2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීමට අත්වැලක්

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

නව කොරෝනා වෛරස් වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් ලෝකයේ සියලුම රට රාජ්‍යයන්ට මෙන්ම සෑම ක්ෂේත්‍රයකටම දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද එය දැඩි ලෙස බලපෑම් කර තිබේ.පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඇති වූ ආර්ථික කඩා වැටීමෙන් යාන්තම් හිස ඔසවාගෙන එන කාලයක පැමිණි කොරෝනා වෛරසය අපේ ආර්ථිකයේ ප්‍රධානම සාධකයක් වන සංචාරක ව්‍යාපාරය සමතලා කර දමා තිබේ.

ජාතික සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්ය හා රැහුණේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල වෙහෙසක් දරන ජයදේව සුදුසිංහ මහතා අප හා කතාබහට එකතු වූයේ අප රටේ ජාතික මූල්‍ය අර්බුදයට සංචාරක ව්‍යාපාරය හරහා ලබාගත හැකි ප්‍රායෝගික විසඳුම් හා යෝජනාවලියක් අප රටේ නායකත්වයට හා අදාළ බලධාරීන්ට යොමු කර තිබීම සම්බන්ධයෙනි. එම යෝජනාවලියේ අඩංගු කරැණු ඔවුන්ගේ අවධානයට භාජනය වේයැයි අපේක්ෂා කරමු.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ අප රටේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටුයුතු කරන සුදුසිංහ මහතා රැහුණේ සංචාරක හෝටල් කීපයක ද හිමිකරුවෙකි.

මම තිස්සමහාරාමයේ උපන් කෙනෙක්. හැදුනෙ වැඩුනෙත් රුහුණේ. සංචාරකයන් විශාල වශයෙන් තිස්සට එනන් කැමති එහි ඇති ස්වාභාවික පරිසරය, මනස්කාන්ත දර්ශන හා වනෝද්‍යාන වගේම ඓතිහාසික ස්ථාන බොහෝමයක් නිසයි.

එදා අපට කටුනායක ගුවන් තොටුපොළින් සංචාරකයන් රැගෙන රුහුණට එන්න වරැවකට වඩා කාලයක් යනවා. ඒත් හිටපු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සංකල්පයක් මත නිර්මාණය වූ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වගේම මාගම්පුර හම්බන්තොට වරාය නිසා අපට සංචාරකයන් රුහුණට ගෙන්වා ගන්නට ඒ තරම් කාලයක් වැය කරන්න අවශ්‍ය නැහැ. රුහුණ අපේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් කිරීමෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරයට විශාල වාසි රැසක් ලබාගත හැකියි.

මේ පිළිබඳව විස්තරාත්මක යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතට පත් කරන්න මම සහ ජාතික සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරැන් කටයුතු කළා. දැක්මක් ඇති නායකයෙක් හැටියට ජනාධිපතිතුමා මේ කෙරෙහි අවධානය යොමු කර අපේ සංචාරක කර්මාන්තය නගා සිටුවන්නට කටයුතු කරයි කියලා අපට ලොකු විශ්වාසයක් තිබෙනවා.

සංචාරකයන් ලංකාවට ගෙන්වන ආයතන කොයිතරම් තිබුණත් ඔවුන් සමඟ රට වටේ ගොස් සති ගණන් ඔවුන්ට අපේ රට පිළිබඳව ලස්සන චිත්‍රයක් මවලා දෙන්නෙ ජාතික මාර්ග උපදේශක කථිකාචාර්යවරු වන අපි. ඒත් සංචාරක ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් තිබෙන අපෙන් සංචාරක මණ්ඩලයේ හෝ රජයේ බලධාරීන් නියම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. සංචාරක ව්‍යාපාරයේ දියුණුවට අදාළ කාරණා, යෝජනා රුසක් අප සතුව තිබෙනවා. මොකද සංචාරකයන් සමඟ උරෙනුර ගැටී වැඩ කරන්නේ අපි. අපේ රටේ හොඳ ප්‍රතිරූපයක් සංචාරකයන්ගේ මනසේ ඇති කරන්නෙ අපි.

