2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

19 අහෝසි කිරීම : නව ව්‍යවස්ථාව හොඳද නරකද?

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

ආර්ථිකය, දේශපාලනය සහ සමාජ ක්‍රමය මෙහෙයවන ආණ්ඩුව වනාහි රටක මූලිකම නියාමන සාධකය ලෙස හඳුනාගත හැකිය. එහි යම් ආකාරයක අස්ථාවරත්වයක් උද්ගත වීම නිසා සිදුවනුයේ සමස්ත සමාජ ක්‍රමයේ ඇති සබඳතා එකී අස්ථාවරත්වය තුළ බිඳවැටී යෑමය. රටක ආණ්ඩුක්‍රමය හැමවිටම කිසියම් වූ සංවිධිත තත්ත්වයක් යටතේ ගමන් ගත යුතු සේම එසේ නොවන කළ ආණ්ඩුක්‍රමය තුළ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ පද්ධතියේ මූලික සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය යනාදී සියල්ලෙහිද බොහෝවිට බිඳවැටීමක් දැකිය හැකිය. මන්ද මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ ජනතාව හා බැඳෙමිනි. ආණ්ඩුව අස්ථාවර බව හැඟෙන විට ජනතාවගේ සිතුම්පැතුම්ද වෙනස්කම්වලට භාජනය වේ


ශ්‍රි ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයෙහි නූතන බලාත්මක ව්‍යවස්ථාව 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව නමින් හැඳින්වේ. මෙය ක‍්‍රි.ව. 1978 ක් වූ අගෝස්තු මස 31 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වීම තුළින් නීතිගත ලාංකීය ව්‍යවස්ථාව බවට පත්විය. මෙය නිර්මාණය වීම සඳහා ලාංකීය ජනරජයක් බවට පත්වූ 1972 කරළියට පැමිණ ලාංකීය පළමු ජනරජ ව්‍යවස්ථාවෙහිද ස්වෛරීභාවය බොහෝ ලෙස හේතු විය. කෙසේ වෙතත් මේ මොහොත වනවිටත් එකී දේශයෙහි ප‍්‍රගමනයෙහිලා නිර්මාණය වූ ව්‍යවස්ථාව 19 වතාවක් වෙනස්කම්වලට භාජන වී අවසන්ය. මෙකී වෙනස්කම් අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ලෙස හඳුනාගෙන ඇත්තෙමු.

මෙම ගෙන එන ලද ව්‍යවස්ථා සංශෝධන අතුරින් එක් සංශෝධනයක් පමණක් පාර්ලිමේන්තුවට පවා ගෙන ඒමට නොහැකි වූ අතර එය දොළොස්වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. රටෙහි මූලික නීතිය (Fundamental law) ව්‍යවස්ථාපිතව ඇති නීතිය ලෙස අර්ථ දැක්වුවද අන්තර්ගතයෙහි ඇති ප‍්‍රබල විෂමතා හේතුවෙන් එය එළිදැක්වූ 1978 වර්ෂයේ සිටම විවිධ සංශෝධන ගෙන ඒමට සිදුවිය. එය කෙතරම් සුවිශාල වූ ඛේදවාචකයක්ද යන්න පැහැදිලි වන්නේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව එළිදක්වා දශකයක් යන්නටත් පෙර එනම්, 1988 වනවිටත් මෙය සංශෝධන 12 කට භාජන වීමයි. ඒ තුළින්ම 78 ව්‍යවස්ථාපිත අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි සඵලත්වය පිළිබඳ උගත හැකිය. මෙසේ පැමිණි සංශෝධන ගලායෑම වර්තමානය වන විට 19 දක්වාම පැමිණ ඇත.

77 ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළ යම් ප්‍රමාණයකට ලංකාවේ ආණ්ඩුව ස්ථාවර විය. එසේ වුවද පසුගිය කාලයේ පාර්ලිමේන්තුව අස්ථාවර වීම තුළ අප ලැබූ අත්දැකීම නම් ආණ්ඩුවේ අස්ථාවරත්වය හමුවේ සියල්ල බිඳවැටී යාමය. ඇතැමුන්ගේ මතය වන්නේ බහුතර බලයක් සහිත බලවත් ආණ්ඩුවකට ඇතැම් විට ඒකාධිපති ගමනක් යෑමට මඟ පෑදෙනු ඇති බවය. එසේ වුවද ආණ්ඩුව අත්තනෝමතික ලෙස ක්‍රියා කරන්නේ නම් එය පාලනය කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට දේශපාලන පක්ෂවලට පැවරෙන්නේ සුවිශාල කාර්යභාර්යකි. කෙසේ වෙතත් ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් සමස්ත සමාජයම යහපතකි. දේශපාලනයේ යහපත් භාවයට, ආර්ථිකයේ උන්නතියට, සමාජ ප්‍රගමනයට ඉන් ලැබෙනුයේ සුවිශාල පිටුබලයකි. විශේෂයෙන්ම අප වැනි පාවෙන ආර්ථිකයක්, අස්ථාවර ආර්ථිකයක් ඇති රටක ආර්ථික දියුණුව වෙනුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය අතිශයෙන්ම වැදගත්ය.

