2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

අහන-දකිනකොට ඇඟම හිරිවැටෙන නිරෝෂන්ගේ කතාව

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

මරණය අභියසටම ගිය ඔහුට නැවත ජීවත්වන්නට වරම් ලැබුණි. කේ.ඒ. ලෙනින් නිරෝෂන් කුමාර මරණය අභියසට ගියේ ඔහුගේ වැරැද්දකින් නොවේ. ජීවිතය හැරදා යන්නට තිබූ අවසන් මොහොතක ඔහු නැවතත් හුස්ම ගත්තේය. නමුත් අදටත් ඔහු ගෙවන්නේ මේ කිසිම දෙයක් නොදකින දෙඇස් අඳ ජීවිතයකය.

අවුරුදු දහසයක් දෙඇස්වලින් ලෝකය දැකපු ලෙනින්.... හොඳට ඉගෙන ගෙන මවටත්, පියාටත් සලකන්නට හීන ඇහිඳපු ලෙනින් අද ගෙවන්නේ අන්ධකාර වුණ කිසිවක්ම නොපෙනෙන ජීවිතයකි. කොහේ හෝ, කවුරුන් හෝ කෙනෙකුගෙන් සිදුවූ අත් වැරදීමකින් අද ඔහුගේ ජීවිතයම අඳුරේය.

ටී.ඒ.කේ. සුජාතා මැණියන්ගේත්, කේ.ඒ. අනිල් කපිල කුමාරගේත් ජීවිතවලට එකතුවුණ පුතණුවන් වූයේ කේ.ඒ. ලෙනින් නිරෝෂන් කුමාරය. කුඩා කල සිටම ලෙනින් මවටත්, පියාටත් කීකරු දරුවෙක් විය. මේ වසර දහසයටම ලෙනින් තම පියාගෙන් දඬුවමක් ලැබුවේ එකම එක වරක් පමණි. ඒ වයස අවුරුදු තුනේදීය. ඒ අමතක නොවුණ පුංචි දඬුවම අදටත් අනිල්ට හොඳට මතකය. එතැන් සිට ජීවිතේ කිසිමදාක තම පුතනුවන් තමාටවත්, තම බිරිඳටවත් වදයක් නොවුණ බව අනිල් පවසන්නේ දෑසේ කඳුළු පුරෝගෙනය.

එයාට වයස අවුරුදු තුනේදී මම කොහේවත් යන්න එපා කියල කියපු දවසක පොඩ්ඩක් එහාට ගියපු නිසා ඉරටුවකින් පාරක් ගැහුවා. ඒ තමයි මගේ ජීවිතේ මම එයාට කරපු එකම දඬුවම. පුතා හරිම කීකරැ, හරිම අහිංසක දරැවෙක්. ඉගෙන ගන්නත් හරි ආසයි. කවදාහරි ලොකුවෙලා රස්සාවක් කරලා අපි දෙන්නට බලාගන්නව කියල කියපු මගේ පුතා...

ජීවිතේ බොහෝ කප්පරක් බලාපොරොත්තු තියාගෙන හිටපු එකම දරුවාට සිදුවුණ ඉරණම අදටත්, අනිල්ටවත්, සුජාතාටවත් හිතාගන්නටත් බැරිය. කල්එළිය කනිෂ්ට විද්‍යාලයෙන් ලෙනින් සිප්සතර හැදෑරුවේය. මීට වසර එකහමාරකට පමණ පෙරදී පාසල් ක්‍රීඩා පිටියේදී ලෙනින්ගේ අත් පා වෙව්ලන්නට පටන් ගත්තේය. එය ලෙනින්ට අපස්මාරය රෝගය ඇතිවුණ මුල්ම දිනය විය. පාසලෙන් ප්‍රතිකාරය ලබාදී ලෙනින්ව නිවෙසට රුගෙන එනු ලැබීය. අපස්මාරය රෝගය නිසාවෙන් අනිල් ලෙනින්ව රෝහල් කිහිපයකම සායනවලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට මාපියෝ පියවර ගත්හ. අවසානයේදී ඒ සඳහා ප්‍රතිකාර ලබාගනු ලැබුවේ මීරිගම මූලික රෝහලෙනි. මාස්පතා ලෙනින් මෙම සායනවලට සහභාගි වී ප්‍රතිකාර ලබාගත්තේය.

