
ඉන්ෆෝමන්ට්ලා (Informant) හෙවත් තොරතුරු සපයන්නෝ රජකාලේ පටන් සිටියහ. කේලම් කීම, රහස් කීම කාලයත් සමඟ විධිමත් වී තොරතුරැ සපයන්නා, ඔත්තුකරැ වගේම වර්තමානය වනවිට ඉන්ෆෝමන්ට් දක්වා එය වගකීම් සහගත තනතුරක් බවට පත්ව ඇත.
රජකාලේ පටන්ම රජතුමාට හිතවාදී, රජවාසලට හිතවාදී පිරිස් ඔත්තු සැපයූහ. නැතහොත් කේලම් කීහ. විශේෂයෙන් සතුරැ හමුදාවල උන්ද රජතුමාට ඔත්තු සැපයුවා පමණක් නොව රජ වාසලේ සමහර අය සතුරු හමුදාවට ද ඔත්තු සැපයූ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත .ඒ සියල්ල රටට ජාතියට ආගමට ආදරය නිසා නොව සන්තෝසම් සහ මුදල්වලටය. ඒ නිසා ඔත්තුකරැවන් සමඟ ගනුදෙනු කිරීම "මුවහත් පිහියක් උඩ වාඩිවී දැලි පිහියකින් කිරිකනවා හා සමානය". ඒ නිසා ඔත්තුකරුවන් සමඟ ගනුදෙනුව එතරම් සුබදායක වන්නේ නැත.
කෙසේ වෙතත් මේ කතාව කියන්නට සිතුවේ වගකීමක් නැති ඔත්තුකරැවන් නිසා අද රටට සිදුවී ඇති දරාගන්න බැරි ඛේදවාචකය හේතුවෙනි. කුඩු ජාවාරම අද වනවිට ජාවාරමෙන් එහා ගොස් මාෆියාවක් වී ඇත්තේ මෙකී ඔත්තුකරැවන්ගේ ඩබල් ගේම් නිසාය. "බල්ලන් සමඟ නිදාගතහොත් මැක්කන් සමඟ නැගිටින්න වන බව" කතාවට කියන්නා සේ ඔත්තුකරැවන් සමඟ ගනුදෙනු කළහොත් අන්තිමේදී වන්නේ බෙල්ලත් ගලවගෙන ජීවිතෙත් දන්දී චැප්ටර් එක අවසන් කිරීමටය. අද වනවිට ලංකාවේ කුඩු මාෆියාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන ඛේදවාචකය එයමය.
වර්තමානයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් හිරේ ඉන්නේද, විශේෂ බළකා සෙබළුන් කොටුවන්නේද, මාධ්‍යවේදීන් අමාරැවේ වැටෙන්නේද, මෙකී ඔත්තුකරැවන්ගේ යම් යම් ඉතිහාසගත ඩබල් ගේම් නිසාය. අද වනවිට හීන් නූලේ සිටින අහිංසක පාට් දමන දකුණු ආසියාවේ කුඩු මහමොළකරු වූ වෙලේ සුදාගෙත්, පාතාලයේ අහස අල්ලන්න හදන කොස්ගොඩ තාරකගේත්, ලංකාවේ කුඩු රජා වන්නට යන කංජිපානිගෙත් ඔත්තුකරැවන්ගේ ඩබල් ගේම් නිසා සියල්ල කනපිට හැරී ඇත.
මේ තත්ත්වය උදාවීමට ප්‍රධානම කාරණය වන්නේ ලංකාවේ නීතියෙන් හෝ ආයතන සංග්‍රහයක් මාර්ගයෙන් හෝ ඔත්තුකරැවකු සමඟ ගනුදෙනු කිරීමේ නීතිමය ක්‍රමවේදයක් නොතිබීමය. තමන් කැමති ඔත්තුකරැවකු සමඟ කරන ගනුදෙනුව හරහා ලබාගන්නා තොරතුරැ විනා ඔහුත් සමඟ සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් නීත්‍යානුකූල රාමුවක් හෝ ආරක්ෂාවක් අදාළ පුද්ගලයාට නැත. මේ නිසා අවසානයේ ඔත්තුකරැවන්ගේ කොහේ හෝ උගුලකට හසුවීමෙන් ඔත්තු ලබාගත් පුද්ගලයා අමාරැවේ වැටෙන අවස්ථාද තිබේ.
