2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

තමන්ගේ ආයතනය හොර ගුහාවක් කියූ භූවිද්‍යා සභාපතිගේ කතාව

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

“රාජකාරිය දේවකාරිය ලෙස සැලකිය යුතුයි” යැයි කතාවක් අප ජන සමාජයේ අසන්නට ඇත. එහෙත් අද වන විට රාජකාරිය දේවකාරිය ලෙස සලකමින් සේවය කරන රජයේ සේවකයන් පිළිබඳ අසන්නට ඇත්තේ අහම්බයෙනි. අල්ලස් ගැනීම, මුදල් වංචා, ටෙන්ඩර් හිතවතුන්ට ලබාදීම වැනි එකී නොකී කරුණු හේතුවෙන් අද වන විට මෙරට රාජ්‍ය සේවය පිළිබඳ විශ්වාසය වළපල්ලට ගොස් ඇති බව සියල්ලෝම දන්නා කරුණකි. 

අතීතයේදී රාජ්‍ය සේවය බොහෝ ගරු ගාම්භීර සේවාවකි. එසේම ඉතාම ගෞරවණීය සේවාවකි. එහෙත් අද වන විට එය ඉතාමත් හෑල්ලුවට ලක්වී ඇතැම් රාජ්‍ය ආයතන රටේ නායකයන්ගේ සේම පොදු ජනතාවගේ ද  අපහාසයට, උපහාසයට ලක්වන සේවාවක් බවට පත්ව තිබේ. රාජ්‍ය සේවයේ ඇතැම් අංශ පිරිහීමෙන් ප්‍රදර්ශනය වන්නේ පොදුවේ සමාජයේ පිරිහීමය. කොතරම් යහපත් අයකු වුවත් ඇතැම්විට රාජ්‍ය සේවයට එක්වූ පසු ඒ තුළ පවතින දුර්ගුණ ඔහුට ද වැළඳීම කනගාටුවට කරුණකි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙරට දූෂිතම ආයතන දහය අතරින් එකක් බව එම කාර්යාංශයේ වත්මන්  සභාපති අනුර  වල්පොල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය හේතුවන්නට ඇත්තේ ද එම කරුණු නිසා විය හැක.
එම දූෂණ කටයුතුවලට සම්බන්ධ ආයතනයේ උසස් නිලධාරීන් තුන් හතර දෙනකු සහ සුළු නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳ මේ වන විට විමර්ශන අරඹා ඇති බවද සභාපතිවරයා කියා සිටියි. දූෂණ කටයුතුවලට සම්බන්ධ ඇතැම් නිලධාරීන් පිළිබඳව විමර්ශන කටයුතු අවසන් කර ඇති බවද සභාපතිවරයා කියා සිටියේය.

“පසුගිය කාලයේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට පැමිණි ඇතැමකුට සිය රාජකාරි කටයුතු සිදුකර ගැනීම සඳහා ෆයිල් කවර ඇතුළට මුදල් දාන්න වුණා. මම සභාපති ධූරය ලබාගැනීමෙන් පසු එම දූෂණ කටයුතු නතර කර ජනතාවට පැය දෙකක් ඇතුළතදී රාජකාරි කටයුතු කර ගැනීමට පහසුකම් සපයා දුන්නා. ඒ විතරක් නොවේ මාසයකට රුපියල් 465,000.00ක් ගෙවා කුලියට ගෙන තිබූ කැබ් රථ පහක් ඉවත් කිරීමටත් කටයුතු කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ පස් මාෆියාවට එම භූමියෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා බලපත්‍ර අවිධිමත්ව ලබාදුන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේදී හෙලිකොප්ටර් ආදිය යොදාගෙන විහාරස්ථානවල උත්සවවලදී මල් ඉසීම වැනි කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදුකළ බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.” යනුවෙන් සභාපතිවරයා මෙහිදී පවසා තිබිණි.

සහාපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් අපට ගම්‍ය වන්නේ අනෙකුත් ඇතැම් රාජ්‍ය ආයතන තුළ මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශය තුළද දූෂණ වංචා රැසක් සිදුවී ඇති බවය.

