2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

රටට අවශ්‍යම ජාතික ආර්ථික රාමුව සූදානම්

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වියත් මඟ සාමාජික රංජිත් ප්‍රේමලාල් ද සිල්වා

පාලන බලය ලබාගැනීම සඳහා ප්‍රධාන තුරුම්පුවක් ලෙසට විවිධ ආර්ථික සහන දීමට මැතිවරණවලට තර‘‘ඟ වදින දේශපාලන පක්ෂ පොරොන්දු වන බව සැමවිටම දැකගන්නට ලැබේ. ඔවුන් ජනතාවට ආර්ථික සහන දෙන බවට වේදිකා මත කෑගසන්නේ ඡන්දදායකයන් කෙරෙහි ඇති අනුකම්පාවට නොව කෙසේ හෝ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහාය. මෙවර පැවැත්වූ මහ මැතිවරණයේදී වුවද ජනතාවට රුපියල් 20,000 - 10,000 වශයෙන් ලබා ගැනීම සඳහා තම පක්ෂයට ඡන්දය දෙන ලෙස දේශපාලනඥයන් පැවසූ බව නොරහසකි. එසේ වුවද පාලන බලය ලබාගත්තාට පසු ඔවුන්ට කියූ දේවල් කිරීමට කිසිදු සැලසුමක් නොමැත. භාණ්ඩ මිල අඩු කිරීම, ජීවන වියදම පහළ බැස්සවීම ආදී විවිධ පොරොන්දු ද මෙයට සමාන්තරව යන බොරැ පොරොන්දු පමණකි. මේවාට රැවටී එම පක්ෂ බලයට පත්කළෝ අවසානයේදී දිගටම තමන් පත්කළ ආණ්ඩුවලටම දොස් කියමින් දුක් විඳිති.

දේශපාලනඥයන්ට ආර්ථිකය වෙනුවෙන් මෙලෙස ජනතාව වෙන්දේසි කිරීමට පහසු වී ඇත්තේ අපේ රටේ මේතාක් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හෝ කිසිදු ආර්ථික සැලසුමක් නොමැති නිසාය. එවැනි ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති නිසාම පහසුවෙන් ජනතාව මුලා කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. ඇතැම් අවස්ථාවල මැතිවරණවලට පෙර ආර්ථික ප්‍රතිපත්ති හෝ සැලසුම් ගැන කතා කළද ආණ්ඩු පිහිටවූ පසු වගේ වගත් නැතිව තම කටයුතු කරගෙන යාමට ඔවුහු ආත්මාර්ථකාමී වෙති.
ලෝකයේ බොහෝ දියුණු රටවල ඒවාට ආවේනික වූ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිෂ්ඨාපනය කර තිබේ. එම ප්‍රතිපත්තිවලට අනුකූල වූ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කරන නිසා ආණ්ඩු මාරුවන විට ආර්ථික ප්‍රතිපත්ති මාරැවන්නේ නැත. රුසියාව, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි දියුණු රටවල රජයන්වලට පිළිගත් ආර්ථික ප්‍රතිපත්ති තිබේ. ඒවා ආණ්ඩුවෙන් ආණ්ඩුවට හෝ මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් නොවේ. අපේ අසල්වැසි ඉන්දියාව මෙයට හොඳම උදාහරණයකි. ඉන්දියාව ප්‍රාන්ත රැසකින් සමන්විත සුවිශාල රාජ්‍යයක් වුවද එම ප්‍රාන්තවල ආර්ථික අවශ්‍යතා පදනම් කරගත් පොදු ආර්ථික ප්‍රතිපත්තියක්  එරටට තිබේ. ප්‍රාන්ත ආණ්ඩු මෙන්ම විටින් විට බලයට පත්වන මධ්‍යම ආණ්ඩුවද ක්‍රියාත්මක කරනුයේ එකම ආර්ථික ප්‍රතිපත්තියකි. ඒ නිසා විවිධ දුෂ්කරතා හමුවේ නොසැලී මුහුණදීමට එරටට හැකිවූ බව නුදුරු අතීතය සාක්ෂි දරයි


