අපරාධ රැල්ල ගැන කියවෙන විටම ඇසෙන්නේ බන්ධනාගාර පද්ධතිය තුළ සිට සිදුකෙරෙන පාතාල ක්‍රියාකාරකම් හා කුඩු ජාවාරමුන්ගේ වැඩ කිඩය. මේ බව අප කීවේ අද ඊයෙක නොවුවද, ඒ ගැන නෑසූ කන් ඇතිව සිටි බන්ධනාගාර ලොක්කෝ අප හෙළි කළ පුවත් නිවැරදි කර ලිපි එවන්නට නම් සමත් වූ බවද කිව යුතුය.
වරෙක ඒ නිසාම පුවත්පත් පැමිණිලි කොමිසම වෙත ගොස් කරුණු කියන්නට පවා අපට සිදුවූ බවද අමතක කළ යුතු නැත. ජනාධිපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත් බන්ධනාගාර දෙස ඇස ගසන තුරුම ඒ තුළ කිසිවක් සිදු නොවුණු තැනට සිටි පාලකයන් දැන් දැන් නින්දෙන් ඇහැරී ඇති බවක් ද පෙනෙන්නේ හැමදාමත් පුවත් මවන තැනක් බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පත් කරමිනි.
සිරගෙදරින් ඇසෙන කතා තීරුලිපි අප පළ කළේද මීට දශකයකට පමණ පෙරය. එහිදී දෙපාර්තමේන්තුව පිළිබඳ වැරදි මතයක් ඇතිවන බව කිව්වේ ද බන්ධනාගාර පොඩ්ඩන්ගේ සමිති සමාගම්ය. අප පෙන්වා දුන් දේ ගැන විසඳුම් දෙනවා වෙනුවට බන්ධනාගාර ලොක්කන් හැමදාමත් කළේ ඒවා වසන් කිරීම බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් ආරක්ෂක ලේකම්වරයා බන්ධනාගාර පරිශ්‍රයට පැමිණ කළ සැර කතාවෙන් පසු සියල්ල වෙනස් වූයේ හිතාගන්නටත් බැරි විදියටය.
බන්ධනාගාර අපරාධකරුවන්ගේ තක්සලාවක් මෙන්ම ක්‍රීඩාපිටියක් බවට ප්‍රථම වරට හෙළි කළේද ආරක්ෂක ලේකම්වරයාය. දැන් සියල්ල කණපිට පෙරළෙමින් පවතී. අලුත් ලොක්කකු පත්වූයේ ඒ අතරය. එදා ඔහුට කරන්නට බැරිවූ දේ අද නිල බලයෙන්ම කරන්නට වරම් ලැබී අවසන්ය. බන්ධනාගාර තුළ සිට සිදුකෙරෙන දේ මෙන්ම, ඒවායේ ලොක්කන්ගේ කෙරුවාවල් ද එළියට ආවේ ඒ අතරය.
ආන්දෝලනාත්මක මීගමුව බන්ධනාගාරයේ සිදුවී ඇති දූෂණ හා විෂමාචාර ක්‍රියා පිළිබඳ තොරතුරු මේ වන විටත් අධිකරණය ඉදිරියේ දිගහැරෙමින් පවතින්නේ දෛවයේ හාස්කමක් පරිද්දෙනි. මීගමුව සහකාර අධිකාරිවරයා ඇතුළ 15 දෙනකුගේ පමණ සේවය මේ වන විටත් අත්හිටුවා අවසන්ය. අද වන විට ඇතුළට වරින්වර විවිධ අයුරින් ගෙන ගිය තහනම් බඩු ද නතර වී ඇත. මීගමුව ඇතුළු බන්ධනාගාර කිහිපයකම රැඳවියන්ට දැන් කුඩු සික්ය. දූෂිත අවසන් නිලධාරියා දක්වා කටයුතු කරන්නට ආරක්ෂක ලේකම්වරයා තවමත් සූදානම්ය. සියල්ල කණපිට පෙරළෙමින් පවතින්නේ ද ඒ නිසාය.
නම් දැරූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 36 දෙනෙක් පමණ දැන් බූස්ස ආරක්ෂිත බන්ධනාගාරයේ තනි සිරකුටිවල තනි වී සිටිති. ඔවුන් සමඟ එදා මෙදාතුර විවිධ සමීප සබඳතා පැවැත්වූ බවට හඳුනාගත් නිලධාරීන් 23 දෙනකුට ද මේ වන විට වෙනත් තැන්වලට යන්නට සිදු වී අවසන්ය. මීගමුව බන්ධනාගාරයෙන් 9ක්, බූස්ස බන්ධනාගාරයෙන් 10ක්, දුම්බර හා වාරියපොළින් එක් අයකු බැගින් මාරු කර යවනු ලැබූ ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අද වන විට ලෙඩ නිවාඩු දමා ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. එය එසේ වුවද, සැක කටයුතු අයුරින් අයථා ලෙස මුදල් හා දේපළ ඉපැයූ බවට හඳුනාගත් කෝටිපති නිලධාරීන් පිරිසක් තවමත් නිදැල්ලේය.
තවත් සැක කටයුතු නිලධාරීන් 33 දෙනකුට ස්ථාන මාරැවීම් ලබා දීමට සූදානම් වන්නේ ද ඒ අතරය. නිලධාරීන් 23 දෙනකු රේගුව හා සම්බන්ධතා පවත්වමින් මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇති බවට තොරතුරු දිගහැරෙනුයේ අධිකරණය හමුවේදීය. රහස් පොලීසිය මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ ද නිකමට නොවේ.
