2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

රටම පීලි පැන්නූ විදුලිය බිඳ වැටීම

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

පසුගිය අගොස්තු 17 දා දහවල් 12.35ට පමණ දිවයින පුරා එකවරම විදුලිය ඇණහිටියේය. මෙම බිඳ වැටීම පැය අටක්, දහයක් පමණ කාලයක් පැවැති අතර ඇතැම් ප්‍රදේශවලට රාත්‍රි 10 පමණ වන තෙක් විදුලි සම්බන්ධතාව නොමැති විය.. විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවය. විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් සත් දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කෙරිණි. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර මෙවැනි දිගු බිඳවැටීමක් රටක ආර්ථිකයට හා ජන ජීවිතයට  විශාල පීඩාවක් ඇති කරන බවද ඔහු පැවසීය. මෙම ගැටලුව පිළිබඳ සොයා බැලීමට මෙන්ම ඉදිරි කාලයේ මෙවැන්නක් සිදු වුහොත් ගතයුතු ක්‍රියා මාර්ග හා තීන්දු තීරණ සම්බන්ධයෙන් සොයා බලන බවද ඔහු කියා සිටියේය. 

පද්ධති පාලන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ පරිදි කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බැව් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේය. ඒ සමඟ නොරොච්චෝලේ විදුලි බලාගාරයද අක්‍රීය වීම ලංකාව පුරාම විදුලිය බිඳ වැටීමට බලපෑවේය.

කෙරවලපිටිය උපපොළේ තාක්ෂණ දෝෂයක් නිසා මෙම බිඳ වැටීම සිදුවූයේයැයි අප කීවේ එම අවස්ථාවේ අපට ලැබුණු තොරතුරැ ඇසුරිනුයි. ඇමැතිවරයා විසින් පත් කළ  කමිටු වාර්තාව සතියත් ඇතුළත ලැබීමට නියමිතයි. සියලු තොරතුරු විමර්ශනය කොට ඇත්තටම සිදුව ඇත්තේ කුමක්ද යන්න ඉන් හඳුනාගත හැකියි. එමෙන්ම. ඉදිරියේ මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදු වුවහොත් ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද එම කමිටුව තම නිර්දේශ ඉදිරිපත් කරාවි. පසුගිය දසකය තුළ 2009, 2015 හා 2016  දී අවස්ථා කිහිපයකදී මෙවැනි බිඳවැටීම් සිදු වුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නිර්දේශවලින් ක්‍රියාත්මක නොවූ නිර්දේශ මොනවාද යන කරැණුත් මෙම කමිටුව මගින් විමර්ශනය කරනු ඇති. පසුගිය කාලයේ ඉදිකිරීමට නිර්දේශ කෙරැණු බලාගාර ඉදි නොවූ අතර ඇතැම් බලාගාර අතහැර දැමුණා. සමස්ත පද්ධතියේ පැවැත්ම හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න මෙම කමිටු වාර්තාව මගින් හඳුනාගත හැකි වේවි.* යනුවෙන් විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