මුළු රටම කොරෝනා වසංගතයට මුහුණ දුන්නේ මේ කාලයේදීය. මුළු රටටම ඇඳිරි නීතිය පැණවුණි. ලෙනින්ටත් සායනවලට සහභාගිවන්නට ඉඩක් ලැබුණේ නැත. ලබාදුන් ඖෂධ අවසන් විය.

පුතාට දරුණු විදිහට ෆිට් එක හැදෙන්නේ නැහැ. අතපය වෙව්ලනව විතරයි. ප්‍රතිකාරවලින් එයාට සුවවෙලයි තිබුණේ. නමුත් හැම මාසේම අපි පුතාව ක්ලිනික් එක්කගෙන ගියා. කොරෝනා නිසා මුළු රටේම ඇඳිරිනීතිය දැම්මා. ඒ නිසා ග්‍රාමසේවක නිලධාරි සහ සංවර්ධන නිලධාරි හරහා මේ සම්බන්ධව අපි ක්ලිනික් එකට දැනුම් දුන්නා. ක්ලිනික් එකෙන් අපිට තැපෑලෙන් පොතකුයි බෙහෙතුයි ගෙදරටම එව්වා. ඒ බෙහෙත් අතට ගත්ත ගමන් ඒවා වෙනස් බව අපිට තේරැණා. නමුත් අපි හිතුවේ බෙහෙත් පෙති නිෂ්පාදනය කරන ආයතන වෙනස් වෙලා බෙහෙත් එකම වර්ගයි කියලයි. තැපෑලෙන් ආපු වැරදි බෙහෙත් පුතාට දීලා බොන්න වතුර එකත් දුන්නේ අපිමයි... අනේ මගේ දරුවා... කොච්චර පව්ද...?

පියකුගේ දුක කෙසේනම් වචනවලට පෙරළන්නද....?

අප්‍රේල් මස එකොළොස්වැනිදා ලෙනින්ට ඖෂධ වර්ග තැපෑලෙන් ගෙදරට ලැබුණි. ඒ බක්මාසේ සිංහල අලුත් අවුරැදු කාලයයි. මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් සිංහල අලුත් අවුරුද්ද ලක්වාසීන් පෙර වසර මෙන් සැමරුවේ නැතිවුවද සොබාදහම සුපුරුදු පරිදි එම කාලය සැමරැවේය. කජුගස්වල කජු සෑදුණි. බක්මාසය අධික උෂ්ණ වසරක් යැයි පැරුන්නෝ කියති. ලෙනින් තැපෑලෙන් ගෙදරටම ලැබුණ ඖෂධ පානය කළේය. අම්මේ මගේ පපුව දැවිල්ලයි.... ඔහු කීවේය. සුජාතා ඔහුට කුරුම්බා ගෙඩියක්, තැඹිලි ගෙඩියක් කපා දුන්නාය. ලෙනින්ගේ ඇස් රතු විය. අප්‍රේල් මාසයට ඇස් රුදාව සෑදීම සාමාන්‍ය දෙයකි. අනිල් සිතුවේද එලෙසමය. දවස් හතරකින් පමණ බෙල්ල, කොන්ද, හිස අවටින් දහඩිය බිබිලි මෙන් කුඩා බිබිලි හටගත්තේය. එය ටිකෙන් ටික විශාල විය. සුජාතාත්, අනිලුත් එය පැපොල රෝගයේ රෝග ලක්ෂණ යැයි විශ්වාස කළහ. ඔවුහු දෙවියන්ගේ ලෙඩ යැයි සිතා කොහොඹ කොළ නිවසේ එල්ලූහ. රෝගය එන්න එන්නම උත්සන්න විය. රෝග ලක්ෂණ මතුවී දෙවැනි දවසේම මුළු ශරීරය පුරා විශාල බිබිලි ඇතිවී මුළු ශරීරයම වැසෙන්නට පටන් ගත්තේය.

