලැස්ම සකස්කර ඒ පිළිබඳව යළිත් තම උසස් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගත්තේය.
ඒ සමඟම මෙම සැලැස්ම මනා ලෙස නිවැරුදිව ක්‍රියාවට නංවාලියහැකි 10 දෙනකුගෙන් සමන්විත නිලධාරීන් පිරිසක්ද තෝරා ගැනීමට පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා පියවර ගත්තේය. ඒ අනුව පොලිස් සැරයන් (61780) සඳරුවන්, පොලිස් කොස්තාපල්වරුන් වන (70450) අමිල, (69480) කුමාර, (82638) අනුරුද්ධ, (83903) දිලංග, (84333) වික්‍රමනායක, (91671) රාජකරුණා, (91691) චතුරංග, (30017) අධිපත්තු සහ පොලිස් කොස්තාපල් රියැදුරු (94799) ඒකනායක එම නිලධාරීන් පිරිස විය.
පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා ඉෂාර ලක්මාල් කොටු කර ගැනීමේ සැලැස්මේ පළමු පියවර ක්‍රියාත්මක කරමින් ඔහු රට හැර ඩුබායි වෙත පළායෑමට සූදානම් කර ඇති ගුවන්යානය පිළිබඳව නිසැක හෝඩුවාවක් ලබාගත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරුන්, ගුවන් තොටුපළ රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් සහ ආගමන විගමන නිලධාරීන් සමඟ සම්බන්ධ වෙමිනි.
ඒ අනුව ඉෂාර ලක්මාල් 23 දින අලුයම 3.15ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානය තෝරාගෙන ඇති බව සැකහැර දැන ගත්තේය. මෙම ගුවන් යානය පිටත්වීමට පැය තුනකට කලින් එනම් රාත්‍රී 12.00 පමණ වනවිට ඉෂාර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිය යුතු බවද මෙම පොලිස් පරීක්ෂක කණ්ඩායම අවබෝධ කරගෙන තිබුණි. ඒ අනුව මෙම පොලිස් නිලධාරීන් පිරිස 22 දින රාත්‍රී 10.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූහ. ඔවුන් රැගත් ජීප්රථය කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවෙමින් තිබුණි.
ගුවන් තොටුපළේ ආරක්ෂක අංශ වෙනුවෙන් වෙන්කර ඇති රථ ගාලෙහි මෙම විශේෂ පොලිස් ජීප්රථය නැවතූ මෙම නිලධාරීන් පිරිස යුහුසුළුව තම අවි ආයුධ සහ අවශ්‍ය අනෙකුත් උපකරණ රැගෙන පිටත්වීමේ පර්යන්තය කරා පිය නගන්නට වූහ. ඒ වනවිටත් මෙම කණ්ඩායමේ ප්‍රධානී නිශාන්ත මහතා තමන් ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවට ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයාට, රාජ්‍ය බුද්ධි සේවයේ ගුවන් තොටුපළ ප්‍රධානීන්, ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම්වත් කර අවශ්‍ය සහාය ඉල්ලා තිබුණි. ඒ සමගම තම කණ්ඩායමේ සියලු සාමාජිකයන් ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ඔවුන්ට නියමිත ස්ථානවල ස්ථාන ගත කිරීමට ද පියවර ගෙන තිබුණි.
මෙම පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇස් ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු විගාමික සේවා කවුළු වෙත යොමු වී තිබුණි. මෙම නිලධාරීන්ට සිදුවන ඇසිල්ලක ප්‍රමාදය ඉෂාර ලක්මාල් ගුවන්තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර දේශසීමා කලාපයට ඇතුළුවීමට මග පාදන අතර එසේ වුවහොත් සති ගණනාවක ප්‍රයත්නය මෙන්ම රටට අවශ්‍ය කරන විනාශකාරී පාතාල නායකයකු මගහැරී යාමද සිදු විය හැකිය.
කාලය තත්පරයෙන් තත්පරය ගෙවී යමින් තිබිණි. මෙම පොලිස් නිලධාරීන්ගේ ඉවසීමේ සීමා තවදුරටත් ඉතිරි නොවන මට්ටමකට පැමිණ තිබුණි. තවත් මිනිත්තු කිහිපයක් ගත වෙත්ම 23 දිනය උදාවන්නට විය. කටුනායක ගුවන් තොටුපළ රැකවල්ලා සිටින මෙම විශේෂ පොලිස් නිලධාරීන් පිරිස තවදුරටත් නෙත් යොමා බලා සිටියේ පිටත්වීමේ පර්යන්තයට ඇතුළු වන ගුවන් මගීන් පිළිබඳවය. ඒ අතර ගුවන් තොටුපළ ශබ්දවාහිනී පද්ධතියෙන් විකාශනය වූයේ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානය 23 දින අලුයම 1.30 ට ඩුබායි සිට ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි. එම නිවේදනය කියවූ මිහිරි හඬට වඩා වැඩි හැඟීමක් සහ තිගැස්මක් එකවරම මෙම නිලධාරීන්ගේ ගත සිත වෙලා ගනිමින් තිබුණි.