විදුලිය බිඳ වැටීමත් සමඟ ජනතාවගේ බොහෝ දෛනික කටයුතු අකර්මණ්‍ය විය. කර්මාන්ත ශාලා, ඉන්ධන පිරවුම්හල්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම ස්වයං රැකියාවල නිරත බොහෝ පිරිසකගේ ආදායම් මාර්ගවලට බලපෑම් ඇති කළේය. ප්‍රධාන මාර්ගවල සංඥා පුවරැ අක්‍රීය වීම හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වූ අතර පොලිස් නිලධාරීන්ට මාර්ග තදබදය අවම කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. විදුලිය නොමැතිකමින් බොහෝ ප්‍රදේශවල ජල සැපයුම හිටියේය. ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයකුට අනුව විදුලි ජනන යන්ත්‍ර නොමැති ජලපොම්පාගාරවලින් ජලය පොම්ප කිරීමද  ඇණහිට තිබිණි. ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම නතර විය. මහා පරිමාණ කම්හල්වල නිෂ්පාදනය ඇණ හිටියේය. එදින පැය අටක පමණ කාලයක් තුළ විදුලිය ඇණ හිටීම නිසා අපේ ආර්ථිකයට සිදු වූ අලාභය කෝටි ගණනකි. අපේ තේ කර්මාන්තයට පමණක් සිදු විය හැකි අලාභය රුපියල් මිලියන 600ක් පමණ විය හැකියැයි තේ කර්මාන්තය පිළිබඳ උපදේශකවරයකු හා තේ මණ්ඩලයේ හිටපු සභාපති ලුසිල් විජේවර්ධන මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව වාර්ෂිකව තේ කිලෝ මිලියන 300ක් පමණ නිෂ්පාදනය කරන බවත් ඒ අනුව දළ වශයෙන් දිනකට කිලෝ මිලියනයක් පමණ නිෂ්පාදනය වන බවත්, සාමාන්‍යයෙන් තේ කිලෝවක අලෙවි මිල රැපියල් 600ක් පමණ වන හෙයින් තේ කර්මාන්තයට රැපියල් මිලියන 600ක පමණ අලාභයක් සිදුවිය හැකි බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

2015 සැප්තැම්බරයේද මෙවැනි  විදුලිය බිඳ වැටීමක් සිදු විය. එය එය කුමන හේතුවක් මත සිදු වූයේද යන්න හෙළිදරව් වූයේ නැත. යළි 2016 පෙබරවාරි සහ මාර්තු යන මාසවලද විදුලිය බිඳ වැටීමක් සිදු විය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරැණු අතර එම විමර්ශනයට එම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කළ  ජර්මානු සමාගමද සහභාගී වී තිබිණි. ඔවුන්ගේ නිරීක්ෂණය අනුව අනාවරණ වූයේ එම යන්ත්‍ර නිසි පරිදි නඩත්තු නොවීම නිසා එම බිඳ වැටීම සිදු වූ බවටය. එහෙත් එම වාර්තාවට කුමක් සිදුවී දැයි දැන ගන්නට නැත..

මෙවර සිදුවීම ඇති වූයේ කෙරවලපිටියේ ඇති යුගදනවි බලාගාරය සතු උප පොළකය.  එය පාලනය වනුයේ විදුලි බල මණ්ඩලය සතු. එල්. ටී ලිමිටඩ්  නමැති උප පාලිත සමාගමකිනි. යුගදනවි මෙගාවොට් 300ක ද්විත්ව චක්‍රීය බලාගාරයකි. එය අන්තර් ජාතික මට්ටමින් ඉතා හොදින් පවත්වාගෙන යන බලාගාරයකි. මෙම බලාගාරය මගින් නිපදවන විදුලිය කෙළින්ම සම්බන්ධ වන්නේ කෙරවලපිටියේ පිහිටි උප පොළකටය. එතනින් කොටුගොඩ ප්‍රධාන උප පොළ වෙත ගොස් ජාතික පද්ධතියට එකතු වේ .මුලින් ප්‍රචාරය වූයේ යුගදනවි බලාගාරයේ දෝෂයක් ලෙසිනි. 

