තාක්ෂණය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. සන්නිවේදනය විශාල පරාසයක් දක්වා දියුණු වී ඇත. කොළඹ නගරයේ පහසුකම් ඇති බලප‍්‍රදේශ පස්වැනි පරම්පරාවේ රුහැන් රහිත සන්නිවේදනය සහිතය. කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල විශාල සන්නිවේදන පහසුකම් සහිත නමුත් ප‍්‍රධාන නගරවලින් බැහැර තත්ත්වය එපමණ යහපත් නැත. දුරකතන ඇමැතුමකදී පවා සංඥා දුර්වලය. අන්තර් ජාල පහසුකම් ප‍්‍රමාණවත් නැත. ඇමැතුමක් ලැබෙන විට සංඥා ඇති තැන් බලමින් තැනින් තැන ඇවිදින්නට සිදුවී ඇති ජන කොටස් බහුලය. දැනට ඇති පහසුකම් දශකයකට දෙකකට වඩා ඉතා යහපත් තැනකය. එහෙත් මෙරට දුරකතන සන්නිවේදනයේ අවස්ථා තව දුරටත් පුළුල් විය යුතුය.
මෑතකදී අනාවරණය කරන ලද තොරතුරු අනුව විදුලිය සංදේශ නියාමන කොමිසම පාරිභෝගික අයිතිය ගැන තවත් දුරට ක‍්‍රියා කරමින් සිටී. තවත් හය මාසයක් හෝ අවුරුද්දක් ඇතුළත ජංගම දුරකතන පාරිභෝගිකයකුට තම සැපයුම ගැන අතෘප්තිමත්නම් වෙනත් ජාලයකට මාරු විය හැකිය. දැනට කරගෙන යන ක‍්‍රමය අනුව අලුත් සිම් කාඩ් පතක් මිල දී ගෙන අලුත් අංකයකට මාරු විය යුතුව තිබේ. එහෙත් ෆයිනෑන්ෂල් ටයිස්ම් දිනපතා පුවත්පත අනාවරණය කරන ලද පරිදි අංකය වෙනස් නොකර දුරකතන ජාලයෙන් වෙනස් විය හැකි වනු ඇත.
තාක්ෂණයේ පහසුව ජන ජීවිතයේ වාසියට
දුරකතන සම්බන්ධතාවයක් මිල දී ගැනීමට බලපාන ප‍්‍රධාන හේතුවක් තිබේ. ඒ සිය සන්නිවේදන සම්බන්ධතා පවත්වා ගැනීමය. බාධාවකින් තොරව ඉක්මනින් ලෝකයේ ඕනෑම තැනකට කතා කළ හැකි නම් එය විශේෂ පහසුවකි. අය කරන ගාස්තුව සම්බන්ධයෙන් ද වාසි තිබිය යුතුය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වශයෙන් ජංගම දුරකතන සේවා සම්පාදන ආයතන හතරක් තිබේ. ශ‍්‍රී ලංකා ටෙලිකොම් එයට අමතරවය. මෙම ජංගම දුරකතන සමාගම් අතර එකිනෙකට වෙනස් පැකේජ සෑහෙන ප‍්‍රමාණයක් ඇත. මේවා ඉතා වාසිදායක බවට ප්‍රචාරය කරන නමුත් භාවිත කරන විට ලැබෙන බිල්පත දරාගත නොහැකිය. නොයෙක් හේතු මත ගාස්තු පැනවෙයි. රජයේ බදු සෑහෙන කොටසක් වන අතර දිවා, රාත‍්‍රී කාල අනුව ගාස්තු වෙනස් වන අතර ඒවායේ අය කිරීම් ඉතා සංකීර්ණ බැවින් පරිහරණය කරන අයවලුන් නොදැනුවත්වම අමතර බිල් ගෙවන බව නොරහසකි. කාර්යබහුල නොවන අවස්ථාවලදී සෑහෙන වාසි අත්පත් වන බව දක්වන අතර එසේ නමුත් සෑම දුරකතන පාරිභෝගිකයකුම මාසය අවසාන වනවිටද එම පහසුකම්වලින් අඩක් හෝ ප‍්‍රයෝජනයට ගෙන නැත. නොදැනුවත්වම එම අතිරේක ගුවන් කාලය අපතේ යයි.
තමන් භාවිතා කරන දුරකතන ජාලය ගැන අසතුටක් තිබෙන පාරිභෝගිකයකුට එකවර වෙනත් ජාලයකට මාරු විය නොහැකි කාරණයක් තිබේ. ඔහුගේ දුරකතන අංකය වෙනස් වීමය. සමාගමකින් සමාගමකට අංකය වෙනස් වනවිට එය සම්බන්ධතා නතරවන තැනට පත්වන බාධකයකි. අලුත් දුරකතන අංකය නොදැනුවුවහොත් පැරණි සම්බන්ධතා නතර වෙයි. අලුත් අංකය ප‍්‍රසිද්ධ කරන පියවරක් නොගතහොත් සෑහෙන අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවෙයි. අලුත් යෝජනාව අනුව සැපයුම් සමාගම වෙනස් කරන නමුත් අංකය වෙනස් නොකෙරේ. දැනට සියලු සමාගම් මෙම යෝජනාවට එකඟ වී ඇති බව හෙළිදරව් වන කරැණකි. එවැනි පරිවර්තනයක් සිදුවුවහොත් ජංගම දුරකතන පාරිභෝගිකයන්ට විශාල වාසියක් අත්වනු නිසැකය.