තවත් මිනිත්තු 10ක් ගෙවීයත්ම, එකවරම පිටත්වීමේ පර්යන්තයේ කෙළවරින් ගමන් මල්ලක් එල්ලාගත් ඩුබායිහි රැකියා සඳහා පිටත්ව යන්නකු ලෙස පෙනී යන පුද්ගලයෙක් මතුවිය. වහා ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා ඔහු නවතා ප්‍රශ්න කරන්නට විය. ඔහුගේ සැකය නිවැරුදි විය. ඔහු නවතා තිබුණේ 32 හැවිරිදි වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ ඉෂාර ලක්මාල් නැමැති පාතාල කල්ලි නායකයාය. ඉෂාර ලක්මාල් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් කේරළ ගංජා තොග වශයෙන් රැගෙන විත් ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීමේ ප්‍රධානියා බව ඒ වනවිටත් තහවුරු කරගෙන තිබුණි. ඒ අනුව මුලින්ම 23 දින අලුයම 2.00 වනවිට මෙම පොලිස් නිලධාරීහු තම ඉලක්කය සපුරා ගන්නට සමත් වී සිටියහ.
එහෙත් තවදුරටත් ඉෂාර ලක්මාල්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුත් සමඟ තවත් ශ්‍රී ලංකාවේ නමගිය පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනකුද ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් සිටින බවට වූ අනපේක්ෂිත සුභාරංචියද අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා සමත් වී තිබුණි. එම ආරංචිය මෙම පොලිස් මෙහෙයුම් කණ්ඩායම කිසිසේත්ම අපේක්ෂා නොකළ දෙයකි. ඒ අනුව 30 හැවිරිදි කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග එදින අලුයම 2.15ට මෙම පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වැල්ලේ සාරංග කේරළ ගංජා ජාවාරම, නීතිවිරෝධී ගිනි අවි භාවිතය, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ඔහුට එරෙහිව විභාග වෙමින් පවතින නඩු කටයුතු මගහැර යෑම වැනි චෝදනා රාශියකට ලක්වූ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස ඒ වනවිටත් පොලීසිය සොයමින් සිටි පුද්ගලයෙකි. 23 දින අලුයම 2.20 වනවිට ඔහු පසුපසින් පැමිණි කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කතලුව ලියනගේ බුද්ධික සංජීව නැමැති අනෙක් පාතාල කල්ලි සාමාජිකයාද පොලිස් අත්අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම් කණ්ඩායම සමත් වී තිබුණි.
ඔහු රුගෙන ආ ගමන් මල්ලේ ඇමෙරිකානු ඩොලර් 7900 ක්, රැපියල් 100 නෝට්ටුවලින් වූ ශ්‍රී ලංකා රැපියල් දහ හතර ලක්ෂ අනූ හත් දහසක්ද (14,97,000)ක් ද විය. මෙම මුදල් තොගයේ ආසන්න රුපියල් වටිනාකම රුපියල් ලක්ෂ 29 කි. ඊට අමතරව බුද්ධික සංජීව රත්තරන් පවුම් 10 ක් පමණ බරැති මාල, මුදු සහ අත් පළඳනාවක්ද පැළඳගෙන සිටියේය. මෙම බුද්ධික සංජීව ප්‍රකට පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු වූ අතර ඔහුට එරෙහිව විභාග වෙමින් පැවති නඩු කීපයක්ම මගහැර සිටින්නකු බවට තොරතුරැ ඒ වනවිටත් පොලීසියට වාර්තා වී තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ තුළ පිටත්වීමේ පර්යන්තයේ විගාමික කවුළුව අසළ සිදුවන මේ කිසිවක් නොදත් කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ආබ්දීන් මොහොමඩ් සුබීර් නොහොත් බොබීද වැල්ලේ සාරංග, බුද්ධික සංජීව සමග පසුපසින් පැමිණෙමින් සිටියදී 23 දින අලුයම 2.30 වනවිට පොලිස් අත්අඩංගුවට පත් වී සිටියේය. මෙසේ අත්අඩංගුවට පත්වූ සුබීර්ද අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු වූ අතර ඔහු පසුගියදා සිදුවූ හංවැල්ල මහජන බැංකු කොල්ලයේ ප්‍රධානතම සැකකරැවෙකි.
මේ ආකාරයට නොසිතූ විරෑ ජයග්‍රහණයන්ද ලබාසිටි මෙම පොලිස් මෙහෙයුම් කණ්ඩායම තවත් වේලා කටුනායක ගුවන් තොටුපළ තුළ රුඳී නොසිට වහාම යළිත් ආපසු කොළඹ බලා පිටත්වීමට සූදානම් වූහ. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම් පිළිබඳව අදාළ ඉහළ නිලධාරීන්ට පොලිස් පණිවිඩ සේවාව මගින් දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් පැමිණි විශේෂ පොලිස් ජීප් රියෙන්ම 23 දින අලුයම 3.00 වනවිට කොළඹ බලා පිටත්වීමට ගමන් ආරම්භ කළේය. එසේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආ මෙම සිව්දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගෙන තිබුණි.
මේ ආකාරයට මෙම පුද්ගලයන්ගෙන් දින 03 සිට අවුරුදු එකහමාරක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබාගත හැකිය. මේ වනවිට මොවුන්ගෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵල ලෙස තවත් පාතාල කල්ලි සාමාජිකයන්, නීතිවිරෝධී ගිනි අවි, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය, ඔවුන් අයථා මාර්ගවලින් උපයාගත් මුදල් සහ ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් සැඟවී සිටීමට භාවිතා කළ නිවාස පද්ධතිද පොලිස් අත්අඩංගුවට පත් වෙමින් තිබේ.
I කටුනායක ටී.කේ.ජී.කපිල