බලාගාර හා උපපොළවල නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කිරීම අනිවාර්ය කරුණකි. අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මෙම සිදුවීමට පෙර දිනයේ මෙම ග්‍රිඩ් උප පොළේ නඩත්තු කටයුතු කිහිපයක් සිදුව තිබේ. එහි කාර්මික දෝෂයක් තිබුණා නම්  එහි නඩත්තු කටයුතු කළ පුද්ගලයන්ට එය සොයා ගැනීමට අපහසු නොවනු ඇත.. එසේ නම් කිසියම් අතපසුවීමක් සිදුව ඇති බවක් පෙනෙන්නට තිබේ. කිසියම් දෝෂයක් ඇතැයි වැටහුණු විගස යුගදනවි බලාගාරය වහා ජාතික පද්ධතියෙන් ඉවත් කිරීමට පද්ධති පාලන මධ්‍යස්ථානය මගින් පියවර ගත යුතුව තිබූ බවද එම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික පද්ධතිය බිඳ වැටුණේ දහවල් 12.30ට පමණය. එම අවස්ථාවේ මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුතු කෙරවලවලපිටිය බලාගාරයෙන් උත්පාදනය වූයේ මෙගාවොට් 140ක පමණ අඩු ධාරිතාවක් බැව් පැවසේ. ඒ අනුව කාර්මික දෝෂය ඇතිවූයේ අධි ධාරිතාවක් නිසා නොවන පැහැදිලිය. මෙගාවොට් 140 නිපදවූ බලාගාරය ජාතික පද්ධතියෙන් වෙන් කොට  කාර්මික දෝෂය නිවැරදි කළා නම් ලංකාව පුරාම විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී පද්ධතියේ සමතුලිතකාව බිඳ වැටුණු අතර බලාගාර එකිනෙක බිඳ වැටෙන්නට වී තිබේ. නොරොච්චෝලේ බලාගාරයෙන් මෙගාවොට් 900ක් උත්පාදනය කරයි.  

මෙවර බිඳවැටීම සිදු වූයේ වසර වසර පහකට පමණ පසුය. එය පෙර පරිදි මෙන් නොව සම්ප්‍රේෂණ පද්ධතිය බිඳවැටී බලාගාර පද්ධතියද අක්‍රිය කළේය. නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම නිසා විදුලි හිඟයකට මුහුණ දීමට ජනතාවට සිදුවී තිබේ. සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳ වැටීමක් සිදු වූ විට නොරොච්චෝලේ බලාගාරයද සතියක පමණ කාලයක් අක්‍රිය වීම වළක්වාලීම සඳහා යම් යම් යම් පියවර ගැනීමට ක්‍රියා කිරීම වැදගත්ය. මේ දිනවල රාත්‍රි කාලයේ උපරිම විදුලිය ඉල්ලුම මෙගාවොට් 2450ක් පමණ වේ. දිවා කාලයේ මෙගාවොට් 2100ක් පමණ වේ. රාත්‍රි කාලයේ ඉල්ලුම සපුරාලීම අසීරැ හෙයින් දිනකට පැයක කාලයක් විදුලිය කපා හැරීමට විදුලි බල මණ්ඩලයට සිදුව තිබිණි.

පසුගිය කාලය පුරාම ඉදිකිරීමට නියමිත වූ විදුලි බලාගාර කිසිවක් ඉදි කෙරුණේ නැත. මෙගාවොට් 1500ත් 2000ත් අතර බලාගාර ඉදිකිරීම සඳහා අනුමැතිය හිමිවී තිබේ. එහෙත් එම බලාගාර මෙතෙක් ඉදිවූයේ නැත. මෙගාවොට් 100ක සුළං බලාගාරය හා මෙගාවොට් 300ක එල්එන්ජී බලාගාරය පද්ධතියට එක් කිරීම ප්‍රමාද වී තිබේ. මෙගාවොට් 320ක ඩීසල් බලාගාරය,  ඉදිවී නොමැත. සාම්පූර් බලාගාරය නවතා දැමුණු අතර කෙරවලපිටිය දෙවැනි අදියරේ බලාගාරයද ඇදෙමින් පවතී. මේවායින් කොටසක් හෝ ප්‍රධාන පද්ධතියට එක්වී තිබුණානම් නොරොච්චෝලේ නොමැති වුවද හිඟයකින් තොරව විදුලිය සැපයීමට හැකියාව තිබිණි.

ශ්‍රී ලංකාවේම ආර්ථිකය බිඳ හෙලමින් පැය අටක් පමණ විදුලිය අක්‍රිය වූයේ ඇයි? මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා මෙලෙස ප්‍රකාශ කළේය.