කලකදී සිංගප්පූරැව අභිබවා ආර්ථික දියුණුවක් ලබා සිටි ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික අගාධයකට ගොදුරැ වී ජනතාවට මැරි මැරී ජීවත්වීමට සිදුව ඇත්තේ මෙම පැළැස්තර ආර්ථික රටාව හේතුවෙනි. අපේ රටේ පවතින්නේ එක් ආණ්ඩුවක් පරාජය වී තවත් ආණ්ඩුවක් බලයට පත්වූ විට මුලින් තිබූ කොතරම් හොඳ ආර්ථික සැලසුමක් වුවද එය හමස් පෙට්ටියට දමා අලුතින් වැඩ පෙන්වීමට යාමේ ක්‍රමයකි. මේ නිසා රටේ ආර්ථිකය එක තැන දුවන තත්ත්වයට පත්ව තිබේ.
මෙවර බලයට පත්වූ නව ආණ්ඩුවට අපේක්ෂා කළාටත් වඩා 2/3 පාර්ලිමේන්තු බලයක් ලබාගැනීමට හැකිවීම නිසා නව ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට අපහසු නැත. එයට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ බද්ධ කර කවර රජයක් බලයට පත්වුවද වෙනස් කළ නොහැකි නීතිමය බලයක් ආරෝපණය කිරීමට හැකිය. එවැන්නක් සිදු වුවහොත් ආණ්ඩු මාරැවෙන් මාරුවන ආර්ථික සැලසුම් කුමන ආණ්ඩුවක් බලයට පත්වුවද වෙනස් නොකරම අවසානය දක්වා ක්‍රියාත්මක කළ හැකිවනවා ඇත.

අපටම ආවේනික වූ ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර එයට නීතියෙන් බලගැන්වීමක් කළ හැකිද යන්න පිළිබඳ අප සමග සංවාදයක නිරත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරැ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ වියත්මඟ ආරම්භක සාමාජික රංජිත් ප්‍රේමලාල් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.
අලුත් ආණ්ඩුවේ අමාත්‍යංශ ස්ථාපිත කර ඇත්තේ නව විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරමිනි. අලුතින් අමාත්‍යංශ බෙදා වෙන්කර ඇති අතර අමාත්‍යවරයා ප්‍රධාන කොට රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල පවරා ඇත. මෙහිදී සැම අමාත්‍යංශයක සහ රාජ්‍ය අමාත්‍යංශයකම ක්‍රියා පිළිවෙළ මෙහෙයවීම සහ අගැයීමට (Monitoring and Evaluation) ක්‍රමවේද සකස් කර තිබේ. මෙහිදී විටින් විට රාජකාරි ඉටු කිරීමේ ප්‍රගතිය සොයාබැලෙන අතර ජනාධිපතිවරයා විසින් පසු විපරම් කිරීමටද කටයුතු කෙරේ. ඒ සඳහා වෙනම අංශයක් ස්ථාපිත කර තිබේ.

මෙම අමාත්‍යංශ ක්‍රියාත්මක වන්නේ මෙයට පෙර තිබුණු ලෙස ෙමන් ඍජුව අදාළ කැබිනට් ඇමැතිවරයා යටතේ නොවන අතර රටට අහිතකර දේ සිදුවේ නම් ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වාතාවරණය සැලසී තිබෙන අයුරු පරිපාලනය සකස් වී තිබේ. එසේම ජනතාවටද ඇමැතිවරුන් මඟහැර ගොස් ජනාධිපතිට කරුණු ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසී ඇත. වෘත්තීයවේදීන් අවශ්‍ය අවස්ථාවල ජනාධිපතිවරයා මෙහෙයවීම මගින් ඉදිරි කටයුතුවලට මග පෑදෙයි.
මෙම නවතම ක්‍රමවේදය නිසා රටේ මෙතෙක් නොවිසිඳුණු ආර්ථික ගැටලුවලට මෙන්ම සමාජ ප්‍රශ්නවලටද සාර්ථක විසඳුම් ලබාගැනීමට හැකිවෙනු ඇත.