විදේශීය  අනුකරණයක් නොවූ දේශීය අංගෝපාංගයන් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව අපට බොහෝ කලක සිට පැවැතිණි. එවැන්නක් සම්පාදනය කිරීම පහසු සහ සරල කර්තව්‍යයක් නොවනමුත් සංවාද පවත්වමින්, මහජන අදහස්ද ලබාගනිමින් දැන් හෝ අප එවැන්නකට මුල පිරිය යුතුමය. එහෙත් එය සිදුවිය යුත්තේ නිවැරදිව මිස කඩිමුඩියේ නම් නොවේ. කඩිමුඩියේ කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩුකම් මේ වනවිට හොඳින් පෙනෙන්නට ඇති අතර අප එය පාඩමක් කොටගත යුතුය. පුද්ගල අවශ්‍යතාවන් නොව ජාතික අවශ්‍යතාවන් ඉටු කළ හැකි අන්දමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජාතික කමිටුවක් මගින් සම්පාදනය කළ යුතු ය.
දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරි සැප්තැම්බර් මස මැතිසබයට ඉදිරිපත් කිරීමටද, අනතුරුව පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2/3ක බහුතර බලයකින් සම්මත කර ගැනීමටද රජය දැන් කටයුතු කරගෙන යයි. මේ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ යෝජනා සැප්තැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කර තිබේ. අදාළ මූලික කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා මේ දිනවල සකස් කරමින් පවතී.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත්කර රටේ ස්වෛරීභාවයට උචිත වගන්ති ඇතුළත් කරමින් 20 වැනි සංශෝධනය සීමිත කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම රජයේ අදහස වී ඇත. ජනාධිපතිවරයකුට ධුරයේ කටයුතු කිරීමේ උපරිමය වාර දෙකකට සීමා කිරීම, ජනාධිපති ධුර කාලය වසර 5කට සීමා කිරීම වැනි කරුණු ගැන අඩුපාඩු සකස් කරමින් ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ගැටලු අවම කිරීමට මෙහිදී රජයේ අවධානය ප්‍රමුඛව යොමුවනු ඇත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්ෂණිකව වෙනස් කළ යුතු බවද ඒ සඳහා රජයට 2/3ක විශාල ජනවරමක් ලබාදී ඇතැයිද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
නව ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශයේ අප පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරැ කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළෙමු.
 

19 සහ 13 සංශෝධන රටේ ඉදිරි වැඩට බාධාවක්

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල්

අපේ රටේ 1978 සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට 19 වතාවක් සංශෝධනය කර තිබෙනවා. දැන් මේ ව්‍යවස්ථාව කඩමාල්ලක් බවට පත් වී හමාරයි. අපි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න මෙයට කලිනුත් කතාකරලා තියෙනවා. ඒ නිසා මේ දැන් තිබෙන ව්‍යවස්ථාව පසෙකලා ජනතා අභිලාසයන් මුදුන්පත් කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අපේත් ප්‍රමුඛ අරමුණක්. ලොවක් විශ්මයට පත්කළ ජනාධිපතිවරයෙක් අපට ඉන්නවා. රට හදන්න බලය දෙන්න කියා ඒ මහතා ජාතියෙන් ආයාචනා කළා. ජනතාව දැන් ඒ විශ්වාසය සම්පූර්ණයෙන් අපිට ලබා දී තිබෙනවා. 19 වැනි සහ 13 වැනි සංශෝධනය රටේ ඉදිරි කටයුතුවලට බාධාවක්. මේ නිසා පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉවත්කර ජනතා සිතුම් පැතුම් ඉටුකරන නව ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. මේ රට වෙනස් වෙන්න නම් පවතින ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.

රටේ යහපතට 19 අහෝසි කළ යුතුයි

උක්, බඩඉරිඟ, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලිභෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

19 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි. එය රට වෙනුවෙන් කළයුතු ඉතා වැදගත් වගකීමක්. 19 විතරක් නෙවෙයි සම්පූර්ණ ව්‍යවස්ථාවම අහෝසි කරලා නව ව්‍යවස්ථාවක් ගෙන එන එක තමයි අපේ මූලික අරමුණ. නමුත් දැනට කරන්න තියෙන්නේ 19 අහෝසි කරලා ඒ අවශ්‍ය වෙනස්කම් ටික බලාත්මක කරන්න විතරයි. ඊටපස්සේ රටේ සියලුම පාර්ශවයන් සමග සාකච්ඡා කරලා රටේ සියලු දෙනාට අදහස් ප්‍රකාශ කරන්න ඉඩදීලා රටට ගැලපෙන රටට හිතැති ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවකුත් අපිට තියනවා. කොහොමත් මේ ව්‍යවස්ථා සංශෝධනය රටට ගැලපෙන්නේ නැහැ කියලා අපි එදා විපක්ෂයේ ඉන්න කාලයේ ඉඳලම කිව්වා දැන් ජනතාවගෙන් අපිට වරමක් ලැබිලා තියෙනවා. ඒ යටතේ හැකි ඉක්මණින් මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රටට ද්‍රෝහී නොවන ව්‍යවස්ථාවක් ගෙන එන එක තමයි අපේ බලාපොරොත්තුව.
 