කෙරවලපිටිය බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂය කිසියම්  ස්වභාවික දෝෂයක්ද නැතිනම් කිසියම් පුද්ගලයකුගෙන් සිදු වූ අතපසුවීමක්ද යන්න පිළිබඳව සොයා බැලිය යුතුයි. විදුලිබල පද්ධතියේ කිසියම් දෝෂයක් ඇති වූ විගස එහි ඇති ආරක්ෂක පද්ධතිය තත්ත්පරයකින් දහයෙන් පංගුවක පමණ කාලයක් තුළ ක්‍රියාත්මක වෙනවා. එවිට එම ස්ථානයට පැමිණෙන හෝ පිටවන සියලු සැපයුම් මාර්ග අක්‍රීය වෙනවා. මෙම ක්‍රියාවලිය එදා සිදුවූවනම් කෙලවරපිටිය බලාගාරය නතර වෙනවා. එම බලාගාරයෙන් විදුලිය සපයන යම් ප්‍ර‍ෙද්ශයක් වේ නම් එම ප්‍රදේශයට පමණක් විදුලිය විසන්ධි වෙනවා. මගේ අදහසේ හැටියට විදුලිය ඇණහිටිය අවස්ථාවේ මෙගාවොට් 2200ක පමණ ඉල්ලුමක් පවතින්නට ඇති. එදා පාසල්, විශ්වවිද්‍යාල කාර්යාල වැනි සියලුම අංශ ක්‍රියාමකව පැවැති දිනයක් වූ අතර උෂ්ණත්වයද ඉහළ ගිය දිනයක්. කෙරවලපිටිය බලාගාරයේ විදුලිය නිෂ්පාදනය මෙගාවොට් 300ක්. ඒ අනුව සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 15% පමණ නිෂ්පාදනය වූයේ එම බලාගාරයෙන්.

දෝෂයක් ඇති විට අනෙක් බලාගාර ක්‍රියාත්මක කළ නොහැකි බැවින් විදුලිය බිඳවැටුණු අවස්ථාවේ කෙරවලපිටිය බලාගාරය ප්‍රධාන පද්ධතියෙන් ඉවත් කළ යුතුයි. එය තත්ත්පරයෙන් දහයෙන් පංගුවක් වැනි කාලයක් තුළ ඉවත් කෙරුණා නම් බලාගාරයේ ඉතිරි කොටස් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මෙහිදි එක් ගැටලුවක් පැන නගිනවා. ප්‍රධාන පද්ධතියෙන් ඉවත් කළ බලාගාරයෙන් සපයන ලද විදුලිය සැපයීම සඳහා වෙනත් බලාගාරයක් නොමැති වීම එම ගැටලුවයි. එවිට විදුලිබල පද්ධතියේ ඇති දෙවැනි ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතිය මගින් මෙම බලාගාරයෙන් විදුලිය සපයන පාරිභෝගිකයන්ගෙන් 15%කගේ විදුලිය කපා හරිනවා. එවිට අනෙක් ප්‍රදේශවලට නිසි පරිදි විදුලි සැපයුම සමබරව සිදුවෙනවා. දෙවැනි ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වුණා නම් රටපුරා විදුලිය බිඳ වැටුමක් සිදුවන්නේ නැහැ. මේ ආරක්ෂණ පද්ධති දෙක නිසි පරිදි ක්‍රියාත්මක වුණාද එසේ නොවුණානම් එය කිසියම් අඩුපාඩුවක් නිසා සිදුවුණාද යන්න නිෂ්චිතව පැවසිය නොහැකියි.

කෙසේ නමුදු විදුලිබල පද්ධතිය සතු සියලු බලාගාර ඒවායේ ආරක්ෂාව සඳහා හදිසි නතරවීමට ලක් වුණා. සාමාන්‍යයෙන් කිසියම් නඩත්තු කටයුත්තක් සිදුවෙද්දී එම නඩත්තුව කරන ඉංජිනේරැවරයාට සමාන සුදුසුකම් සහිත තවත් ඉංජිනේරැවරයෙක් ඒ පිළිබඳව අවධානයෙන් සිටිනවා. කිසියම් ප්‍රමාද දෝෂයක් ඇති වුවහොත් දෙවැන්නා එය නිවැරුදි කරනවා. බලාගාරයක් යනු අති විශාල විදුලිය ධාරිතාවක් සහිත ස්ථානයක් බැවින් කිසිදු අතපසුවීමකට ඉඩක් නැහැ. මෙම බිඳවැටීම සම්බන්ධයෙන් අප සොයා බැලිය යුතු කරැණු කිහිපයක් තිබෙනවා. පළමුවැනි ආරක්ෂක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වුණාද? ක්‍රියාත්මක වුණත්  එහි කිසියම් අඩුපාඩුවක් තිබුණද? දෙවැනි ආරක්ෂිත පද්ධතිය නිසි පරිදි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී පාරිභෝගියන්ට සපයන විදුලිය විසන්ධි කෙරැණාද? එසේ නොවුවානම් එයට හේතුව කුමක්ද? යන්න සොයා බැලිය යුතුයි.