දැනට ඇති වී තිබෙන කොවිඩ් 19 තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරය කඩා වැටීමකට ලක් වෙලා තිබුණත් අපට එය ඉක්මනින්ම නගා සිටුවන්න මේ මොහොතේ සිටම සැලසුම් හදාගන්නට අවශ්‍ය වෙනවා. මේ සැලසුම් සඳහා ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයන් අදාළ අංශවලට පත්කරන්න කියා අපි ජනාධිපතිතුමන්ගෙන් ආයාචනා කර සිටිනවා. එතුමන් වගේම අපිත් මේ රටට ආදරෙයි. සංචාරක ව්‍යාපාරය තව අවුරුදු දෙක තුනකින් මේ රටේ ප්‍රධාන විදෙස් විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් කරන්න පුළුවන් අපි හැමෝම සහයෝගයෙන් හා කැපවීමෙන් කටයුතු කළොත්.

විදෙස් රටවලින් මේ රටට සංචාරකයන් යළි පැමිණෙන්නට අවම වශයෙන් තව මාස 6ක් හෝ 7ක් යාවි. අපි මේ වෙලාවේ දේශීය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ. දේශීය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපි එය සමාජයේ ප්‍රචලිත කළ යුතුයි. උදාහරණයක් ලෙස, රැහුණට සංචාරය සඳහා එන දේශීය සංචාරකයන්ට රුහුණේ තියෙන වැදගත්කම ගැන, ඓතිහාසික විහාරස්ථාන ගැන වටිනාකම් වගේම ඒවායේ ඉතිහාසය ගැන ඔවුන් දැනුවත් කළ යුතුයි. ලංකාවේ වැඩිපුරම වනෝද්‍යාන තියෙන්නේ රැහුණේ. යාල, උඩවලව, බූන්දල, වෙහෙරගල වගේම රැහුණේ තියෙනවා වැව් පහක්. විදේශීය සංචාරකයන්ගේ හා අපේ දේශීය සංචාරකයන් අතර තිබෙන කැමැත්ත හා බලාපොරොත්තු වෙනස්. අපි අපේ දේශීය සංචාරකයන්ගේ ආකල්ප වර්ධනයටත් උදව් කළ යුතුයි.

ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව අපට පුළුවන් එක් දවසේ වැඩසටහන් සැලසුම් කරන්න. එහෙමත් නැත්නම් සති අග දවස් දෙකේ වැඩසටහන්. දේශීය සංචාරකයන්ගේ කැමැත්ත පරිදි අපට ඒවා සංශෝධනය කරන්න පුළුවන්. මම මේ වගේ අලුත් වැඩසටහන් කීපයක් සැලසුම් කරගෙන යනවා දේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන.

රුහුණේ මනස්කාන්ත දර්ශන තල තියෙනවා චිත්‍රපට රෑගත කිරීම්වලට ඉතාම සුදුසු. අපි ඒ ලස්සන තැන් ගැන විස්තර විදෙස් චිත්‍රපට සමාගම්වලට යොමු කරන්න ඕනේ. විදේශිකයන් අපේ රටට ඒ ලස්සන තැන් හොයාගෙන චිත්‍රපට හදන්න ආවම ඒ අයට ලැබෙන ප්‍රතිලාභ මොනවද? අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද? අපි මේවා ගැනත් දැනුවත් විය යුතුයි.

ජාතික මාර්ග සංචාරක උපදේශක කථිකාචාර්යවරැන්ට විදෙස් භාෂාවන් රුසක් කතා කරන්න පුළුවන්. විදේශිකයන්ගේ ජීවන රටා, ඔවුන්ගේ විවිධ සංස්කෘතීන් ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා. මෙවැනි කාර්යයන්හිදී අදාළ බලධාරීන්ට අපේ නොමද සහාය ලබාදෙන්නට අපි සූදානම්.* ඔහු කියා සිටියේ පසුගිය කාලය තුළ ජාතික සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරැ බොහෝදෙනකු මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා ගැනද සිහිපත් කරමිනි.

මේ අය වෙනුවෙන් සහනදායි ණය ක්‍රමයක් ඉල්ලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ගේ අවධානයට එම ඉල්ලීම් යොමු වනු ඇතැයි මම විශ්වාස කරනවා

  රමේෂ් උවයිස්