2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

හදිසියේ ගිනිගත් තොණ්ඩමන්ලාගේ වැවන්ඩන් මහගෙදර

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 219

යටත් විජිත සමයේදී ඉංග්‍රීසීන් විසින් මෙරට ආර්ථික භෝග වගා කිරීමට සැලසුම් කිරීමේදී ඔවුන් මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වූවේ අවශ්‍ය ශ්‍රමිකයන් සොයා ගැනීමයි. ගම්පොළ ගලහා ලූල්කඳුර වත්තෙන් ඇරඹී තේ වගාව සාර්ථක භාවයට පත් වුවත් මහ පරිමාණ වගාවට යාමේදී මෙම ශ්‍රමික හිඟය උග්‍රව පැවතුණි.

මෙරට සිංහල ජාතිකයන්ගේ ඉඩම් අත්පත් කර ගනිමින් ඇරඹී මෙම තේ වගාව සඳහා ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙස සිංහල ජාතිකයන් එම වතුවල වැඩ කිරීමට යොදා ගැනීමට උත්සාහ දැරුවත් තම පාරම්පරික ඉඩම්වල නැවත කුලීකරැවන් ලෙස වැඩ කිරීමට ඔවුහු අකමැති වූහ.

මේ තත්ත්වය හමුවේ ඉංග්‍රීසි ජාතිකයන් තීරණය කළේ තමන්ගේ තවත් යටත් විජිත රටක් වන ඉන්දියාවෙන් කුලීකරැවන් මෙහි ගෙන්වා ගැනීමය. ඒ සඳහා මොවුන් දකුණු ඉන්දියානු දුප්පත් ද්‍රවිඩ පිරිස් තෝරාගත් අතර ඒ අනුව නැව් මගින් ඔවුන් ලංකාවට ගෙන්වා ගනු ලැබීය.

මුල් කාලයේදී තේ වගාවට සුදුසුම පරිසරය උඩරට කඳුකරය තුළ ඇති බව හඳුනාගෙන තිබූ ඉංග්‍රීසි ජාතිකයන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වාගත් කම්කරුවන් එම ප්‍රදේශවල පදිංචි කරවීම ඇරඹුවේ වගාවට ගැලපෙන ලෙස ඔවුන් යොදා ගන්නා පහසුව සලසා ගනිමින්ය.

තේ වගාවට පහසුවන අයුරින් කොටස් කර (ඩිවිෂන්) මොවුන් පේලි නිවාසවල පදිංචි කරවා එම වතු නම් කරනු ලැබීය. ඒ අනුව ගම්පොළ නුවරඑළිය මාර්ගයේ රම්බොඩ තවලන්තැන්න ප්‍රදේශයේ වත්ත වැවන්ඩන් වතු යාය ලෙස නම් කරනු ලැබීය.
දකුණු ඉන්දියානු පිරිස සමඟ පැමිණි කරැපයියා පිල්ලේ තේ වගාව පිළිබඳ දැනුම්වත්ව සිටි කාර්යශූර අයෙක් විය. මේ නිසාම ඔහු කංකානිවරයකු (සුපර්වයිසර්) ලෙස පත් කරමින් මෙම වැවැන්ඩන් වතු යාය බලා ගනිමින් කටයුතු කිරීමට යොදනු ලැබීය. කලක් යත්ම මොහු එම වත්ත උසස් තත්ත්වයට ගෙන ආ අතර ඒ නිසාම මොහුට යම් යම් පහසුකම්ද ලැබී ඇත.

ඒ යටතේ ඉන්දියාවේ සිටි තම දස හැවිරිදි සෞම්‍ය මූර්ති තොණ්ඩමන් පුතාද මොහු විසින් ලංකාවට ගෙන එනු ලැබීය.

වැවන්ඩන්වත්ත මුල් අවධියේදී ඉංග්‍රීසි ජාතිකයකු පාලනය කොට ඇති අතර ඔහු සිටි වතු බංගලාව 1853 වසරේදී ඉදිකර තිබුණි. ලෝක ප්‍රසිද්ධ රම්බොඩ දිය ඇල්ලට මුහුණලා ඉදිකොට ඇති මෙම නිවස දර්ශනීය පරිසරයක පිහිටා ඇත.
ඊට පහළින් වතු කම්කරැ පේලි නිවාස පිහිටා තිබූ අතර තේ කර්මාන්ත ශාලාවද එම වත්තේ පිහිටියේය.

පසු කලෙක මෙම ඉංග්‍රීසි වතු පාලනය ඉන් ඉවත් වීමේදී 1904 වසරේදී එහි පාලනය කරැපයියා පිල්ලේ හට ලැබී ඇත. මොහු විසින් කැඳවා ගත් සෞම්‍යය මූර්ති තොණ්මන්ද මෙම නිවසේ හැදී වැඩුණු අතර ඔහු වයසින් වැඩෙත්ම එම ප්‍රදේශයේ නම පවත්වා ගනිමින් තොණ්ඩමන් මුදලාලි බවට පත්ව සිටියේය.