පස් කඳු කපා ඉවත් කිරීමට බලපත්‍ර ලබා දීම, ගොඩනැඟිලි සෑදීමට අවසරය ලබාදීම, වැලි ප්‍රවාහනයට මෙන්ම ගොඩදැමීමට අවසරය ලබාදීම, ගල් කොරි පවත්වාගෙන යාමට අවසරය ලබාදීම ඇතුළු තවත් කාර්යයන් කිහිපයකම බලපත්‍ර ලබාදීම සිදුකෙරෙන්නේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගිනි.

කෙසේවෙතත් මීට පෙර අවස්ථා ගණනාවකදීම අප රටෙහි ප්‍රමිතියකින් තොර ගොඩනැඟිලි කඩා වැටීම්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ලබා  නීතිවිරෝධී ආකාරයට පවත්වාගෙන ගිය ගල් කොරි, පස් කඳු ඉවත් කිරීම් සහ වැලි ගොඩදැමීමේ ස්ථාන රැසක් පිළිබඳ තොරතුරු රටේ ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා විය.

එමෙන්ම මෙරටට පැමිණි දරුණුතම ස්වභාවික ව්‍යසනය වන සුනාමි අවස්ථාවේදී එම ව්‍යසනය ගැන අනතුරු ඇඟවීමට සහ ඒ පිළිබඳව සොයා බලා දැනුම්වත් කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කිසිවකු නොසිට ඇති බව එම කාලයේදී කතාබහට ලක්වූ කරුණක් විය.

සභාපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශය පිළිබඳව දේශය කළ විමසීමකදී එම කාර්යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ පසුගිය කාල වකවානුව තුළ නීතිවිරෝධී කටයුතු කිසිවක් භූ විද්‍යා හා පතල් කාර්යාංශය තුළ සිදු නොවූ බව හා බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි අයුරින් සිදු වූ බවය. එමෙන්ම නීතිවිරෝධී වැටලීම් ඒ ආකාරයෙන් සිදු කළ අතර කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ආයතනයේ කටයුතු සිදු වූ බවත් හෙතෙම කියා සිටියේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා  පසුගියදා සිදු කළ මෙම ප්‍රකාශයෙන් පසු විෂය භාර අමාත්‍ය  මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරියකු, පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයකු සහ අභ්‍යන්තර විගණන නිලධාරියකුගෙන් යුත්  ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ  සභාපති අනුර වල්පොල මහතා

“භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් වැඩ බාරගැනීමෙන් පසු මා වෙත අභියෝග රාශියක් පැමිණියා. විශේෂයෙන්ම මෙම ආයතනය පිළිබඳ මහජනතාව තුළ සුබවාදී ආකල්පයක් නැති තරම්. පසුගිය කාලයේ සිදු වූ අක්‍රමිකතා එයට හේතුවක් ලෙස දක්වන්න පුළුවන්. කොහොමත් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු මේ වෙනකොටත් කරගෙන යනවා. ඒ වගේම විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. මේ වෙනකොට ඒ දේවල් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. එහි නිර්දේශ ලැබුණට පස්සේ මේ අක්‍රමිකතාවලට සම්බන්ධ අයට විනයානුකුලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර

“භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අක්‍රමිකතා පිළිබඳව සභාපතිවරයා සිදු කළ ප්‍රකාශය මාධ්‍ය තුළ පළවීමත් සමඟම එහි කටයුතු ගැන සොයා බලන්න මේ වන විට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. ඒ වගේම මම පසුගිය අඟහරැවාදා එම කාර්යාංශයේ සංචාරයක නියැලී එහි කටයුතු පිළිබඳ සොයා බැලීමක් සිදු කළා. යම් අයකු දූෂණ වංචාවලට අනුබල ලබා දී තිබෙනවා නම් තරාතිරම නොබලා ඔවුන්ට දඬුවම් කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම පරිසරයට හානි කරන සහ නීතිවිරෝධී කැණීම් ඇතුළු ජාවාරම් සිදු කරන පුද්ගලයන් ගැන සොයා බලන්නත් අපි වෙනම කණ්ඩායමක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරිසර අමාත්‍යංශය සතුව තිබෙන අනෙකුත් ආයතනවලත් දූෂණ වංචා තිබෙනවා නම් ඒ පිළිබඳවත් අපිව දැනුවත් කරන්න කියා එම ආයතනවල ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02