පාතාලය සමතලා කරමින් කුඩ්ඩන් කුඩු කරන සටන ආරක්ෂක ලේකම්වරයා විසින් අරඹා වැඩි දිනක් නැත. කුඩු මෝරැන් හතර අතේ කොටුවෙද්දී, කුඩ්ඩෝ කුඩු අහේනියෙන් ඇඹරෙති. ඇතැම්හු මරුවිකල්ලෙන් දඟලති. පාතාල කෙරුමන්ට මරණ වරෙන්තු නිකුත් වෙද්දී, ගෝලබාලයෝ රට හැරයන්නට තැත් කරති. කුඩු ටොන් ගණනින් අල්ලති.
මෙරට අපරාධවල මුල් ඇරඹුම් ස්ථානය බන්ධනාගාර බවට මෙතෙක් පැවැති මතයේ වෙනසක් අදටත් නැතත්, යම් යම් නීතිරීතිවල දැඩි බවක් නම් දැනෙන්නට පටන්ගෙන ඇත. පාතාල කෙරුමන් හා කුඩු මෝරුන් බන්ධනාගාර පාලනය කළ සමයට විරාමයක් ලැබී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා ගෙන යන දැඩි මෙහෙයුම් ජාලය නිසාය. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ඇතුළු ගෝලබාලයන් මත්කුඩු ජාවාරමුන් වැඩි දෙනෙක් ඒ නිසාම අද බූස්සේ හෝ අගුණකොළපැලැස්සේ යකඩ සිරකුටි තුළය.
මහා කුඩු ජාවාරමුන්ගේත් පාතාල කෙරුමන්ගේත් සුරතලුන් බවට කලක් පත්ව සිටි ඇතැම් දූෂිත නිලධාරීන් රුසක්ම දැන් පූස් පැටියන් ගාෙණ්ය. බුද්ධි අංශ හෙළි කරන තොරතුරැවලට අනුව අපරාධකරැවන් හා සමීප සබඳතා පැවැත්වූ බව කියන නිලධාරීන් 23 දෙනකුට උන්හිටිතැන් අහිමිය. මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු 15 දෙනකුගේම වැඩ තහනම් වී හමාරය. ඇතැමෙක් සිරකුටිවලය. තවත් 33 දෙනකුට රතු එළිය.
ජනාධිපතිවරයා මීට මාස 3කට පෙර සැරෙන් කී ආකාරයට බන්ධනාගාර හරියට පාලනය කරන්නට බලධාරීන් හරිබරි ගැහෙමින් සිටීමද අපූරැය. එදා මෙන් බන්ධනාගාරවල සිදුවෙන දේවල් පිළිබඳ පුවත් වරින්වර මැවෙන්නට පටන් ගත්තද ඉන් වැඩි හරියක් එළියට නොඑන බව කියන්නේද දූෂිත නොවන නිලධාරීන්ය. ඒ පිළිබඳව අප පුදුම නොවිය යුත්තේ ඉකුත්දා මාධ්‍ය මගින් අප හෙළිකළ පුවතකට බලධාරීන් දැක්වූ ප්‍රතිචාරය දකින විටය.
ඒ නිසාම බන්ධනාගාර නිලධාරීන් තිගැස්සී ගිය අයුරැද පුදුම සහගතය. තම නිරුවත වසාගන්නට ඔවුන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමද හාස්‍යජනකය. දැන් බන්ධනාගාරවල කුඩු නැති බව කියන්නට සාක්ෂි ඕනෑතරම් ඇත. ඒ බව කියන්නේද එම පාලකයන්ය. එහි ඇත්තක් නැත්තේද නැත. කොළඹ බන්ධනාගාර සමූහයේ ආරක්ෂාව තර කරන්නට එස්.ටී.එෆ්. ආවේද ඒ අතරය.
කෙසේ කොයි හැටි වෙතත්, බන්ධනාගාරවලට රහසිගතව තාප්පවලින් මත්කුඩු ඇතුළු තහනම් භාණ්ඩ පියාඹා ඒමේ අඩුවක් ඇතැයි කියන්නේද නිලධාරීන්ය. ඒ තරමට දැන් කුඩු සික් වැඩිවෙලාය. ඒ කොතරම්ද කියනවා නම් මීගමුව බන්ධනාගාරයෙන් පමණක් දිනකට රැඳවියන් 300කට පමණ කුඩු සික් වැඩිකමට මීගමුව රෝහලෙන් බෙහෙත් දෙන්නට සිදුවී ඇති බව වාර්තා වූයේද මෑතකදීය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේද දැන් කුඩු සික් මත්ලෝලීන් 800කට වැඩිය. බන්ධනාගාරයේ මූලස්ථාන 2020 වාර්ෂික වාර්තාවෙන් හෙළිවූයේ, බන්ධනාගාරගත රැඳවියන් 29164ක් අතරින් 15123ක්ම මත්ලෝලී රැඳවියන් බවය. බලධාරීන් පවසන්නේ දැන් ඇතුළට කුඩු එන මං සියල්ල වසා අවසන් බවය.
එළියේ කුඩු නැතිවන තරමට, ඇතුළට බඩු එන එක ඉබේම නතරවන බව නිලධාරියකු කිව්වේ මීට කලකට පෙරය. අද වන විට එනිසාම බන්ධනාගාර ගණනාවකම කුඩු සික්ය. කෑම ගැනීමද වැඩිවෙලාය.