මෙතෙක් කල් රටේ ආර්ථික ක්‍රියාවලිය ගමන් කළේ නිදැල්ලේ මෙන්ය. එය එක එක ඇමැතිවරැන් සහ විවිධ ආණ්ඩු නොයෙක් පටු අරමුණු ඔස්සේ ක්‍රියාත්මක කළ බවක් දක්නට ලැබුණි. එක ආණ්ඩුවක වුවද එක් ඇමැතිවරයෙක් ගන්නා තීරණ අනිත් ඇමැති නොදනී. ඔවුන් ගත් තීරණ අතර විවිධ ගැටුම් ඇතිවීම වැළැක්වීම අපහසු විය. මෙම තත්ත්වය වළකාගෙන සමස්ත රජයටම පොදු වූ ආර්ථික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අද ගොඩනගාගෙන ඇති ව්‍යුහය අනුව පහසු වෙයි. මෙහිදී රජය තනන ආර්ථික ප්‍රතිපත්ති දිගටම වළංගු විය යුතු අතර ඇමැතිවරුන් මාරුවීම හෝ ආණ්ඩු මාරුවීම නිසා වෙනස් නොවීම වැදගත් ලක්ෂණයකි.
දැනට ඇති ප්‍රධානතම ආර්ථික ගැටලු වන වෙළෙඳ පරතරය වැඩිවීම, විදේශ විනිමය තුළනය කිරීම, දළ ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම, ජීවන වියදම අඩු කිරීම, රුපියලේ අගය ස්ථාවර මට්ටමකට ගෙන ඒම ආදිය අවම කිරීම පිළිබඳ ප්‍රමුඛත්වය දෙමින් අපේ ආර්ථික සැලසුම් අපටම ආවේනික පරිදි සකස් කළ හැකි වෙයි. රටටම ආවේනික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර එය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ කළ විට එය අනාගතයේ ඇතිවන වෙනත් ආණ්ඩුවලට වුවද පහසුවෙන් වෙනස් කිරීමට අපහසුය. එවිට නිරායාසයෙන්ම අලුතින් සකස් කරන ආර්ථික සැලසුම් නිත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමට අපහසු නොවෙයි. මෙම වැඩපිළිවෙළ තාවකාලික හෝ දිගටම රුගෙන යාම සහතික කළ හැක්කේ ව්‍යවස්ථාවට ඇතුළත් කර නීතියක් ලෙස බලගැන්වීමෙනි.

මේ වනවිට ව්‍යවස්ථා වෙනසකට ජනවරම ආණ්ඩුවට ලැබී තිබේ. පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් හෝ මුළුමනින්ම අලුත් ව්‍යවස්ථාවක් තැනීමේදී හෝ අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ එයට අඩංගු කර ක්‍රියාත්මක කිරීමට පහසුවෙයි. ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේදී මනා ලෙස සලකා බලා අවශ්‍ය විද්වතුන්ගෙන් උපදෙස් ලබාගෙන විද්‍යාත්මක සමීක්ෂණයකින් පසු තීරණ ගතයුතුය. එයට හේතුව මේවා ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති බවට පත්වන නිසා විටින් විට වෙනස් කිරීමට කටයුතු කළ නොහැකිවීමය.

දැනට අප ගමන් කරන ආර්ථික දිශානතිය එකවරම වෙනස් කළ නොහැකිය. ආනයන ආදේශන ප්‍රතිපත්ති (Import substitution Policy) ඔස්සේ ඉදිරයට යාම සුදුසු වේ. මෙහිදී බොහෝවිට රුපියල් ශත මත තීරණ ගත හැකි නොවේ. උදාහරණයක් ලෙස පැවසුවහොත් සහල් කිලෝව රුපියල් 60 බැගින් පිටරටින් ආනයනය කර දිය හැකි නමුත්, ලංකාවේ සහල් නිපදවා අලෙවි කළ හැක්කේ රුපියල් 100 නම් අප මුදල් මතම නොයැපී අපට ගැලපෙන ක්‍රමය තෝරාගත යුතුය. එනම් රුපියල් ශත මත නොසලකා වැඩි මිලට වුවද දේශීය සහල් පාර්භෝජනයට නැඹුරු විය යුතුවෙයි. මෙවැනි තත්ත්වයක් ගොඩනගා ගත හැකි නම් ලෝක ආර්ථික අර්බුදයකදී වුවද අපට පහසුවෙන් එයට මුහුණ දීමට හැකිවෙයි.

කෝවිඩ් 19 මර්දනයේදි රුපියල් ශත මත තීරණ නොගත් නිසා අපට එය පහසුවෙන් මර්දනය කළ හැකි විය. ලාභ පාඩු ගැන සැලකුවා නම් අපට කිසිදා මෙම අර්බුදයෙන් ගොඩයාමට නොහැකි වනවා ඇත. මෙහිදී අප තීරණ ගන්නේ ජනතාවගේ ජීවිත මත සලකා බලමිනි.

