2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

අමෙරිකාවටම වැදුණු ට්‍රම්ප්ගේ TIK-TOK ටොක්ක

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල නැවත පරළ වී සිටියි. ලෝකෙට ලොක්කා යැයි තමන්ම පුරසාරම් කියාගන්නා ඔහු මෙවර කැළඹුණේ ලාබාල කොලු-කෙලිත්තන්ගේ විගඩම්කාර සමාජ ජාල යෙදවුමක් වූ TIK–TOK නිසාය. මේ වසරේ සැප්තැම්බරය වනවිට අමෙරිකාව තුළ TIK-TOK පාලනය තමන්ට හිතවත් මයික්‍රෝසොෆ්ට් වෙත පවරා නොදුන්නොත්  TIK-TOK සතු බටහිර විශාලතම වෙළඳපොළ තහනම් කරන බවට ඔහු දැන් තර්ජනය කර හමාරය. සැප්තැම්බර් 20 වනවිට මේ තහනම ඇරුඹීමට අවශ්‍ය විධායක නියෝගය ට්‍රම්ප් අස්සන් කළේ මේ මස මුලදීය. මේ තහනම සමග TIK-TOK දැනට භාවිත කරන මිලියන 100ක්ද, අමෙරිකාව TIK-TOK ආයතනයේ සේවකයන් 1500කගේ රුකියාද අනතුරට ලක්ව හමාරය.

මේ හදිසියේ TIK-TOK වෙත ටොක්කක් අනින්නට ට්‍රම්ප් පෙළඹුනේ ඇයි? ඔහු මේ වහෙන් ඔරෝ පහර දෙන්නේ චීන ආර්ථිකයටද? මේ ඇවිළ යන්නේ චීන - අමෙරිකා සීතල ආර්ථික යුද්ධයේම තවත් ගින්නක්ද? දැන් කාගේත් සිත් කළඹන ආන්දෝලනාත්මක ගැටුම බවට පත්ව ඇත්තේ මෙයයි.

චීන සමාගමක් වන “බයිට් ඩාන්ස්” Byte Dance, තැනූ  වීඩියෝ හුවමාරැ යෙදවුමක් වන TIK-TOK ඇරඹුණේ 2016 දී වුවද එය නියමාකාරයෙන් අළුගසා දමා කලඑළි බැස්සේ 2018 දීය. එම වසර වනවිට එම සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 78ක්ව තිබුණි. මේ වනවිට ලොව රටවල් 154 පුරා භාෂා 40කින් ක්‍රියාත්මක මේ සමාජ ජාලයට ක්‍රියාකාරීව සම්බන්ධ පිරිස දළ වශයෙන් මිලියන 800කි. ඉතා කෙටි කලකින්ම වසංගතයක් මෙන් තරැණ පිරිස අතර පැතිර ගිය TIK-TOK නොමිලේ බාගත කරගත හැකි ‘ඇප්’ අතර ජනප්‍රියතාවයෙන් 2 වැනි තැන ගෙන ඇත. ඉන්දියාව තුළ ක්‍රියාකාරී සමාජික සංඛ්‍යාව මිලියන 119ක් වන අතර චීනයේ එය මිලියන 400කි. මෙය ආසියානු කලාපයේ දැඩිව පැතිර ගිය ජාල යෙදවුමකි. අමෙරිකාව තුළ සහ බටහිර රටවල ෂෑංග් හයි මූලික කරගත් “මියුසික.ලි - Musical.ly” නමැති සමාගම ලෙස මෙය ක්‍රියාත්මකව ඇත. මෙයින් ලැබෙන  ආදායමෙන් සියයට 20ක්ම ලැබෙන්නෙ අමෙරිකාවෙනි. අමෙරිකාවෙ වයස 18-24ත් අතර කාණ්ඩය තුළ මෙය වඩාත් ප්‍රචලිතය. නමුත් මේ වනවිට රටවල් කිහිපයක එය තහනමටද ලක්ව ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක් ලෙස එය ලබා ඇති කුප්‍රකට ජනප්‍රිය බව නිසාය. අසල්වැසි ඉන්දියාව එයට මූලිකත්වය ගත් රටකි. බංග්ලාදේශය සහ පාකිස්තානය එය තාවකාලිකව අවහිර කර තිබේ. ඉන්දියානු තහනම හේතුවෙන් ඩොලර් බිලියන 6ක පාඩුවක් සිදුවෙතැයි ගණන් බලා තිබේ. දැන් අමෙරිකානු තහනම එන්නේ මේ අතරය.