නොරොච්චෝලේ බලාගාරය මෙරට ඇති තාප බලයෙන් ක්‍රියාත්මක වන විශාල බලාගාරයකි. එහි පීඩනය සහ උෂ්ණත්වය ඉතා ඉහළය. එහෙත් මෙම බලාගාරය ක්ෂණිකව නතර කළ හැකි පරිදි සැලසුම් කර නොමැති බව පැවසේ. එහෙත් කෙරවලපිටිය අර්බුදයේ බලපෑමෙන් නොරොච්චෝලේ බලාගාරය ආරක්ෂක පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී හදිසියේ නතර විය. ඇතැම් බලාගාරයන්හි ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වුවද ඉතා සුළු කාලයකින් යළි ක්‍රියාත්මක කළ හැකිය. එහෙත් නොරොච්චෝලේ බලාගාරයේ ආරක්ෂිත වෑල්වය ක්‍රියාත්මක වූ විට එය යළි ක්‍රියාත්මක කිරීමට නම් එහි උෂ්ණත්වය විශාල ලෙස පහළ බසින තෙක් බලා සිටීමට සිදු වේ. ඒ අනුව නොරොච්චෝලේ බලාගාරයෙන් විදුලිය උත්පාදනය ආරම්භ කිරීම සඳහා දින හතරක් හෝ පහක් බලා සිටිය යුතුය. එය පණගන්වන තෙක් දිනකට පැය බැගින් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නොරොච්චේලේ බලාගාරයෙන් ජාතික පද්ධතියට ලබා දුන් මෙගාවොට් 900 ප්‍රමාණය අහිමි වීම හේතුවෙනි. නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය වීම මත නොකඩවා විදුලිය සැපයීමට නම් ඒ හා සමාන තවත් බලාගාරයක් තිබිය යුතුය. සාම්පූර්හි එවැනි බලාගාරයක් ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී ඇතැම් දේශපාලන තීන්දු මත එය ඉදිකිරීම 2015දී නවතා දැමිණි. සාම්පූර් බලාගාරය ඉදි කෙරැණා නම් ඒකකයක් රැපියල් අටක් හෝ නවයක් වැනි අඩු මිලකට විදුලිය නිපදවිය හැකිව තිබිණි. එවැනි බලාගාරයක් නවතා දැමීමෙන් ඇති වූ ප්‍රතිඵලය වූයේ ඉන්ධන බලාගාරවලින් නිපදවෙන විදුලිය සඳහා ඒකකයකට රුපියල් 25ක් පමණ වැය කිරීමට සිදුවීමය. සාම්පූර් බලාගාරය අවලංගු කිරීම නිසා රැපියල් මිලියන අසූදහසක පමණ මුදලක් වාර්ෂිකව ඉන්ධන සඳහා අමතරව වැය කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුවී තිබේ.