ඇස් රතු වූ මුල් දවසේම ලෙනින් ඇස් කැවෙන වගේ යැයි කීවේය. ඇස් බොඳ වෙනවා යැයි කීවේය. නමුත් ඒ සියල්ල ඇස් රුදාවේ රෝග ලක්ෂණ යැයි සිතුනු දෙමව්පියෝ දෙවියන්ට පඬුරක් ගැට ගැසූහ. මුළු ශරීරයම විශාල බිබිලි හටගනිද්දී මුළු ශරීරයම දියවෙන්නට පටන් ගත්තේය. වහාම ලෙනින්ට වතුපිටිවල රෝහලට ගෙන යන ලදුව එහි නවත්වාගනු ලැබීය. රෝහලේ වෛද්‍යවරැන් ලෙනින්ගේ ජීවිතය බේරාගන්නට බැරි බව පවසමින් දෙමව්පියන්ට උපදෙස් ලබාදුන්නේ කෙසේ හෝ හිත හදාගන්නා ලෙසය.

අපි පුතාව වතුපිටිවල රෝහලට එක්කගෙන ගියා. පුතා ජීවත්වෙන්නේ නැහැ. අපිට පුතා වෙනුවෙන් පිනක් දහමක් කරගන්න කියලයි වෛද්‍යවරැ අපේ හිත හැදුවේ. පුතාගේ අත්වල ඇඟිලි දියවුණා. නියපොතු සම්පූර්ණයෙන්ම ගැලවුණා. පුතා අසනීප වුණ දා පටන් මම පුතා ළඟින් හෙලවුණේ නැහැ. පුතාගේ ඇස්වලින් ලේ පවා ආවා. පුතාගේ මුළු ඇඟම ඉදිමුණා. දවස් දෙකකින් පුතාගේ මුළු ජීවිතේම අඳුරු වුණා. පුතාගේ නියපොතු පමණක් නොවේ බොහෝ අවයව වලට ගොඩාක් හානි වුණා. මම ළඟ ඉඳගෙන පුළුන් කෑලිවලින් ඒ හැමදේම පිරිසිදු කරමින් බෙහෙත් දැම්මා. මුළු ඇඟම දියවුණා. එයාගේ නහයෙන් පවා ලේ ආවා. කිසිම වචනයක් එයා ඒ දවස්වල කතා කළේ නැහැ. කෑමක් බීමක් ගත්තෙත් බටේකින්.* යැයි අනිල් ඒ අමිහිරි අතීතය දේශය පිටු අතරට එක් කරන්නේ හැඬූ කඳුලිනි.

වතුපිටිවල රෝහලේ මරණය පෙනි පෙනී, හිටපු ලෙනින්, නොපෙනෙන දෙවියන් යදිමින් ප්‍රාතිහාර්යයක් දකින්නට පෙරුම් පුරා අනිල්ගේත්, සුජාතාගේත් ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් එක් කරන්නේ අහම්බෙන් නෙත ගැටුණ වෛද්‍යවරුන් දෙදෙනෙකු නිසාවෙනි. බෙහෙතක් ඇලජික් වෙලා යැයි නිගමනය කරන ඔවුහු වහාම ලෙනින්ව වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළහ. එතැන් සිට ලෙනින්ගේ ජීවිතය බාරවන්නේ රොබෝවන් යන්ත්‍ර සූත්‍රවලටය. දවස් දොළහකට පසුව ලෙනින්ව දැඩි සත්කාර ඒකකයෙන් විශේෂ වෛද්‍ය කාමරයකට මාරැ කරන්නේ ලෙනින් පිළිබඳ නැවැත එකතු කරගත් නැවුම් බලාපොරොත්තුත් සමඟිනි. දින කිහිපයකට පසුව ඔහුව සාමාන්‍ය වාට්ටුවකට යොමුකරලන්නේ සුජාතාගේත් අනිල්ගේත් ජීවිතවලට අලුත් බලාපොරොත්තු එක්කරමිනි.