අමෙරිකාව සහ චීනය අතර වෙළඳ අර්බුදය කාලයක් තිස්සේ අළුයට ගිනි පුපුරු සේ තිබුණි. එයට වරින්වර තෙල් වත් කළේ ට්‍රම්ප්ය. අන්තිමේදී චීනය හා අමෙරිකාව 2018 ජනවාරි 22 වැනිදා සිට වෙළෙඳ යුද්ධයකට අවතීර්ණ වූහ. ඊට හේතුවූයේ දෙරටම එකිනෙකා මත පැනවූ බඳුය. අන්තිමේදී මේ අර්බුදය යම්තාක් දුරකට නිරාකරණය වූයේ මේ වසරේ මුලදීය. අමෙරිකාව සහ චීනය අතර ඓතිහාසික වෙළඳ ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන උප අගමැති ලියු හී ධවල මන්දිරයේදී අස්සන් තැබීමත් සමගිනි.

එම ගිවිසුම තුළින් අමෙරිකා-චීන වෙළඳ අර්බුදය ලිහිල් කරගැනීමට අපේක්ෂා කළ  අතර 2017 වසරට සාපේක්ෂව අමෙරිකානු ආනයන, අමෙරිකානු ඩොලර් බිලියන 200කින් වැඩිකිරීමටත් බුද්ධිමය දේපළ නීති වඩා ශක්තිමත් කිරීමටත් චීනය මෙහිදී පොරොන්දුවක් ලබාදී තිබුණි. ඒ අනුව චීන නිෂ්පාදන මත අලුතින් පැනවූ තීරුබදු අඩකින් කපා හැරීමට අමෙරිකාව එකඟ වීය. 

මෙලෙස ලෝක ආර්ථික බලවතුන් දෙදෙනා අතර පූර්ණ වෙළෙඳ යුද්ධයක් ඇති නොවීමට වගබලාගත හැකිවීම ජයග්‍රහණයක් වුවද ට්‍රම්ප් වරින්වර සිය කටමැත දෙඩීමේ ප්‍රතිපත්තිය ලිහිල් කළේ නැත. නව කොරෝනා වයිරසය, හොංකොං හි තත්ත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෑත කාලයේ ට්‍රම්ප් හිතුමතේ දොඩමළු වූයේ චීනයට චෝදනා කරමින් ඔහුට පුරුදු පරිදි රාජතාන්ත්‍රික මට්ටමද ඉක්මවා යමිනි. කොරෝනා වසංගතය වෙනුවෙන් චීනය වන්දි ගෙවිය යුතු යයි දවල් හීන දකින තැනට ලෝක නායකයින් තල්ලු කිරීමට ඔහු ප්‍රබල උත්සාහයක යෙදිනි. චීනය හා ඇමෙරිකාව අතර නව සීත යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මේ නිසා මතුවෙමින් පවතින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කර තිබුණේ මේ අතරය.
දැන් මේ හදිසියේ මතුව ආ TIK-TOK විරෝධයද ඇමෙරිකාවේ දේශපාලන නායකයින් , චීනය නව සීත යුද්ධයකට” තල්ලු කිරීමට දරන උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස අර්කථනය කෙරෙනු දක්නට හැකිය.
එහෙත් TIK-TOK හුටපටය හා සම්බන්ධ ආසන්නතම සැඟවුන අතුරු කතාවක් තිබේ. ට්‍රම්ප් මේ තරම්ම හදිසියේ දැඩි TIK- TOK විරෝධියකු වූයේ ඇයිද යන්න ගැන එය දෙන්නෙ අමුතු උත්ප්‍රාසවත් ඉඟියකි. මේ කතාවට අදාළ සිද්ධිය ඇරැඹෙන්නේ ට්‍රම්ප්ගේ 2020 ජනාධිපතිවරණ සටනේ මංගල රුළියත් සමගිනි.