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අපි හැකිතරම් ඉන්ධන භාවිතයෙන් ඉවත් වී වෙනත් විකල්පයකට යොමු විය යුතුයි. එහෙත් එවැනි ක්‍රියාවලියකට සූදානම් වන විට කුමන හෝ බලවේගයක් ක්‍රියාත්මක වී එයට අකුල් හෙලීමක් සිදුවෙනවා. විදුලිය සැපයුම නොකඩවා කළ යුතු බැවින් ඉන්ධන බලාගාර නොකඩවා ක්‍රියාත්මක වෙනවා. සාම්පූර් බලාගාරය හා කෙරවලපිටිය අංක 2 බලාගාරය ඉදිකෙරුණා නම් ඇතිවූ විදුලිය බිඳවැටීමට සාර්ථකව මුහුණ දිය හැකිව තිබුණා. එම බලාගාර දෙක ඉදිකෙරුණා නම් මේ වන විට ඒවා ක්‍රියාත්මක වෙනවා. එවිට ඉන්ධන බලාගාර සඳහා වැය කෙරෙන මුදලින් වාර්ෂිකව රුපියල් මිලියන අසූදහසක් පමණ ඉතිරිකරගන්න තිබුණා. මේ මුදල විදුලිබල මණ්ඩලය ලබාගන්නේ මහජන බැංකුවෙන්. මහජන බැංකුව සාමාන්‍ය ව්‍යවසායකයන්ට සේවය කිරීම සඳහා පිහිටුවා තිබුණත් විදුලිබල මණ්ඩලයට මිලියන අසූදහස බැගින් ලබා දෙන විට සාමාන්‍ය ව්‍යවසායකයන්ට ණය දෙන්න ඔවුන්ට මුදල් ඉතුරැවෙයිද? අපේ සාමාන්‍ය විදුලි ඉල්ලුම දිනකට මෙගාවොට් 2000ක් නම් අවම වශයෙන් මෙගාවොට් 2300ක් පමණ නිපදවිය හැකි බලාගාර අප සතුව තිබිය යුතුයි. ඒවා පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙමින් විදුලිය නිෂ්පාදනය නොකර තබාගත හැකියි. එවිට කිසියම් බලාගාරයක් බිඳවැටුණු විගස තත්ත්පර 5ක් 10ක් අතර කාලයකදී මෙමගින් විදුලිය ලබාගත හැකියි. මේවා හැඳින්වෙන්නේ ස්පිනිං රිසව් එකක් ලෙසයි. අපේ රටේ මෙවැන්නක් නැහැ. මෙවැනි ස්පිනිං රිසව් එකක් පවත්වාගෙන යෑමට යම් ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒවාට ඉන්ධන මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට මුදල් නැහැ. මෙවැනි තත්වයක් ඇති වන්නේ විකල්ප බලාගාර තැනීමට ඉඩ නොදී ඒ වෙනුවට ඉන්ධන බලාගාරවලට විශාල මුදලක් වැය වන බැවිනුයි. ඒ හැර අනවශ්‍ය කාර්ය මණ්ඩල හා දූෂණ වැනි ක්‍රියා නිසාත් ඔවුන්ගේ පාඩුව ඉහළ යනවා.

පසුගිය සඳුදා ඇතිවූ විදුලිය බිඳ වැටීම නිසා රටේ ආර්ථිකයටත් විශාල පාඩුවක් සිදු වෙනවා. කර්මාන්ත හා වාණිජ ආයතන බොහෝ ප්‍රමාණයක් අකර්මණ්‍ය වුණා. අපේ විදුලි පද්ධතියේ ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 21.80ක් පමණ වනවා. එහෙත් විදුලිබල මණ්ඩලය අයකරන්නේ රුපියල් 16.80යි. විදුලි ඉල්ලුම අනුව සැපයුම සිදු නොවුණොත් ආර්ථිකයට වන පාඩුව ඒකකයකට රුපියල් 100ක් පමණ වනවා. මේ දිනවල විදුලි පරිභෝජනය දිනකට ඒකක මිලියන 43ක් පමණ වනවා විදුලිය බිඳවැටුණු කාලය තුළ අවම වශයෙන් ඒකක මිලියන 10ක් පමණ සැපයිය නොහැකි වුණා. ඒ අනුව රටේ ආර්ථිකයට වූ අලාබය රැපියල් මිලියන දහසක් පමණ විය හැකියැ*යි ආචාර්ය තිලක් සියඹලාපිටිය ප්‍රකාශ කළේය

  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා