2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

මල්ලිලා ඉස්කෝලෙ යවන්න මුහුදු ගිය ෂෙහාන්ට වෙච්ච දේ

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

“අම්මේ.. මට මාසයක් විතරනෙ මුහුදෙ ඉන්න වෙන්නේ. අනික තව මාමලා හතර දෙනකුත් ඉන්නවා. ගිහින් ආවාම මල්ලිලාගේ ඉස්කෝලෙ බඩු ටික ගන්නත් පුළුවන්. ලොකු මල්ලිට බයිසිකලයක් අරන් දෙන්නත් පුළුවන්. බය වෙන්න එපා අම්මේ... මම ගිහින් එන්නම්. මට කරදරයක් වුණොත් අර මාමලා ඉන්නවානේ මාව බලාගන්න.”

“එහෙම කියලා මුහුදු රස්සාවට ගිය මගේ ළමයාට තමයි දස වධ දීලා තියෙන්නේ.” යැයි මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් දස වධ විඳි බාල වයස්කාර දරුවාගේ මව වූ චන්දිමා ප්‍රියදර්ශනී පැවසුවාය.

ෂෙහාන් ප්‍රමෝද් තවමත් 17 හැවිරිදි වියේ පසුවන දරුවෙකි. ඉගෙනීමට කොතරම් ආශාවක් ඇතත් තල්අරඹ ඉන්ද්‍රසාර විද්‍යාලයෙන් 9 වැනි ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ ඔහු පාසල් ගමන නතර කොට දැමුවේ ගෙදර ඇති ආර්ථික අපහසුතා නිසාය. ෂෙහාන්ට බාල සහෝදරයන් දෙදෙනකුත් සහෝදරියන් දෙදෙනකුත් සිටියදී තිබෙන වියහියදම් මැද දරුවන් පස්දෙනකුට පාසල් අධ්‍යාපනය ලබා දීමට තරම් හයියක් ෂෙහාන්ගේ පියාට නොවීය. හරිහමන් ආදායමක් නැතිව ලැබෙන කුලී වැඩකින් එදිනෙදා හොයාගන්නා ආදායම ජීවත් වීමට ප්‍රමාණවත් වූයේ ද නැත. ඒ ආදරණීය පියාටත් සොයුරු සොයුරියන් සිව් දෙනාටත් මවටත් හොඳින් ජීවත් වීමට පරිසරය සැකසීම සඳහා 17 හැවිරිදි ෂෙහාන් මුහුදු රස්සාවට යාමට තීරණය කොට තිබිණි.

සිය ආදරණීය පවුල සම්බන්ධව වූ දැඩි ආදර හැඟීම හේතුවෙන් ධීවර කර්මාන්තයට පිවිසි මෙම බාල වයස්කාර දරුවාට අමානුෂික ලෙස පහර දෙමින් දෙසතියක් පමණ කුසගින්නේ තැබීමට තැත් කිරීමට ක්‍රියා කර තිබුණේ ඔහු මුහුදු ගිය බහුදින යාත්‍රාවේ සෙසු සාමාජික පිරිසකි.

බාල වයස්කරුවකු වුවද රැකියාවට යාමේ දැඩි ආශාව නිසා තමාගේ වයසට වැඩි වයසක් පෙන්වා රැකියාවට ගිය හෙතෙම ඉකුත් ජූනි 8 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් ඇත. එදා පටන් දින පහක් පමණ මුහුදේ රැඳී සිට දැල් එළමින් මාළු අල්ලන අතරතුර තරමක් විශාල බල මාළුවකු පිරිසේ දැලට පැටලී ඇතත් බෝට්ටුවට ඇදගැනීමට නොහැකි වී ඇත්තේ මෙම දරුවාගේ අතපසු වීමක් හේතුවෙනි. එහිදී කෝපයට පත් සෙසු ධීවරයන් දරුවාට පහර දී ඇත. දැඩි ලෙස පහර කෑමෙන් ශරීරයේ තුවාල ඇතිවූ තමා නිරාහාරව තැබීමට ද මෙම ධීවරයන් සිව්දෙනා ක්‍රියා කළ බවද එම දරුවා පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. 

කුසගින්න ඉවසා ගැනීමට අපහසු වූ නිසා බෝට්ටුවේ තිබූ බිස්කට් පැකට්ටුවක් රැගෙන ආහාරයට ගැනීමට සූදානම් වූ මොහොතේ කෝපයට පත් ධීවරයන් නැවත දරුවාට පහර දී ඇතැයි පැවසේ. එහිදී මැටි බඳුනකින් තම හිසට පහර දුන් බවද හිස, අත්පා හා පිට ඇතුළු ස්ථාන රැසක තුවාල පහරකෑම නිසා වූ ඒවා බවද දරුවා පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මිරිස්ස ප්‍රදේශයේ පදිංචි මොහු මව්පියන්ට දන්වා මෙසේ ධීවර රැකියාවට ගිය දෙවැනි අවස්ථාව මෙය බවද වාර්තා වේ. මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය දරුවාගේ මව වන චන්දිමා ප්‍රියදර්ශනී මහත්මිය සිදුවීම මෙසේ විස්තර කළාය.

“දරුවො පස්දෙනා එක්ක පවුලේ හත්දෙනෙක් ඉන්නවා. ජීවත්වෙන්න ආදායමකුත් නෑ. ලොකු දරුවා කැමැත්තෙන්මයි මුහුදු රස්සාවට ගියේ. ඊට කලිනුත් ටික දවසකට ගිහින් ආවා. මේ පාර තමයි දරුවට මේ වධ දීලා තියෙන්නේ. කන්නවත් හරියට දීලා නෑ. කනවා වැඩියි කියලා දරුවාගේ කට දෙපැත්ත ඇදලා. එක එක ආයුධවලිනුත් දරුවාට ගහලා තියෙනවා. අන්තිමට දරුවාට ගෙදර එන්න බැරිවුණා. එයාට නැගිටගන්නත් බැරුවයි ඉන්නේ. මහත්තයාටත් අසනීප නිසා රස්සාවක් කරගන්න අමාරුයි.”
මෙම සිදුවීම අනාවරණය වීමත් සමඟ කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ පිළිබඳ අදහස් දැක්වීය.

“මාධ්‍ය ඔස්සේ මේ සිදුවීම වාර්තා කළා. අපිත් තොරතුරු දැනගත්තා. දරුවා බැලීම සඳහා රෝහලටත් ගියා. පවුලේ ආර්ථිකය හා දරිද්‍රතාවය පිළිබඳව කරුණු අනාවරණය වුණා. අනිත් එක තමයි දරුවා රැකියාවට යොමුවෙලා තියෙන්නේ වයස වැඩිපුර පෙන්වීමට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කරලා. සුරක්ෂිත දරු පරපුරක් ඇතිකිරීමට ඔවුන්ගේ මානසිකත්වයත් බැලිය යුතුයි. මේ වගේ අපරාධ කරන අයට නිදැල්ලේ ඉන්න බෑ. මේ ගැන රජයේ අවධානය යොමු කරනවා. මෙවැනි කරුණු ගැන මාධ්‍යයේ වගේම රටේ ජනතාවගේත් අවධානය යොමුවීම වැදගත්. මම පෞද්ගලිකව මේ දරුවාගේ නිවෙස ඉදිකිරීම සඳහා දායක වීමට තීරණය කළා. පවුලේ අනිත් දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්වයකුත් ලබා දෙන්න පියවර ගන්නවා.”

මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අතර බෝට්ටුවේ හිමිකරු ද වෙයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 27 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටවිල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි.

 විල්තෙර

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02