චීන ජනාධිපති ෂි ජිං පින්ගේ සංකල්පයකට අනුව ඉන්දීය සාගරය හරහා අප්‍රිකාව හා චීනය යාකරන පැරුණි සේද මාවත යළි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් චීනය ආරම්භ කළේය. එය නම් කෙරුණේ එක් තීරයක් එක් මාවතක් යනුවෙනි. ඒ අනුව පාකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, සෝමාලියාව හා ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට ඔවුන් පියවර ගෙන තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය වසර 99කට චීනයට බදු දී තිබේ. මෙලෙස ලංකාවේ වරායක් චීනයට බදු දීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඇත්තේ පහන් හැඟීමක් නොවේ.
චීනය හා ඉන්දියාව අතර ඇත්තේ සීතල යුද්ධයකි. මේ දෙදෙනාටම අවශ්‍ය ආසියාවේ බලවතා වීමටය. හම්බන්තොට වරාය චීනයට බදුදීමත් සමඟ ඉන්දියාව ප්‍රති නැව්ගත කිරීමේ වරායක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අත්පත් කර ගැනීම සදහා විශාල උනන්දුවක් දැක්වීය එහෙත් වරාය වෘත්තීය සමිතිවලින් පැන නැගුණු විරෝධය හමුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ඉන්දියාවේ බලාපොරොත්තු ගිලිහෙමින් තිබේ. එහෙයින් ඉන්දියාව බෙංගාල බොක්කේ පිහිටි නිකොබාර් දූපතේ ප්‍රතිනැව්ගත කිරීමේ වරායක් ඉදිකිරීමට යෝජනා කර තිබේ.
අන්දමන් සිට නිකොබාර් දූපත දක්වා මුහුදු පතුලෙන් සම්බන්ධ කළ අධිවේගී සන්නිවේදන කේබල් පද්ධතිය විවෘත කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය සැළැස්ම අනාවරණය කර තිබේ. රුපියල් කෝටි 10,000 ක් (ඩොලර් බිලියන 1.33 ක්) ආයෝජනය කරමින් මෙම වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබෙන අතර එම වරාය සංවර්ධනය කිරීමෙන් පසු විශාල නෞකාවලටද එහි පිවිසිය හැකියැයි මෝදි එම අවස්ථාවේ ප්‍රකාශ කළේය. කොළඹ, සිංගප්පූරුව සහ මලයාසියාවේ ක්ලැන්ග් වරායට විකල්පයක් ලෙස ඉන්දීය නෞකාවලට පහසුකම් සැපයීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වී තිබේ.
ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයේ ඇති සියලුම ප්‍රධාන වරායන්හි ගැඹුර අවම මට්ටමක පවතී. මෙය විශාල නෞකාවලට ඉන්දියානු වරායනට පැමිණිමට බාධාවකි. ඒවාට ළඟා විය හැක්කේ ටොන් 25,000 ත් 75,000 ත් අතර භාණ්ඩ ප්‍රවාහනය කරන පැනමාක්ස් වැනි කුඩා නෞකා හා ටොන් 165,000 සිට 180,000 දක්වා ගෙන යා හැකි කැප්සයිස් වැනි කුඩා නෞකාවලටය. කලින් කලට ලොව පුරා නිපදවන නෞකාවල විශාලත්වය වැඩි වන බැවින් මෙම තත්ත්වය යටතේ කටයුතු කිරීම අසීරැ වෙමින් තිබේ. කුඩා නෞකා කිහිපයකින් භාණ්ඩ ප්‍රවාහනයට වඩා එක් විශාල නෞකාවකින් භාණ්ඩ ප්‍රවාහනය වඩාත් ලාබදායකය.
මෙයට පිළියම් ලෙස සාගර පතුලේ ඇති රොන්මඩ ඇතුළු වෙනත් දෑ ඉවත් කිරීම හා පත්ල ගැඹුරු කිරීම කළ හැකිය. එහෙත් එම ක්‍රියාවලිය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. මේ සඳහා ඇති. අනෙක් විකල්පය වන්නේ ප්‍රතිනැව්ගත කිරීමය.