2020 ජූනි මස 20 වැනිදා ට්‍රම්ප් යෝධ රුළියක් සූදානම් කර තිබුණි. ඔක්ලහෝමාවල ටුල්සිවල පිහිටා ඇති ගෘහස්ත යෝධ වේදිකාවක් සහිත Bank of Oklahoma Center හිදීය. ට්‍රම්ප් මේ රැළිය පැවැත්වූයේ රට තුළ කොවිඩ් 19 වසංගතය පාලනයකින් තොරව ඉහළ යමින් වෛද්‍යවරු අනතුරු ඇඟවීම් කර තිබියදී තමන්ට සුපුරුදු හිතුවක්කාර අයුරිනි. ඔහු වගාඩම්බර කීවේ තමන් මිලියන ගනනක ජනසන්නිපාතයක් මෙතැනට ගොඩ ගසන බවටය. ඔහු ඒ සඳහා ඩොලර් මිලියන 2.2ක් වෙන්කර තිබුණි. මේ කාලයේ කොවිඩ්19 අනතුර මෙන්ම කළු ජාතිකයන්ට කළ අසාධාරණය ගැන රාජ්‍ය විරෝධයද ඉහළ අඩියක විය. හිතුවක්කාර ට්‍රම්ප් ගැන තරුණ පෙළ තුළ වූයේ දැඩි විරෝධයකි. ආරක්ෂාව ගැන අනතුරු ඇඟවීම් පැමිණියද ට්‍රම්ප් මේ මංගල රුළිය ඇඳිරිනීතිය දමා හෝ පවත්වන්ට තීන්දු කළේය. ඔහු මෙහිදී සෙනඟ ගෙන්වීමට අලුත් උප්පරවැට්ටියක් හඳුන්වාදී තිබුණි. ඒ ඔන්ලයින් ඔස්සේ කලින් ආසන වෙන්කිරීමේ පහසුව ලබාදීමය. ට්‍රම්ප් විරෝධී රටේ තරැණ පෙළ සිය ජනප්‍රිය TIK- TOK මාධ්‍ය ඔස්සේ ට්‍රම්ප්ට පාඩක් ඉගැන්වීමට ප්‍රචාරයක් ගෙන ගියහ. දහස් ගණන් ටිකට් බුක් කරමු - හිස් ආසන මැද ඔහු තනි කරමු!” යන්න ඔවුන්ගේ උප්පරවැට්ටිය විය. ඒ අනුව ට්‍රම්ප් උන්මාදනීය තත්ත්වයට පත් කරමින් මිලියන ගණනක් කලින් ආසන වෙන්කර තිබුණි. නමුත් රැළිය පවත්වන විට ට්‍රම්ප් සිටියේ හිස්ව ගිය නිල් පැහැති ආසන දහස් ගණනක් මැද තනිවය. සාමාන්‍යයෙන් මේ ගෘහස්ත අංගනය තුළ 19000කට අසුන ගත හැකිය. නමුත් එදා ට්‍රම්ප්ගේ මංගල රැළියට ආවේ යාන්තම් 6200කි. ට්‍රම්ප් මතක හිටින පාඩමක් එදා ඉගෙන ගත්තෙ TIK- TOK මාධ්‍ය ජාලයේ මෙහෙයුම මගිනි. එදා සිට ට්‍රම්ප් TIK- TOK මාධ්‍යය රට තුළ ඔත්තු බලන බවටත් සිය පුරවැසියන්ගේ දත්ත චීන කොමියුනිස්ට් පක්ෂයට ලබා දෙන බවටත් චෝදනා කරන්නට විය. සිය චීන විරෝධය ඔහු TIK-TOK එරෙහි විරෝධය යටපත් කරන්නට ඉදිරියට ගත්තේය.

TIK-TOK කෙටිකලකින් ජනප්‍රිය භාවයක් ලබා පැතිර ගිය ආකාරයටම ලෝකය පුරා එයට එරෙහිව නැඟී ආ සංස්කෘතික පොලීසියේ විරෝධයද සුළුපටු නොවීය. මහා සංස්කෘතියකට හිමිකම් කියන ඉන්දියාව TIK-TOKඇතුළු චීන “ඇප්” ගණනාවක්ම මේ නොබෝදා තහනම් කළේය. එය TIK-TOK මවු සමාගම “Byte Dance,” හි ආර්ථිකයට වැදුනු පහරකි. ලෝකයේ තවත් රටවල්ද TIK-TOK උමතුව තහනම් කිරීමට පිඹුරු පත් සකසමින් සිටියහ. මේ නිසා “Byte Dance,” උන්නේ තමන්ගේ පාඩුලබන ව්‍යාපාරය සෑහෙන ගාණකට කාගේ හෝ ඇඟේ ගසා අත පිහදා ගැනීමේ අභිලාෂයෙනි. කතාවට කියන්නේ චීනය තමන්ගේ නිෂ්පාදන තනන්නේ මාස 06ක කාලයකට කියාය. ඒ කාලය තුළ උපරිමය ලාබ ගත් පසු මේ ව්‍යාපාර අතුරුදන්ව ෆීනීක්ස් පක්ෂී උපත මෙන් වෙනත් ව්‍යාපාර ලෙස  උපත ලබයි. TIK-TOK තිබුණේද මේ ෆීනික්ස් පෙරුළියට ඉතා ළංවය. දැන් ඒ අතර ලෝප්‍රකට සමාගමක් වාසිදායක ලංසුවක් රැගෙන TIK-TOK පවරාගන්නට ගෙදරටම පැමිණ හමාරය. ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙනි. ට්‍රම්ප් ටොක්ක අනින්නට හැදුවේ TIK-TOK ජාලයට වුවත් අන්තිමේ එය වැදුණේ තමන්ගේම මයික්‍රෝසොෆ්ට් සමාගමටය. මෙතැනදී ට්‍රම්ප් සමාන වන්නේ එකක් කඩතොළු මකාගන්නට ගොස් ෙදකක් කඩතොළු හදාගත් ආචාරියාටය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02