මෙහි උච්චතම අවස්ථාව හෙළි කළේද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාය. බන්ධනාගාර තුනකින් කුඩු නැතිව රැඳවියන් තිදෙනකු දිවිනසාගෙන ඇති බව ඔහු කීවේ පසුගිය 24දාය. මේ පිළිබඳව සොයා බැලූ විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය කළුතර හා බූස්ස බන්ධනාගාරවලින් මෙම දිවිනසා ගැනීම් සිදුවී ඇති බවද හෙළි විය. මීට පෙර එවැනි සියදිවි නසාගැනීම් වාර්තා වී තිබුණද මෙවර එකදිගට එවැන්නක් සිදුවීමද විශේෂත්වයකි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මත්ලෝලී රැඳවියකු එහි ඊ වාට්ටුවේදී බාල්කයේ එල්ලී සියදිවි නසාගත් බව කීවේද එහි නිලධාරියෙකි. කුඩු නැතිව දින ගණනාවක් තිස්සේ පිස්සකු ලෙස සිටි බව කියන මෙම රැඳවියා රාත්‍රී සෙසු රැඳවියන් නින්දට ගොස් සිටියදී වහළයේ බාල්කයට වයරයක් ගැටගසා ගෙල වැළලාගෙන මියගොස් සිටි බව කිසිවකුත් පසුදා වනතුරු දැන නොසිටි බවද සඳහන්ය.
මින් පෙර වැඩිම කුඩුලෝලී රැඳවියන් සිටියේ මෙම බන්ධනාගාරයේ බවට කතාද නැත්තේ නොවේ. ඒ අතර, පාතාල ක්‍රියාකාරීන් හා මත්කුඩු ජාවාරමුන් ප්‍රමුඛ වූ බවද පැවසෙන්නේය.
මෙම බන්ධනාගාරය බාරව සිටි පාලකයකු ලාලිත්‍ය නැමති කුඩු රජකුගේ සහායෙන් (දැනට මියගොස්ය.) නිවන් දකින්නට බුදුමැදුරැ තැනූ හැටි, ඒ අසලින් දියඇළි ගලා ගිය හැටි, ඇප මත එළියට ගිය අයකු ගෙන්වා ඒවා විවෘත කළ හැටි රහසිගතව කතාබහට ලක්ව ඇත්තේද අද ඊයෙක නොවේ. එදා මේවා පාලනය කළ ලොක්කන් කුඩු රුඳවියන්ගේ මානසික සුවය සැදුවේ එලෙසිනි. අද වන විට කුඩු අහේනියෙන් දිවිනසා ගන්නේද එවන් බන්ධනාගාරයකින් වීමද අවාසනාවකි.
යාපනය බන්ධනාගාර මත්ලෝලී රැඳවියන් 80 දෙනකු සඳහා උතුරැ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා හා එක්ව පුනරැත්ථාපන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත්තේද මේ අතරය.
කළුතර බන්ධනාගාරයේ සිට නිරෝධායනය සඳහා බූස්ස බන්ධනාගාරයට ගෙන ගිය පානදුර ප්‍රදේශයේ තරැණ රුඳවියකු කුඩු නැතිව එහි සිර වාට්ටුවකදී සරමෙන් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගත් බව වාර්තා වී වැඩි දිනක්ද නැත. කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි මිනීමැරැම් සැකකරැවකු හෙරොයින්වලට තදින් ඇබ්බැහි වී කුඩු නැතිව එහි රෝහල් සිරමැදිරියක ඇඳ ඇතිරිල්ලක් ජනේලයේ ගැටගසා එල්ලී මියගිය බවක් වාර්තා වූයේද පසුගියදාය.
දිනෙන් දින කුඩු සික් වැඩිවන බව නම් ඇත්තකි. බන්ධනාගාර රුසකින් ඒ බැව් වාර්තා වූයේද එකදිගටය.
හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වූ රුඳවියකු මීගමුව බන්ධනාගාරයේදී කුඩු සික් උග්‍ර වී යකා නටන්නට වී ඇතිවූ ගුටිබැට හුවමාරුවකදී පහරකෑමෙන් මියගිය බවක්ද ඒ අතර හෙළි විය. කොළඹ රිමාන්ඩ්, කළුතර මීගමුව යන බන්ධනාගාරවල කුඩු අහේනිය හේතුවෙන් රැඳවියන් නොසන්සුන්තාවයට පත්ව කලහකාරී ලෙස හැසිරෙන බවක්ද වාර්තා විය. මෙම මත්කුඩුලෝලී රුඳවියන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට දැඩි ආයාසයක් දැරීමට සිදුවී ඇති බව දැනගත හැකිවූයේ ද එම නිලධාරීන්ගෙන්ය.
අපරාධ සැලසුම් කිරීම ඇතුළු පාතාල ක්‍රියාකාරීත්වය, මත්කුඩු ජාවාරම, බන්ධනාගාරවලින් තුරන් කරන්නට ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් දරණ උත්සාහය මේ වන විට යම් තරමකින් හෝ මල්ඵල දරා තිබීම ජනතාවගේ ප්‍රසාදයට එක් ප්‍රධාන හේතුවක් වන්නටද පුළුවන. එය යථාර්ථයක් වනු ඇත්තේ කවදාද යන්න නිශ්චිතව කිව නොහැකි වුවද කිසියම් හෝ පාලනයක් බන්ධනාගාර තුළ සිදුවන බව නම් නොකියා බැරිය. එහෙත්, ඇතැම් දූෂිත නිලධාරීන් බන්ධනාගාර තුළ ගෙන යන නීතිවිරෝධී ක්‍රියාකාරකම් සියල්ල අහෝසි වී ඇතැයි කිසිවකුටත් අත සෝදාගෙන නිහඬව බලා සිටිය හැකිද? ඒවා වසන් කරන්නට ඇතැමුන් දරණ උත්සාහය ද පිළිකුල් සහගතය.
ජයන්ත සමරකෝන්