ව්‍යාපාර මෙන්ම තේ වගාවද කරමින් ඔහු දේශපාලනයට අත තබමින් ලංකා වතු කම්කරැ කොන්ග්‍රසය නමින් සංවිධානයක් ගොඩ නගා ගෙන ඇත. එහි මුල්ම කාර්යාලය ද ගම්පොළ නගරයේ නුවර වීදියේ කතරගම කෝවිල අසල ආරම්භ කරන්නේද මහත් ඉහළිනි. මේ සඳහා ඉන්දියාවේ සිට නේරු ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර එය 1939වසරේදී විවෘත කොට ඇත. පසුව මෙය කඳුකරයේ පුළුල් දේශපාලන පක්ෂයක් ලෙස ව්‍යාප්ත විය. සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මෙරට පාර්ලිමේන්තුව තුළ රජුන් තනන්නන් ලෙස ප්‍රකටව අමාත්‍යධූර ගණනාවක් දැරීය.

වැවන්ඩන් වත්තේ ගත කළ ගෘහ ජීවිතය සමඟ ඔහුට රාමනාදන් ලෙස සිටි පුතාද දේශපාලනයට පිවිස පසු කලෙක මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය ධූරය ද දැරීය.

මේ අතර සෞම්‍ය මූර්ති තොණ්ඩමන් වසර 87ක් ආයු විඳ 1999 වසරේදී මියගිය අතර ඔහුගේ දේශපාලනය තොණ්ඩමන් රාමනාදන් මහතා ඉදිරියට ගෙන ගියේය. ඉන්පසු ඔහුගේ පුතා ලෙස ආරැමුගන් තොණ්ඩමන් මහතා දේශපාලන කරලියට පැමිණ ලංකා කම්කරැ කොන්ග්‍රසය තව තවත් ශක්තිමත් කළේය.

ඔහුද ලංකා දේශපාලනයේ නොමැකෙන මතක සටහන් තබා තිබුණේ මෙම වැවන්ඩන් නිවස කේන්ද්‍ර කරගනිමින්ය. වසර 56ක් ආයු විඳි ඔහුද පසුගිය මැයි මස 26 දින මියයන විට මෙරට දේශපාලනයට ඔහු තවත් පුතකු බිහිකර තිබුණි. ඒ ජීවන් තොණ්ඩමන්ය

තරුණකම සමඟ උගත්කමද ඇති ජීවන්ද මෙවර මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා අද වනවිට රාජ්‍ය අමාත්‍ය ධූරයකටද හිමිකම් ලබා සිටී. මේ ආකාරයට පරම්පරා 4කට සෙවණ දුන් කොත්මලේ රම්බොඩ වැවන්ඩන් බංගලාව හදිසියේම පසුගිය 18 වැනි දින අලුයම ගිනි ගැනීමට ලක්විය. මෙම ගින්න කොතරම් දරැණු වීද යත් නිවසේ තිබූ සියලු දේ අළු බවට පත්වීමට එතරම් කාලයක් ගත වී නොමැත.

කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතාට අලුයම 3ට පමණ මෙම ශෝචනීය පුවත කනවැකීමත් සමඟ නුවරඑළිය මහ නගර සභා ගිනි නිවන රථද ගෙන්වා ගනිමින් අලුයම 6ට පමණ වනවිට ගින්න මැඩ පැවැත්වුවද ඒ වනවිටත් පරම්පරා 4ක උරුමය විනාශ වී තිබුණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ කොත්මලේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නියන්ගන්ද පුරාණ රජමහා විහාරාධිපති මඩකුඹුරේ ලංකානන්ද නා හිමි

මේ බංගලාව වතු කම්කරැවන්ගේ නායකයන්ගේ මහ ගෙදර විදිහට තමයි පළාතේ ජනතාව සලකන්නේ. මේ නිවසේ පැවැත්වූ උත්සව ආදිය සඳහා රාජ්‍ය නායකයන් මෙන්ම ඉන්දීය ප්‍රසිද්ධ නළු නිළියන් පවා ආවා. මේ නිවසේ සිටි තොණ්ඩමන් පරපුර ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ ඉතා මිත්‍රශීලීව සිටියා. හින්දුන් වුණාට ඔවුන් පිරිත් ඇහුවා, දන් දුන්නා, ශාසනයට උදව් කළා. ජාතිවාදයෙන් තොර ජාතික සමගියේ මන්දිරයක් විදිහට මෙතන තිබුණා කීවොත් නිවැරදියි.

ලංකා කම්කරු කොන්ග්‍රස් ගම්පොල කාර්යාලයේ දිස්ත්‍රික් සභාපති වන කරුපයියා මුරුගේසු මහතා

සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවේ වයස අවුරුදු 10දී. කොළඹ ඉඳන් කෝච්චියේ වැවන්ඩන් වතු බංගලාවට එක්ක ගියා. ඊටපස්සේ ධෛර්යයෙන් කටයුතු කළ එතුමා දේශපාලනයට ඇවිත් 1939දී එහි මුල්ම කාර්යාලය ගම්පොල විවෘත කළේ නේරැතුමාත් එක්ක ඇවිත්. මේ විදිහට ඇරඹි ගමන පරම්පරා 4ක් ඔය නිවසේ හිටියා. අපේ අවාසනාවට ඒ අපේ මහගෙදර ගිනි ගත්තා.

මෙම කතාව සැකසීමේදී ඡායාරූප අනුග්‍රහය සඳහා එස්. රාමසාමි, සුදත් කුමාරසිරි හා ක්‍රිෂාන්තන් යන මහත්වරු සහය වූහ.

ගම්පොල - සුරංග රාජනායක