රටේ ආහාර නිෂ්පාදන ප්‍රතිපත්තියද එලෙස පුළුල් ලෙස සකස් විය යුතුවෙයි. අවශ්‍ය වන්නේ ලාබෙට කෑම නොවේ. පෝෂණ ගුණයෙන් යුතු හොඳ ආහාරවලට නැඹුරුවීමකි. ආහාර සුරක්ෂිතතාව ගැන අවධානය යොමුකළ යුතුයි. එවිට ගැටලුවක් පැමිණියද ජනතාවට පෝෂ්‍යදායී ආහාර ලබාදීමට බැඳී ඇත. දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සඳහා ආනයන නැවැත්වීම හෝ දුර්වල කිරීමට කටයුතු කෙරේ. සම්පූර්ණයෙන් දේශීය ලෙස නිෂ්පාදනය කළ නොහැකි දේ සඳහා බදු පනවා ආනයන අධෛර්යමත් කිරීමට පියවර ගන්නා අතර දේශීය නිෂ්පාදන දිරිමත් කරනවා ඇත.

දේශීය බීජ නිපදවා ගොවියාට බෙදා දී ගොවියා දිරිමත් කරන අතර, අක්කර 1/2 ½ක ප්‍රමාණයකට බීජ නොමිලේ දීමටද අක්කර 5 දක්වා සියයට පනහක් මිල අඩුකර දීමටද කටයුතු පිළියෙළ කර ඇත. ගොවිජන සේවා මධ්‍යස්ථාන තුළින් නවීන තාක්ෂණය Eforable Technology ප්‍රචලිත කරන අතර කෘෂි රක්ෂණ ක්‍රමය මගින් වගාහානි ප්‍රතිපූර්ණය කෙරේ. ඩිජිටල් වෙළෙඳ රටාව (Digital Marketing System) මගින් මෙතෙක් කල් ආර්ථික මධ්‍යස්ථානවල විකෘතිව තිබූ මිල කිරීම් යාවත්කාලීන කිරීමට කටයුතු සිදුවේ. ගොවි නිෂ්පාදන අතරමැදියාට යාම නවතා කෙළින්ම ගොවියා සහ පාරිභෝගිකයා සම්බන්ධ කිරීම සඳහා Forward Purchasing Agreement වලට එළඹෙනවා ඇත. බෝග වර්ග 15ක් රජය ඍජුවම මිලට ගැනීමේ ක්‍රමවේදයක් දැනට තනා ඇති අතර ගොවියාට වඩා ලාභදායී ලෙස තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට පහසුකම් සලසා තිබෙන බව පැවසිය යුතුය.

මේ ආකාරයට කටයුතු කිරීමෙන් ධනාත්මක වෙළෙඳ පරතරයක් ඇතිකිරීමට කටයුතු කෙරෙන අතර,රුපියල ස්ථාවර වීම නිසා කෙටි කාලයකින් සියයට 6-7 ප්‍රමාණයක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට කටයුතු කිරීම නව රජයේ බලාපොරොත්තුව වේ. මෙතෙක් ව්‍යවස්ථා සකස් කළේ සහ සංශෝධනය කළේ පෞද්ගලික අවශ්‍යතාවලට නමුත් මේ වනවිට ව්‍යවස්ථාව පාවිච්චි කරන්නේ ජාතික වැදගත්කමකින් යුත් අවශ්‍යතා සඳහා පමණි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති මේ වනවිට තනා අවසන්ව ඇත. ඒ සඳහා විද්වතුන්ගේ උපදෙස් පරිදි ප්‍රතිපත්ති රාමු සකස් කර තිබේ. දැන් සිදුවිය යුත්තේ සැලසුම් තනා ක්‍රියාත්මක කිරීම පමණි. විවිධ මට්ටමේ ආර්ථික සැලසුම් මෙම කෙටි කාලය තුළ ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා නොවැම්බර් 16 වැනිදා වැඩ බාරගෙන නොවැම්බර් 29 දින වනවිට ප්‍රති අපනයනය තහනම් කළේය. මේ එක් උදාහරණයකි. ආණ්ඩු මාරුවන විට සමස්ත ආර්ථික හා ජාතික ප්‍රතිපත්ති වෙනස් නොවන ලෙසට නීතියෙන් බලගැන්විය යුතුවෙයි. රට ගෙන යන දිශාව පාර්ලිමේන්තුවෙන් පවා වෙනස් කළ නොහැකි අතර එවැනි ප්‍රතිපත්තිමය වෙනසක් කිරීමට ඍජුවම ජනතාවගේ කැමැත්ත ලබාගැනීමට නීති සකස් වනු ඇති අතර, එය පාර්ලිමේන්තුවේ 2/3 බලය අභිබවා යන බලයක් වනවා ඇත.

 යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02