මෑත ඉතිහාසයේ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක රංගජීව වෙඩි ප්‍රහාරයට ලක්වුණේද මෙකී ඔත්තුකරැවකුගේ ඩබල් ගේම් නිසාය. එයද කුඩු ජාවරම්කරැවකු වූ මදූෂ්ගේ වැඩක් බව හෙළි විය.
දැන් බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ද කොටු වී සිටින්නේ මෙකී ඔත්තුකරැවන් නිසාය. ඒ ඔවුන් ඔත්තුකරුවන් සමඟ සිදුකළ ගනුදෙනු නිසාය. අවසානයේ ඔත්තුකරැවන්ම ඔවුන්ගේ නම් ගම් සියල්ල හෙළිකළේ ඔවුන් පොලීසියට කොටු වූ පසුය.
ඇතැම් ඔත්තුකරුවකු ඔත්තු ලබාදෙන්නේ මීයක් කඩලා අත ලෙවකන්න බලාගෙන නොවේය. කොයි මොහොතක හෝ ඔහුට අවශ්‍ය සහය ලබා ගැනීමේ අරමුණෙන්ය.
දැනට බන්ධනාගාරයේ සිටින වෙලේ සුදා පොලීසියේ බොහොමයකගේ මහාපරිමාණ කුඩු ජාවාරම්වල ඔත්තුකරැ බව කියති. මදූෂ් ඩුබායිවලදී කොටු කිරීමේ මෙහෙයුම යට සිටින නොපෙනෙන බලවේගය ද වෙලේ සුදාය. වෙලේ සුදා පොලීසියට ඔත්තු සපයන්න එන්නේ පොලිස් නිලධාරියෙක් හරහාය. දිවට දිව ගාගෙන අයියා මළෝ ප්‍රේමයෙන් සිටින මෙම පොලිස් නිලධාරියා හරහා පොලිස් නිලධාරීන්ට පමණක් නොව එළියේ සිටි අයට ද සමීපව ගනුදෙනු කිරීමේ පසුබිම හැදුණේ මේ හරහාය. ඇත්තම කිව්වොත් යහපාලන ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයන්ගේ සමීප සබඳතා හරහා මෙකී පොලිස් නිලධාරීන් වෙලේ සුදාට සුදු හුණු ගෑමට නොයෙකුත් උපාය උපක්‍රම භාවිතා කළ බවට ද චෝදනා තිබේ. එහි පළමු ක්‍රමය වන්නේ ඉහතකී පොලිස් නිලධාරියා හරහා වෙලේ සුදා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ඔත්තුකරුවකු කිරීමය.
සුදා ඒ හරහා ගේම් රැසක් ගහගත්තේය. එක් පැත්තකින් සුදා මදූෂ්ට ප්‍රහාරය එල්ල කළ අතර අනෙක් පැත්තෙන් පොලීසියේ ඉහළටම ‘හොඳ පුතා’ නම හදාගත්තේය. මේ හරහා සුදාගේ නමට අයිති නැති සියලු කුඩු සුදාගේ තොරතුරැ හරහා පොලීසියට කොටු විය.
එසේ සුදා සුදු පුතා චරිතය රඟමින් සිටිමින් අනෙක් පැත්තෙන් තම ගනුදෙනුකරුවන් හරහා කුඩු මෙරටට ඇද්දේය. ඇතැම් විට ඒවා පොලීසිය දැනුවත්ව බවද සඳහන් වේ. කෙසේ වෙතත් අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරීන් අවසානයේ තමන්ට වෙලේ සුදා විසින් ලබාදුන් ඔත්තු අනුව අල්ලා ගත් කුඩු ද වෙනත් මාර්ගවලින් වෙනත් ජාවාරම්කරැවන්ට විකුණනු ලැබ තිබේ. මේ සියල්ල ඔත්තුකරුවන්ගේ සබඳතා හරහාය. විශේෂයෙන් ඔවුන් අතර ඇතිව තිබූ ගහට පොත්ත වැනි මිත්‍රකම් නිසාය.