අහිතකර යෝජනා ගෙනාවොත් විරුද්ධ වෙනවා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එනවනම් ඒ පිළිබඳ විද්වත් කථිකාවතක් සමාජය තුළ ඇති කළ යුතුයි. වර්තමාන ආණ්ඩුව ඕනෑකරන ආකාරයට හදිසි පනතක් ලෙස මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්න ආණ්ඩුවට බැහැ. ඒ වගේම මේ 20 වැනි සංශෝධනය කරන්න ජනතාව අතර ජනමතයක් ගොඩනගන්න ඕන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ පනතත් අහෝසි වෙනවා. කොහොමත් පාර්ලිමේන්තුව තුළ සිටින විපක්ෂය ලෙස මොවුන් සිදුකරන මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අපි විමසිල්ලෙන් ඉන්නවා. ඒ වගේම 20 වැනි සංශෝධනය කරන්න යන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තනතුරක් නිර්මාණය කරන්න සහ බැසිල් රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවට එන්න. රටේ ජනතාවට හිතකර, රටට හිතකර සංශෝධනය ගෙන එනවා නම් අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ජනතාවට අහිතකර යෝජනා එනවා නම් අපි ඒකට විරුද්ධ වෙනවා මොවුන්ට බලය ලැබුණු පමණින් හිතුමතයට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කොහොමත් අපි ඉඩක් ලබාදෙන්නේ නැහැ. යම් හෙයකින් ඔවුන් එසේ කිරීමට සූදානම් වුවහොත් ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය පසුබට වෙන්නෙත් නැහැ.
 

මේ සංශෝධනයට අපේ අනුමැතියක් නෑ

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්

අලුත් ආණ්ඩුව මැතිවරණයට පෙර සිටම 2/3 බලයක් ඉල්ලා සිටියේ මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. පහුගිය යහපාලන රජය විසින් ගෙනාපු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවට හිතැති ව්‍යවස්ථාවක්. කොමිෂන් සභා ස්ථාපනය කරලා ජනතාවට තොරතුrq දැන ගැනීමේ අයිතිය තහවුrq කරලා තිබෙනවා. කොහොම වුණත් මේ 19 අහෝසි කළොත් ඒ තොරතුරැ දැන ගැනීමේ අයිතිය නැති වෙනවා. කොහොම වුණත් මේ ව්‍යවස්ථා සංශෝධනය අපි අනුමත කරන්නේ නැහැ. මේක ආණ්ඩුව සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතුමතයට කරන එකක්.
 

20 වැනි සංශෝධනය: අපි විමසිල්ලෙන්

ජාතික ජනබලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය

19 වැනි සංශෝධනය කියල කියන්නෙ අන්තර්කාලීන යෝජනාවලියක්‌. 19 සම්මත වනවාත් සමග ඉතාම කෙටි කාලයක්‌ ඇතුළත නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගැනීම කළ යුතුව තිබුණා. නමුත් එය සිදු නොවීම නිසා යම් අස්‌ථාවර බවක්‌ රට තුළ මතු වී තිබෙනවා. මේ නිසා අඩුම තරමේ රට තුළ යම් ස්‌ථාවර භාවයක්‌ ඇති කරන්න 20 වැනි සංශෝධනය යොදාගත හැකියි. ඒ නිසා ඇත්තටම සිදුවන්නේ අස්‌ථාවර වෙලා තිබෙන රට 20 වැනි සංශෝධනය මගින් ස්‌ථාවර වීමයි. වත්මන් රජය මෙය මොන විදියට ක්‍රියාත්මක කරනවාද කියන එක පිළිබඳව අපි විමසිල්ලෙන් ඉන්නවා.
 
 

19 වැනි ව්‍යවස්ථාව විහිළුවක් වෙලා

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රී

මේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ අටවා ගත් එකක්. ඒ වගේම මේ ව්‍යවස්ථාවේ ගැටලු අර්බුදකාරී තැන් රාශියක් තියනවා මෙවනි අර්බුදකාරී තත්ත්වයන් තිබෙන නිසා මේ ව්‍යවස්ථාව දැන් විහිළුවක් වෙලා තිබෙනවා. ඒ නිසා මේ 19 සංශෝධනය ඉවත් කරලා වර්තමාන ජනාධිපතිවරයාට වැඩකරන පසුබිමක් හදලා දියයුතුයි. ඒ වගේම මේ 20 ව්‍යවස්ථා සංශෝධනය මෙතෙක් පැවති ව්‍යවස්ථාවල සාධනීය කොටස් එකතු කරලා අලුත් ව්‍යවස්ථාවට එක් කළ යුතුයි. ඒ වගේම මේ පිළිබඳව සමාජය තුළ කථිකාවක් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

 සටහන: හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02