මහ මැතිවරණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ නව අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරු පසුගිය දිනවල තම අමාත්‍යංශවලට ගොස් වැඩ භාර ගත්හ. මෙවර පත්වීම් ලැබූ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රමාණය තරමක් ඉහළ ගොස් තිබුණ ද, සෑම රාජ්‍ය අමාත්‍යවරයකුටම නිශ්චිත කාර්යභාරයක් පැවරී ඇත. ඇතැම් රාජ්‍ය අමාත්‍යවරැන් වෙත අනු විෂය ගණනාවක් පැවරී තිබේ. රටේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන අයුරින් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර තිබීම විශේෂත්වයකි.
දෙවැනි වරටත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් දියවන්නාවට තේරීපත් වූ ප්‍රසන්න රණවීර මහතාට ද මෙවර කැබිනට්ටුවේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමි විය. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය ඒ මහතාට හිමි වූ අතර අමාත්‍ය මණ්ඩලය තේරීමෙන් පසු එම අමාත්‍යංශය පිළිබඳ විවිධ අදහස් මෙන්ම රස කතා ද සමාජජාලා තුළ නිරතුරුවම දක්නට ලැබිණි.
දේශීය කර්මාන්ත නැංවීමත්, එය අන්තර්ජාතික තලයට ඔසවා තැබීමත් අරමුණු කර ගනිමින් සිය ඉදිරි වැඩපිළිවෙළ සකසන බව රාජ්‍ය අමාත්‍යවරයා සිය වැඩ බාරගැනීමේදී පැවසීය.
ඉතාම කුඩා තැනකින් දේශපාලන දිවිය ආරම්භ කර අද දින මට ලැබුණු අමාත්‍යංශය සම්බන්ධයෙන් ඉතාම සතුටු වෙනවා. මට හැකි උපරිම අයුරින් ජනතාවට සේවය කරනවා. පාරම්පරික සාම්ප්‍රදායික දේශීය කර්මාන්තය නංවාලීමට මෙන්ම එහි ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමටත්, එය ශක්තිමත් කිරීමටත්, නව නිපැයුම් හඳුන්වා දෙමින් දේශීය ආර්ථිකයට නව වටිනාකමක් එකතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරැන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යථාර්ථයක් කර ගැනීමට කැපවෙනවා. මට මේ ලැබුණු වගකීම සහ කාර්යභාරය නොපිරිහෙළා රට වෙනුවෙන් ඉටු කරනවා. අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ විශ්වාසය රකිනවා. මගේ විෂය පථය වෙන්නේ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයයි. ඊට අමතරව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ වගකීම ලබා දී තිබෙනවා. අනිකුත් සියලුම අංශවල ප්‍රවර්ධනයට අවශ්‍ය දෑ සිදු කරනවා. අපට ඒ අරමුණු කරා යන්න ඒ ඒ ක්ෂේත්‍රවල නිලධාරීවරුන් උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මා මේ කටයුතු අධ්‍යයනය කරමින් ඉන්නවා. දේශීයව නිෂ්පාදනය කළ හැකි දේ ආනයනය කිරීම දේශීය කර්මාන්තකරැවන්ට ගැටලුවක්. ඒත් එකපාරටම ආනයනය නවත්වන එක නෙවෙයි කළ යුත්තේ. අපේ නිෂ්පාදනය වැඩි කර, ඒවාට අවශ්‍ය කරන පහසුකම් සපයා ඒවාට අවශ්‍ය පිළියම් යොදන්න ඕනෑ. ඒවා කරන්න අවශ්‍ය හැඟීම සහ උනන්දුව අපට තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ආමාත්‍යංශය තුළින් මෙරට සිටින බොහෝ දේශීය නිපැයුම්කරුවන්ට ඉදිරියේදී සිය භාණ්ඩ අලෙවි කර ගැනීමට ඉඩක් ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කර තිබේ.
රාජ්‍ය ඇමැතිවරයාගේ විෂය පිළිබඳ නිරතුරුවම සමාජජාලා තුළ හුවමාරු වන අදහස් පිළිබඳව අමාත්‍යවරයා තුළ ඇත්තේ මෙවැනි ආකල්පයකි.