ගිනිකොනදිග ආසියාවේ නව වාණිජ ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාවට අවශ්‍ය වී තිබේ. අන්දමන් සහ නිකොබාර් දූපත්, වරාය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස තෝරාගෙන ඇත්තේ එහෙයිනි. මෙම දූපත් තරගකාරී නෞකා මාර්ගයක පිහිටා ඇති හෙයින් වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සහ සමුද්‍රීය සැපයුම් පහසු කිරීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමු වී ඇතැයි ද ඒ සඳහා පවතින නීතිමය බාධක ද ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කර තිබේ.
කොළඹ, සිංගප්පූරුව සහ ඩුබායි වැනි කලාපයේ තවත් ප්‍රධාන වරායන් කිහිපයක් ඉන්දියානු වරායවලට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකා සඳහා ප්‍රතිනැව්ගත කිරීමේ කේන්ද්‍රස්ථාන ලෙස කටයුතු කරයි. කොළඹ වරායෙන් ප්‍රතිනැව්ගත කිරීම සඳහා එක් කන්ටේනරයකට ඩොලර් 200ත් 250ත් අතර මුදලක් ගෙවීමට ඉන්දීය නැව්කරැවන්ට සිදුවන බව පැවසේ. ඒ අනුව වෙනත් වරායවලින් ප්‍රතිනැව්ගත කිරීමේදී ඉන්දියාවට අහිමිවන ආදායම වසරකට කෝටි 1500ක් පමණ වෙතැයි එරට නාවික කටයුතු අමාත්‍යංශ වාර්තාවකින් හෙළි වී තිබේ. එහෙයින් මෙම වරායවලට විකල්පයක් ලෙස මහා නිකොබාර් දූපතේ වරාය සංවර්ධනය කිරීම ඉන්දියාවේ අරමුණ වී තිබේ.
ලෝකයේ වඩාත් කාර්යබහුලම සමුද්‍රීය වෙළෙඳ මාර්ගයක් වන නැගෙනහිර-බටහිර මුහුදු මාර්ගය ඔස්සේ පිහිටා ඇති මෙම දූපත කොළඹ, පෝර්ට් ක්ලැන්ග් සහ සිංගප්පූරැව වැනි කේන්ද්‍රීය වරාය හා සමානය. නිකෝබාර් දිවයින පිහිටා ඇත්තේ මෙම මුහුදු මාර්ගයට නාවික සැතපුම් අටක් පමණ දුරිනි. මෙම මාර්ගයේ ගමන් ගන්නා නෞකාවකට සාමාන්‍යයෙන් කොචි වෙත ළඟාවීමට පැය හතරක් සහ තූතුකුඩි වෙත ළගාවීමට පැය අටක පමණ කාලයක් ගතවේ නිකොබාර් වරායට සමීපවීමට ගතවන්නේ පැයක පමණ කාලයකි. එය ඉන්දියානු හා පැසිෆික් සාගර සම්බන්ධ කරන මලක්කා සමුද්‍ර සන්ධියේ මුවවිට අසල පිහිටා ඇත. ලොව වෙළඳ භාණ්ඩවලින් හතරෙන් එකක් පමණ රුගත් යාත්‍රා 100,000 ක් පමණ සෑම වසරකම මෙම මාර්ගය ඔස්සේ ගමන් කරයි.
ප්‍රධාන ඉන්දියානු භූමියට අයත් නොවූ අන්දමන් හා නිකොබාර් දූපත් ඉන්දීය සන්ධීය කලාපයට අයත්ය. බෙංගාල බොක්කේ සහ අන්දමන් මුහුදේ සන්ධිස්ථානයක පිහිටි. දූපත් 572 කින් සමන්විත අන්දමන් සහ නිකොබාර්හි දූපත් 37ක් ජනාවාස වශයෙන් පවතී. මෙම භූමිය ඉන්දුනීසියාවේ ආචේ සිට කි.මී. 150 ක් උතුරින් පිහිටා ඇති අතර තායිලන්තයෙන් හා මියන්මාරයෙන් වෙන් වන්නේ අන්දමන් මුහුදෙනි. ඒවා අන්දමන් දූපත් සහ නිකොබාර් දූපත් යනුවෙන් හැඳින්වේ.. එම දූපත් ඉන්දියානු ත්‍රිවිධ හමුදාවේ කඳවුරැ පවත්වාගෙන යෑම සඳහාද භාවිත කෙරේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා