2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

කුඩු සමඟ හසුවූ රස පරීක්ෂක සේවකයාගේ කෙරුවාව

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

රාජ්‍ය ආයතන නිලධාරීන් පිළිබඳව ජනතාව තුළ පැවතියේ ප්‍රසාදය සහිත පිළිගැනීමකි. අල්ලස් ගැනීම ජාවාරම් සිදුකිරීම හා ඒවාට අනුබල දීම හේතු කොටගෙන නීතියේ රැහැනට කොටු වූ රාජ්‍ය නිලධාරීන්ගේ කෙරුවාව නිසා සමස්ත රාජ්‍ය සේවය පිළිබඳව ජනතාවගේ විශ්වාසය පළුදු වී ගියේය. පසුගිය ආණ්ඩු සටනේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් වන ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියෙක් හා හිටපු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති මෙන්ම ජාතික පශු සම්පත් මණ්ඩල සභාපති සහ ආගමන විගමන පාලකවරයා අල්ලස් ගැනීමේදී කොටු වීම නිසා රාජ්‍ය සේවයේ කෙරුවාව ජනතාව හමුවේ දියාරුව ගියේය.

මත්ද්‍රව්‍ය පාතාල ක්‍රියාකාරකම් ඇතුළු නීති විරෝධී ජාවාරම් පසුපස ප්‍රබල දේශපාලනඥයන්ගේ බලපෑමක් තිබෙන බව කාලයක පටන් පවතින කතාවකි. ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් එවැනි ප්‍රබලයන් වෙත කෙළින්ම චෝදනා එල්ල කෙරුණද සිදු වූ විමර්ශනයක් හෝ ක්‍රියාත්මක වූ නීතියක් නැත.

එවැනිම වටපිටාවක් පවතින ඉකුත් දිනකදී අතුරුගිරිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාට හිතවත් ඔත්තුකරුවකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකි.

“අතුරුගිරිය මොරටුවාහේන හරහා උදේට හවසට බයික් එකක් යනවා. මේක පදින්නේ වැඩි වයසක් නැති කොල්ලෙක්. කොළඹ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කරන මෙයා කුලියට ඉන්න කෙනෙක්. මිනිහා යන එනගමන් හෙරොයින් ජාවාරම කරනවා”

පොලිස් පරීක්ෂකවරයාට මෙකී තොරතුර ලැබී තිබුණේ පසුගිය 16 වැනිදා පෙරවරුවේය. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ නිලධාරියා තොරතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතාට දන්වා වැටලීමට අවශ්‍ය උපදෙස් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලබාගෙන තිබුණි. අනතුරුව වැටලීමට සහභාගී නිලධාරීහු වෑන් රථයක් යොදාගෙන එදින පස්වරුවේ අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියක නිරතන සිට ඇත. ඒ අතර නිරීක්ෂණය වී තිබුණේ සැක සහිත යතුරුපැදිය අදාළ ප්‍රදේශය හරහා ධාවනය වන බවකි.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන් රැගත් වෑන් රථය විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගය හරස් කොට නවත්වා තිබුණේ වේගයෙන් ධාවනය කෙරෙන යතුරුපැදිය පෙනි පෙනී එහි මාර්ගය අවහිර කරමිනි. එසැණින් හදිසි සෝදිසියකට ලක්කෙරුණු සැකකරුගේ කලිසම් සාක්කුවේ සූක්ෂමව අසුරන ලද පාර්සලයක් හමුවී ඇත. දුටු සැණින් එය හෙරොයින් බව හඳුනාගන්නට අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් සමත්ව ඒ මොහොතේම සැකකාර තරුණයා සමඟ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.

ඔත්තුකරුගේ තොරතුර සනාථවීමත් සමඟ සැකකරුගේ ජාතික හැඳුනුම්පත්‍රය සමඟ සේවා හැඳුනුම්පත්‍රය පරික්ෂාවට ලක්කෙරුණු අතර එහි සඳහන්ව තිබුණේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන බවය. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකාර තරුණයා මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයකු බවද හඳුනා ගැනිණි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සහායකයකු වශයෙන් සේවය කරන ඔහු එම දෙපාර්තමේන්තුව බාරයේ පවත්නා හෙරොයින්වලින් සොරාගන්නා ලද හෙරොයින් අලෙවි කරන බවත් සිය හිතවතකු වෙත ලබා දී ඔහු මාර්ගයෙන් අලෙවි කරන බවද හෙළිකර ඇත. කෙසේ වෙතත් සැකකාර සන්තකයා සතුව ඒ මොහොතේ පැවති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 18 මිලිග්‍රෑම් 730කි.

සැකකරු හෙළිකළ තොරතුරු අනුව ඔහුගෙන් හෙරොයින් ලබාගෙන අලෙවි කරන අනෙක් සැකකරු කොටු කර ගැනීමේ මෙහෙයුම පසුදින පෙරවරුවේ ක්‍රියාත්මක කොට තිබිණ. එහිදී ලබාගත් තොරතුරු අනුව නිලධාරීහු බියගම පේරගස්හන්දිය ආසන්නයේ රැඳී සිටිමින් සැකකාර යතුරුපැදියක නැගී ආ තරුණ යුවළක් අත්අඩංගුවට ගෙන ඇත. තරුණිය සැකකරුගේ පෙම්වතිය බව කියන තැනැත්තියකි. ඇය තරුණයා සමඟ පේරගස් හන්දිය ආසන්නයේ කුලී කාමරයක නැවතී සිටිමින් රැකියාවේ නිරතව ඇති අතර මෙම සැකකරු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින්නෙකි. එම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය හුරු වී සිටි අයකු බව අනාවරණය වී තිබෙන අතර ඔහුගේ පෙම්වතිය මොහු කුඩු ජාවාරමේ නිරත වන්නකු බවට දැනසිට ඇත. මොහු සතුව හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 600ක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 160ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයාට හෙරොයින් ඇතුළු මත්කුඩු පළමු සැකකරැගෙන් ලැබෙන අතර මොහු ඒවා තවත් පුද්ගලයන් 20 දෙනකුට පමණ අලෙවි කර තිබෙන බව හෙළිකර ඇත.

එම සැකකරුගේ අනාවරණය කිරීම් හමුවේ තවත් පුද්ගලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරැවෙකි. ඔහු සන්තකයේ තිබියදී හෙරොයින් ග්‍රෑම් 5ක් සොයාගෙන තිබිණ. ඊට අමතරව ඔවුන් සතුව පැවති යතුරුපැදි දෙකක්ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්ව ඇත.

අත්අඩංගුවට පත් පළමු සැකකරු වසර එකහමාරක් පමණ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට ඇත. දෙවැනි සැකකරු 2015 වසරේ සිට එම දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවකයකු ලෙස සේවය කරමින් සිට ඇත.

මෙහි පළමු සැකකරු රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණාගාරයට අයත් එක් අංශයක සේවය කර ඇත. එහෙත් අවශ්‍ය සේවකයන්ගේ හිඟය හා නියමිත සේවකයකුගේ නිවාඩු දිනයකදී මොහු එහි සේවයට කැඳවා ගැනීමට ඉහළ නිලධාරීන් පියවර ගෙන ඇත. ඒ ආකාරය දින කිහිපයක් එම ස්ථානයේ සේවය කර තිබෙන සැකකරු රහසේ එහි තිබූ හෙරොයින් සොරාගෙන ඇත.

මේ ආකාරයට සැකකරු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබූ හෙරොයින් සොරා නොගත් බවත් එවැනි අවස්ථාවක් නැති බවත් සෑම ස්ථානයකම රහසිගත කැමරා සවිකර ඇති හෙයින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් කියමින් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ප්‍රකාශ කළේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමටය.

එම ආයතනයේ ඉහළ නිලධාරීන් එකී චෝදනාවෙන් මිදීමට තර්ක ගොඩ නගද්දී අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ “මම වගේ අය ගැන විතරක් හොයන්න එපා. කුඹුක් ලෑලි බිමට දාලා තට්ටු ගෙවල් හදපු එතන වැඩ කරන අනිත් අය ගැනත් හොයන්න. එයාලගේ පඩියෙන් කොහොමද එහෙම කරන්නෙ කියලා.” යනුවෙනි. මේ කතාව තවත් ජාවාරම් රැසක කරුණු හෙළි කරන තෝතැන්නක් බැවින් ඉදිරි විමර්ශන නියමාකාරයෙන් සිදු කරන්නේනම් තවත් දූෂිත නිලධාරීන් හා සේවකයන් රැසකගේ කෙරුවාව හෙළිවනු නියතය.

කුඩු ජාවාරමට අනුබල දෙමින් එහි නිරත වීම සම්බන්ධයෙන් පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සුරාබදු දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රේගුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් මෙන්ම ජාතික රෝහලේ හා රාගම ශික්ෂණ රෝහලේ සේවකයන් සිය රාජකාරි හැඳුනුම්පතට හා නිල ඇඳුමට මුවා වී කුඩා ජාවාරමේ නිරත වූ බව අනාවරණය වී තිබේ. අවස්ථා ගණනාවකදී වාර්තා වූ මේ සිදුවීම් හරහා රජයේ සේවයේ නියුතු ඇතැම් ප්‍රධාන පෙළේ නිලධාරීහු හා සුළු සේවකයන් පවා මත්කුඩු ජාවාරමේ කොටස්කරැවන් වී සිටින බව හෙළිව තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02