සමාජජාලා තුළ හුවමාරු වන අදහස් සහ පොස්ට් මම දැක්කා. නමුත් මම ඒවා පිටුපස යන්නේ නැහැ. මට හම්බවෙලා තියෙන අමාත්‍යංශය යටතේ වැඩක් කරලා ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳන එක තමයි මගේ බලාපොරොත්තුව. මගේ අමාත්‍යංශය තියෙන්නේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ. මම ඒක අපේ ගම පරිශ්‍රයට ගෙනියන්න කියලා යෝජනා කරලා තියෙනවා. මෙම කාර්යාලයට ගෙවන කුලියෙන් මාසයකට ස්වයංරැකියා 80ක් විතර ලබා දෙන්න පුළුවන්. ජනතාවට වැඩ කරන්න සුඛෝපභෝගී කාර්යාල අවශ්‍ය වෙන්නේ නැහැ.
පසුගිය දිනක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා මැටි කර්මාන්තය පිළිබඳ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබූ අතර ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා හැරෙන තැපෑලෙන්ම ඔහුගෙන් මැටි කර්මාන්තයේ උන්නතිය සඳහා කළයුත්ත පිළිබඳ දුරකතනය මගින් විමසා තිබීම සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතාබහට ලක් වී තිබිණි.
“දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නිලධාරීන් නිර්මාණශීලීව ක්‍රියා කිරීම අවශ්‍යතාවකි. බිම් මට්ටමේ ගැටලු කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුයි. රජය ගන්නා තීරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක වන්නේදැයි පසුවිපරම අත්‍යවශ්‍ය සාධකයක් වේ. දිගුකාලීනව නිසි අවධානයට ලක් නොවූ පාරම්පරික කර්මාන්ත සංවර්ධනය සැලසුම්සහගතව කළ යුතු කාර්යයකි. එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යංශ ව්‍යුහය සකස් කළේ ද එබැවිනි.
රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා සාම්ප්‍රදායික කර්මාන්තකරුවෝ කනස්සල්ලෙන් පසු වූහ. පසුගිය මැතිවරණ සමයේ රට පුරා කළ චාරිකාවේ දී එය පැහැදිලිව අනාවරණය වූ අතර වේවැල්, පිත්තල, මැටි සහ ලී බඩු ක්ෂේත්‍ර ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පුළුල්ව සාකච්ඡා කෙරිණ. ගැටලු විසඳමින් කර්මාන්ත නගා සිටුවීමට කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කොට ඒවා නිරතුරුව පසුවිපරමට ලක් කළ යුතුය. මැටි ප්‍රවාහනයේ දී සහ මැටි ලබාගැනීමේදී කර්මාන්තකරැවන් මුහුණ දී ඇති ගැටලු සොයා බැලීමටත්, දැනට වසා දමා ඇති මැටි ආශ්‍රිත නිෂ්පාදන ආයතන නැවත විවෘත කිරීමටත් මම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නෙමි.
සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කම ගැන පාසල් අවධියේ සිට දරුවන්ට අවබෝධයක් දිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන සඳහා ද සාම්ප්‍රදායික කර්මාන්ත සුදුසු මාතෘකාවකි. එමගින් කර්මාන්තයේ උන්නතියට විශාල දායකත්වයක් දීමට පිළිවන. එමෙන්ම දේශීය කර්මාන්ත නගාසිටුවීමේ දී පළාත් අමාත්‍යංශ, රේඛීය අමාත්‍යංශ සමඟ මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත්, ක්ෂේත්‍රයට තරැණ පරපුර ආකර්ශනය කර ගැනීමේ අවශ්‍යතාවත් තිබේ. සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට වෘත්තීය වටිනාකමක් ලබාදීම විෂය භාර අමාත්‍යංශවල වගකීමය. කෘෂිකාර්මික අගයක් නැති වගුරුබිම්, වේවැල් වැනි කර්මාන්ත ක්ෂේත්‍රයේ වගාවන් සදහා භාවිත කිරීමට පිළිවන. හඳුන්කූරු නිෂ්පාදනයට යොදාගන්නා බම්බු කූරූ ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරෙයි. ඒවා අප රටේදීම නිෂ්පාදනය කිරීමෙන් පිටරටට ඇදී යන මුදල ඉතිරි කර ගැනීමට මැදිහත් වන්නැයි ද මම කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුනිමි. යනුවෙන් ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
සටහන: හසිත් අංජන
සේයාරුව / සුමුදු හේවාපතිරණ