බූස්ස හා අගුණකොළපැලැස්ස බන්ධනාගාර අද විශේෂිත බන්ධනාගාර බවට පත්කොට අවසන්ය. පාතාල කෙරුමන් හා කුඩු මෝරැන් දැන් යවන්නේ ද එම බන්ධනාගාරවලටය. පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව එම බන්ධනාගාරවලට ලැබී ඇත්තේ ද ඒ නිසාය.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ එස්.ටී.එෆ්. අනු ඛණ්ඩයේ උසස් නිලධාරියකුට පසුගියදා යාපනයට හදිසි ස්ථාන මාරු ලැබී ඇත්තේ ද මේ අතරය. ඇතුළට තහනම් භාණ්ඩ යැවූ බවට චෝදනා කොට 2019 වසරේ දී එස්.ටී.එෆ්. භටයන් සිව්දෙනකුගේ වැඩ තහනම් වූ අතර, එක් අයකු රිමාන්ඩ් භාරයට පත්වී මුළු අනු ඛණ්ඩයම මාරු කර යැවුණු සිද්ධිය ද මෙහිදී අමතක කරන්නට බැරිය. බූස්සේ සිටින කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සිරකුටියට වැන්ද බවට චෝදනා කොට නියාමකවරයකු හදිසියේම වව්නියාවට මාරු කර යැවුණේ විනය ක්‍රියාමාර්ගවලට යටත්වය. ඔහු කංජිපානිට ඇත්තටම වැන්දාද? විහිළුවක් කළාදැයි යන්න අදටත් හෙළි වී නැත. තවමත් සේවයට වාර්තා කොට නැති ඔහු ලෙඩ නිවාඩු දමා සිටින බවද දැනගන්නට ඇත.
දැන් මීගමුවෙන් පමණක් නොව බූස්සෙන් ද කතා එමට ඇත. එදා බන්ධනාගාරය භාරව සිටි ලොක්කන්ගෙන් මේවා අසන විට කීවේ, ඕවා ගැන කතා කරන්නට ගොස් නඩු දමාගැනීමට කැමැති නැති බවය. මීගමුව හිරගෙදර සිරවාට්ටුවකින් ශීතකරණයක් සොයාගැනීමේ සිද්ධිය ගැන විමසූ විට එදා සිටි පාලන ලොක්කකු කීවේ ඒවා නිත්‍යනුකූලව ලබා දී ඇති දේවල් යන්නය. දැන් ඒ ලොක්කන් නැතත්, මීගමුව සිරගෙදරින් ඔවුන් යැපුණු ආකාරය ගැන තොරතුරු නම් කියන්නේ තවත් ලොක්කන් පිරිසකි. දැන් මීගමුව හිටපු ලොක්කා කළ කී දේ ගැන උඩ පැන පැන තලන්නේ ද ඒ ලොක්කන් පිරිසය. දෙපාර්තමේන්තුවට පිටින් එදා මෙදාතුර ආ ලොක්කන් මෙන්ම, ඇතුළෙන් ආ ලොක්කන්ට ද වත්මන් කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ආදර්ශයක් සපයා ඇත්තේ වැඩ කරන හැටි පෙන්වමිනි. එදා දෙපාර්තමේන්තුව වැරදි පාරේ ගෙන ගිය ලොක්කන්ට මෙන්ම සොක්කන්ට ද උපුල්දෙණිය මහතා ගෙන යන වැඩපිළිවෙළ පාරාවළල්ලක් වී අවසන්ය.
ඊට ආරක්ෂක ලේකම්වරයාගේ ශක්තිය ද එක්වී ඇති බවක් පෙනෙන්නට ඇත්තේ ඔහුගේ එඩිතර තීරණ ගැන දකින විටය. එදා වැලිකඩින් හොල්ලන්නට බැරි වූ පාතාල කෙරැමන් අද බූස්සේ නිසොල්මනේය. බූස්සේ සිද්ධියක් ගැන සොයන්නට ගිය නිලධාරීන් තිදෙනකුට පාතාල කෙරැමන් තිදෙනකුගෙන් එල්ල වූ තර්ජනය දැන් සී.අයි.ඩී. පරීක්ෂණ සිදුවේ.
ජනාධිපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත් ඊට සම්බන්ධ කර ගත්තේ ඇයිද යන්න අදටත් ප්‍රශ්නයක්ම පමණෙකි. බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් මේ ගැන පවසනුයේ වෙනම කතාවක් වුවද, රහස් පොලිස් පරීක්ෂණවලින් සියල්ල එළියට එනු ඇත.
හිරගෙදර කිසි දිනක නොවූ විප්ලවයක් අද සිදුවන බව නම් සත්‍යයකි. බුද්ධි අංශ සවිමත් කිරීමෙන් ලබාගන්නා තොරතුරැ මත සියල්ල ඉදිරියේ දී නිවැරදි වෙනු ඇත යන්න කාගේත් බලාපොරොත්තුවය. එය සාක්ෂාත් කරන්නට අලුත් ලොක්කාට හැකිවනු ඇති බවද කාගේත් විශ්වාසයයි.
I ජයන්ත සමරකෝන්