කොස්ගොඩ තාරක ද ඔත්තුකරැවෙකි. ඔහුද ඔත්තු සැපයුවේ ඔහුට විරුද්ධ කල්ලිවලට විරුද්ධවය. ඔහු අවසානයේ සියල්ලට හොරා හැමදෙනාට කොළය වසා වෙනත් අරමුණක් සඳහා සූදානම්ව සිටිබව මේ වනවිට හෙළි වී ඇත. අවසානයේ ඔහුගේ ද කට්ට සූත්තර වැඩ හමුවේ කොටු වූයේ වෙනත් වෙනත් පුද්ගලයන්ය. වෙලේ සුදාලා, කංජිපානිලා, කොස්ගොඩ තාරකලා සියල්ල එකිනෙකා කෙරෙහි ඇති වෛරය නිසා දැන් දැන් එකිනෙකා පාවා දෙමින් සිටිති. ඒ ඔවුන්ගේ ගැලවීමටත් වඩා අනෙකාට ගේමක් දීමේ අරමුණෙන්ය. මේ නිසා අහක සිටින ඔවුන්ගෙන් විස්තර ගෙන විස්වාසය මත වැඩ කළ අයට ද මේ නිසා අමාරැවේ වැටෙන්නට සිදුවී ඇත.
කුඩු සම්බන්ධ ඔත්තු ගැනීමට කුඩු ජාවරම්කරැවකුම අවශ්‍යය, පාතාලය ගැන ඔත්තු ගැනීමට පාතාලයෙක්ම අවශ්‍යය. ඒ නිසා උන් සමඟ ගනුදෙනු කිරීමම අවුලකි. ඒ ඉහත කී ලෙස නීතියෙන් රාමුවක් නැති නිසාය. මේ නිසා තමන්ගේ හොඳම ඔත්තුකරු රැකගැනීමට අවසානයේ ඔහුගෙන් ඔත්තු ගන්නා තැනැත්තාට නීති විරෝධී දේවල් පවා සිදුකරන්නට සිදුවනු ඇත. එය සාමාන්‍යයෙන් හැටිය. ඉහත කිව්වා සේ ඔවුන් ඔත්තු සපයන්නේ අත ලෙව කන්න බලාගෙන නොවේය. ඒ නිසා දැලිපිහියෙන් කිරිකන්නට ද ඉගෙන ගත යුතුය. ඒ පිළිවෙලකටය. එසේ නොවීම තුළ අමාරුවේ වැටෙන්නේ ඔත්තුකරැවන් නොව ඇතැම් විට නිවැරදිකරුවන්ය.
මේ වනවිට විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂවරයකු ද අත්අඩංගුවට ගෙන ඇත. ඒ නීතියට වැඩ කළ නිසා නොවේ. නීතියට පිටින් වැඩි වැඩ කරන්නට ගොස්ය. ඔහු අවසානයේ එක් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටිමින් අනෙක් කල්ලි සඳහා විරැද්ධව ක්‍රියාත්මක වුණේය. මේ නිසා ඔහු අවසානයේ විරැද්ධ කල්ලිවලට එරෙහිව මෙහෙයුම් දියත් කළේය. ඒ සඳහා වෙනත් කණ්ඩායම් ද යොදාගත්තේය. ඉහළ නිලධාරීන්ගේ හොඳ හිත හදාගත්තේය. විශ්වාසවන්තයෙක් වුණේය. අවසානයේ සියල්ල යටින් වෙනත් වෙනත් නීති විරෝධී වැඩ සිදුකළේය. දැන් ඔහුද ඉන්නේ රහස් පොලිස් බාරයේය. ඒ ඔහු ද ඔත්තුකරැවන් යොදාගෙන නොයෙක් ගේම් ගැසූ නිසාය.
කෙසේ වෙතත් මෙකී ඔත්තුකරැවන්ගේ ඩබල් ගේම් නිසා බොහෝ දෙනකුගේ වෙස්මුහුණු ගැලවුණා සේම කිසිදු වරදක් නොකරන පුද්ගලයන් පවා අවසානයේ වරදේ බැඳුණාහ. මේ සියල්ල ඔත්තුකරැවන් පමණට විස්වාස කිරීමත් සහ ඔහු ඔත්තුකරුවන් නොවී සමීප මිතුරන් කර ගැනීමත් නිසාය.
ඒ නිසා ඇත්ත කතාව නම් ඔත්තුකරැවන් යනු තවත් එක් ජාවාරමක් බවය. ඔත්තුකරැවකුට තමන් විස්තර දෙන පුද්ගලයා පාවා දෙන්නට වැඩි අමාරැවක් නැත. වැඩි වෙහෙසක් ද නැත. ඒ ඔහු ඔත්තු ලබාදෙන්නේ සමාජ යහපතට නොව ජීවත් වීම සඳහා යොදාගනු ලබන ඩබල් ගේමක් නිසාය. ඒ නිසා ඔත්තුකරැවන් ගැන මීට වඩා අවධානයෙන් සිටිය යුතු කාලයක් වනු ඇත.
ගයාන් ගාල්ලගේ