තරගකාරීත්වය තුළින් සමාගම්වලට දිනාගත හැකි ග‍්‍රාහකයෝ
ශ‍්‍රී ලංකාවේ ජනගහනයට වඩා දුරකතන සම්බන්ධතා ඇති බව නියාමන කොමිසමේ වාර්තා දක්වයි. එක පුද්ගලයෙකු දුරකතන දෙක තුනක් භාවිත කිරීම එයට හේතුවකි. එක දුරකතනයකින් කොළඹ කතාකරන ග‍්‍රාහකයන් පිට පළාත්වලට ඇමතුම් ගන්නේ වෙනත් එකකින්ය. පළාත් අනුව සංඥා දුර්වල වනවිට වෙනත් වෙනත් දුරකථනවලින් කතා කරන්නට සිදුවෙයි. දත්ත සම්පේ‍්‍රෂණයේ දුබලතා හෙයින් සමහර අවස්ථාවල දුරකතන ජාල දෙක තුනක් මිල දී ගන්නට සිදුවී ඇත. මේවායෙන් සිදුවන අකාර්යක්ෂමතාව ගණන් බලන්නට අපහසුය. ග‍්‍රාහකයන් දරන වියදම සෑහෙන හිරිහැරයකි. දුරකථනවල ස්ථාවර ගාස්තු පදනම හෙයින් භාවිතා කරන හෝ නොකරන ඕනෑම කාල සීමාවකට මිලක් ගෙවීම අනිවාර්ය කාරණයකි. තමන්ට අවශ්‍ය නැති ජාලයකින් නිදහස්ව තවත් ජාලයකට සම්බන්ධ වනවිට සිදුවන හිරිහැර අවම කරගැනීමට හැකිවීම අනාගතයේදී ලැබෙන අලුත් අවස්ථාවකි.
මෙම පදනම අනුව සමාගම් අතර තරගකාරීත්වයක් ද ඇතිවිය හැකිය. ස්ථිර පාරිභෝගික ජාලයක් වෙනුවට පාවෙන පාරිභෝගික පිරිසක් හැඩගැසෙන අතර එය එක අතකට සමාගමකට අවදානමක් වන අතර අනෙක් අතට තම පාරිභෝගික පිරිස ආරක්ෂා කරගන්නට දරන ප‍්‍රයත්නය නිසා අමතර අවස්ථා ලැබෙන්නට ඉඩ තිබේ. එකම අංකය පුද්ගල හා ව්‍යාපාරික කටයුතුවලට පහසුවක් වන අතර ලෝකයේ වේගයෙන් දියුණු වන තොරතුරු හුවමාරුව වෙනුවෙන් පවතින තවත් බාධාවක් තුරන් වනු ඇත. සමහරවිට මෙවැනි එකම අංකයක් වෙනුවෙන් අමතර ගාස්තු අය කරන්නට ඉඩ තිබේ. නියාමන කොමිසම කල්තබා එවැනි පැති ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. සමාගමකින් සමාගමකට අංකය මාරැ කරන අවස්ථාවේදී කොන්දේසි, ගාස්තු හා බදු පැනවුවහොත් එය අවාසියකි.
ශ‍්‍රී ලංකාවේ සන්නිවේදන කටයුතු වෙනුවෙන් ආයෝජනය පහසු නැත. රජය සෑහෙන බදු අය කරයි. දැනට දුරකථන කුලුණු මත පවා බද්දක් පනවා තිබේ. සමාගම්වලට එම බදු පනවන නමුත් අන්තිමේදී එහි බර දරන්නේ පාරිභෝගිකයන් බව අමතක කළ යුතු නැත.
පස්වන පරම්පරාවට ඇතුළු වන ප‍්‍රයත්නයේදී අලුත් මුහුණුවර
ශ‍්‍රී ලංකාව පස්වැනි පරම්පරාවේ තොරතුරු තාක්ෂණ යුගය එළිපත්තේ සිටී. චීනයේ හුවාවේ සමාගම රටට පැමිණ ඇත. හුවාවේ ආයතනය පස්වැනි පරම්පරාවේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් ලෝක ප‍්‍රකට අතර නොබෝදා බ්‍රිතාන්‍යයට පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය සැපයුම සඳහා වන කොන්ත්‍රාත්තුව දිනා ගත්තේය. අත්හදා බැලීමේ මට්ටමින් 2018 අග භාගයේ සිට පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය ශ‍්‍රී ලංකාවේ භාවිතා කර තිබේ. විවිධ සමාගම් එය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇත. එහෙත් දේශය පුරා එම සන්නිවේදන අවශ්‍යතා සැපයීම පහසු කාර්යයක් නොවේ. මෙරට තොරතුරු අනුව පළමු පරම්පරාවේ ජංගම දුරකථන සන්නිවේදනය ඇරඹෙන්නේ 1981 වසරේදීය. හතරවැනි පරම්පරාව 2008 වසරේ ඇරඹී ඇති බව දක්වයි. පස්වැනි පරම්පරාව සම්පූර්ණයෙන්ම තොරතුරු තාක්ෂණය ඉක්මවා ගිය එකකි. එමගින් රොබෝ තාක්ෂණය බලගැන්වෙයි. යන්ත‍්‍ර අතර සන්නිවේදනයට දොරටු විවෘත කරයි. අප ගමන් කළ යුතු මෙම යුගය වෙනුවෙන් බව මතක තබාගත යුතු කරුණකි. එහෙත් එයට ආයෝජනය කළ යුතු ධනය විශාලය. ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට එම ආයෝජනයෙන් අත්පත් කරගත හැකි ආර්ථික වාසිය ප‍්‍රබල නැති බව ද සඳහන් කරන්නට අවශ්‍යය. ආයතන දෙක තුනක් රොබෝ තාක්ෂණය භාවිතා කරන සන්නිවේදනයක් කරන විට එය සඳහා දුරකථන සමාගම් කරන වියදම අසාමාන්‍ය එකක් වනු ඇත. කලාපයක් වශයෙන් සලකා පුළුල් අර්ථයකින් සන්නිවේදනය කිරීමේදී පස්වැනි පරම්පරාවේ සබඳතා වැදගත් විය හැකිය.
මාරු විය හැකි අවස්ථා වෙළෙඳපොළ පමණක් නොවේ
දුරකථන අංකවල පොදු භාවයක් ඇති කිරීමේ අවස්ථාව වටිනා අතර එය හුදෙක් පාරිභෝගික දෘෂ්ඨි කෝණයකින් සැලකීම ප‍්‍රමාණවත් නැත. දැනට රට තුළ සිදුවන අපරාධ සහ සන්නද්ධ කල්ලිවල මෙහෙයුම් සලකන විට සන්නිවේදනය භාවිතා කර තිබේ. සෑම කල්ලියක්ම සිය ප‍්‍රබල ආයුධය බවට හරවා ගෙන ඇත්තේ සන්නිවේදනයයි. එයට සමාන්තරව ආරක්ෂක අංශ ද ඉදිරියට පැමිණ තිබේ. මෑත කාලය තුළ විසඳන ලද අපරාධවල සුල මුල සොයා ගැනීමේදී ජාල ගත පරීක්ෂා ඉතා වැදගත් විය. එහිදී අපරාධ කල්ලි භාවිතා කරන ලද සිම්කාඩ් සහ ඒවායෙන් ගත් ඇමතුම් හුවමාරු වූ ආකාරය සූක්ෂමව සොයා ගන්නට හැකි වී තිබේ. දුරකථන කුලුනු සම්බන්ධතා ඔස්සේ අපරාධකරුවන්ගේ ගමන් මාර්ග පවා සොයාගන්නට හැකි වී ඇත. මෑතකදී කොවිඩ් - 19 වෛරසය බෝ වූ බවට සැක කරන පුද්ගලයන් සොයා ගන්නට බුද්ධි අංශ සමත් වූ අතර වැඩිපුරම හැකියාව ලැබුණේ දුරකථන භාවිතය මගින් බව දැක්විය හැකිය.
මෑතකදී විදුලිය සංදේශ නියාමන කොමිසම ඉමි අංක භාවිතය දියුණු කළ අතර පොලීසියට පැමිණිලි කිරීමෙන් නැති වූ දුරකතන සොයා ගැනීමට හැකි ක‍්‍රමවේද ද දියුණු කළේය. දැන් සියලුම දුරකථන භාවිත කරන පිරිස තමන්ගේ හැඳුනුම්පත් සමඟ ලියාපදිංචි විය යුතුය. එමගින් කාර්ය ඉතා පහසු වෙයි. භාවිත කරන පුද්ගලයා හඳුනාගැනීමට ඉඩ ලැබේ. අනාගතයේ දී එක අංකයක් හා එක හැඳුනුම්පතක් භාවිත වනවිට ශ‍්‍රී ලංකාව තාක්ෂණිකව අගුලක් සවි කරන තැනට පත්විය හැකිය.
අපරාධකරුවන්ට අවහිර වන අතර රහස්‍යභාවය ගැන ද ගැටලු මතුවෙන්නට ඉඩ තිබේ. මේවා නෙයෙක් පැතිවලින් සලකා බලා තීරණ ගත යුතු අතර වාසි හා අවාසි යන දෙපැත්තම තිබේ. දියුණු වන රටක් වශයෙන් තාක්ෂණයේ භාවිතය හා ස්මාට් සමාජය යන අවකාශය ඉතා වැදගත්ය.
ගාමිණී සරත් ගොඩකන්ද