වතුපිටිවල රෝහලේදී ශල්‍යකර්ම දහයක් ලෙනින්ට සිදු කර ඇත. එතැනින් කොළඹ අක්ෂි රෝහලට ඔහුව මාරැ කෙරිණි. අක්ෂි රෝහලේදී තවත් ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර ඉදිරියේදී දොළොස්වැනි ශල්‍යකර්මය කොළඹ අක්ෂි රෝහලේදීම සිදුකිරීමට නියමිතය. අද වනවිට ශරීරය පුරා පැතිරුණ තුවාල සුවවෙමින් පවතී. නමුත් අදටත් ලෙනින්ගේ ඇස් පෙනෙන්නේ නැත. එකදිගට යම් දෙයක් දෙස ටික වෙලාවක් බලා හිඳ දකුණ ඇසෙන් වර්ණය හඳුනා ගැනීමට යම් හැකියාවක් ඇතිවුවද ඇස් වෙහෙසන්නට තවමත් පුළුවන්කමක් නැත. ඇස්වලට ආලෝකය වැදෙන විට ලෙනින් හිස පහතට නැඹුරැ කරයි. ගෙවුණ අමිහිරි ජීවිතය ගැන මතකයන් ලෙනින්ට නැත. වර්තමානයේදී ඔහු ගෙවන ජීවිතය ගැන ඔහුට ඇත්තේ දරාගත නොහැකි වේදනාවකි.

මම ඉක්මනට රස්සාවක් කරලා අම්මා තාත්තා බලාගන්න ආසාවෙන් හිටියේ. මාව ඉක්මනට සනීප වෙනවා නම්.... ලෙනින් හිස පහතට නැඹුරැ කරගනිමින් හූල්ලන්නේය.

වරෙක අනිල් කාගේ හෝ වත්තක් එළිපෙහෙළි කළේය. තවත් විටෙක ටයිල් ඇල්ලුවේය. අත්උදව් දුන්නේය. මේසන් වැඩ කළේය. කිසිව වැඩක් නොලැබුණ තැන ඇඟ වෙහෙසා කුලී වැඩක් කොට බිරිඳත් තම එකම දරුවාත් රැක්කේය. ආර්ථික අපහසුතා තිබුණද එකල අනිල්ගේත්, සුජාතාගේත් කැදැල්ලේ සතුට තිබුණේය. අද ලෙනින් වෙනුවෙන්ම වෙහෙස වෙන අනිල්ට දෛනික ආදායමක් නැත. ඖෂධ වෙනුවෙන් මුදලක් වැයවේ. ඒ සියල්ල දරාගන්නට හයියක් අනිල්ට ඇත. නමුත් ඒ හයියට ලෙනින්ගේ බලාපොරොත්තු ඔවුන්ට අවශ්‍යමය. උස් මහත් වුණ නිරෝගී දරුවකු අඳ දරුවෙකු සේ මවගේ පියාගේ අත අල්ලද්දී ඒ හිත්වලට දැනෙන වේදනාව වචනවලට කෙසේ හරවන්නද?

එම දරුවා පාවිච්චි කළ ඖෂධය වෙනුවට වෙනත් ඖෂධයක් තමයි කොරෝනා කාලයේදී දරැවට ලැබිලා තියෙන්නේ. ඒක නිසා ඇතිවුණු සංකූලතාවයන් නිසා තමයි පේන්නේ. ඒ සම්බන්ධව විමර්ශනයක් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට උපදෙස් ලබාදුන්නා. ඒ විමර්ශනය සිදුවෙනවා. ඒ අතරේ දරැවාව කොළඹ අක්ෂි රෝහලට ගෙන්වා දරැවාට කළහැකි උපරිම දේ කරන්න යැයි රෝහල් අධ්‍යක්ෂතුමාටත් උපදෙස් ලබාදුන්නා. දරුවා වෙනුවෙන් රජය පැත්තෙන් කළහැකි සෞඛ්‍ය පහසුකම් උපරිම දේ අපි දරුවාට ලබාදෙනවා.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන දේශයට අදහස් දක්වමින් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02