2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය ඉන්නේ දුකෙන්!

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නූතන දේශපාලන භාවිතය ඉතා සියුම්ව තේරුම්ගත යුත්තකි. මෙරට රාජ්‍ය බලය දැරූ පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය වසර පහක කාලය තුළ ඓතිහාසික ලෙස පරිවර්තනයකට ලක්විය. එහි අවසාන ප්‍රතිඵලයක් ලෙස නව රජයේ ප්‍රධාන හවුල්කාරීත්වයක් දරන පක්ෂය බවට ශ්‍රීලනිපය පත්ව සිටියි. එහෙත් බාහිර මෙන්ම අභ්‍යන්තර අර්බුද රැසක් ශ්‍රීලනිපය හමුවේ වෙයි. ආසන්න සිදුවීම් කිහිපයක් ඇසුරෙන් ඒ පිළිබඳ අවබෝධ කර ගැනීමට අපට හැකියාවක් ඇත.

නව ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 15 කි. ඉන් 14ක් මහජන ඡන්දයෙන් තේරී පත්වූ අතර 1ක් ජාතික ලැයිස්තුවෙන් පත්වීම් ලැබීය. පළමුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පිරිනැමීම සම්බන්ධ ශ්‍රීලනිපය අර්බුදයකට මුහුණු පෑවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙනුවට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ආචාර්ය සුරේන් රාඝවන් පත්කිරීම මෙම අර්බුදයට හේතුව විය. ශ්‍රීලනිපය කීවේ තමන් තනතුරැ ලැබිය යුතු අනුපිළිවෙළට කල් ඇතිව ලබාදී තිබියදී මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

“ජාතික ලැයිස්තුවට අපි නම් හතරක් ලබාදුන්නා. අනුපිළිවෙළට ලබාදෙයි කියලා අපි අපේක්ෂා කළා. දෙකයි නම් දාන්න පුළුවන්. දෙන්නා කවුද, එක්කෙනයි නම් දෙන්න පුළුවන්. එක්කෙනා කවුද කියලා අපෙන් අහන්න තිබුණා. එහෙම අහන්නේ නැතුව මේ විදියට කටයුතු කිරීම නිසා මේක අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වුණා. ජාතික ලැයිස්තුව සඳහා පත්කළ යුතු අය කවුද කියලා විමසීම කරන්නේ නැතුව පත්කිරීම ගැන අපිට යම් කනගාටුවක් තිබෙනවා.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මහලේකම් බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණි. සුරේන් රාඝවන් යනු යහපාලන ආණ්ඩු සමයේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාය. ඔහුට කැනේඩියානු පුරවැසිභාවයද තිබෙන බවට ආරංචි පැතිර යමින් තිබේ. ඔහු සම්පන්දන්ගේ සුමන්තිරන්ගේ හිතවතෙකු බවටද චෝදනා ඇත. කෙසේ නමුත් රාඝවන් මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපතිට හිතෛෂිවන්ත ලෙස යහපාලන සමයේ කටයුතු කළේය. එහෙත් ශ්‍රීලනිපය අභ්‍යන්තරයේ ඔහු පිළිබඳ සැලකිය යුතු ප්‍රසාදයක් නොතිබුණ බව පැහැදිලිය. පක්ෂ අර්බුදය හමුවේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පිළිබඳ වර්තමාන ශ්‍රිලනිපය තුළ සැලකියයුතු ප්‍රසාදයක් තිබේ. පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයට තුඩුදී ඇත්තේ මෙම තත්ත්වයයි.

ආණ්ඩුවේ තනතුර බෙදීම සම්බන්ධවද ශ්‍රීලනිපයේ කනගාටුව අප මීළඟට සලකා බැලිය යුතුය. පක්ෂ සාමාජිකයන් අතර පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමැතිකමක් නොලැබීම සම්බන්ධව සිත්තැවුලක් ඇතිවී තිබේ. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ යම් සුභවාදී බලාපොරොත්තුවක් ශ්‍රීලනිප ප්‍රබලයන් අතර තිබේ.

මේ අතර පක්ෂයේ මහලේකම්ට දුන්නේ වැඩක් නැති ඇමැතිකමක්, පක්ෂයේ ජාතික සංවිධායකට දීලා තියෙන්නෙත් හුළං ඇමැතිකමක්, යනුවෙන්ද අභ්‍යන්තරයේ සාකච්ඡා වී ඇති බව දැනගන්නට ඇත. නිමල් සිරිපාල සිල්වා සහ මහින්ද අමරවීර යන ප්‍රබලයන්ට ලැබුණු අමාත්‍යංශවල ආයතන සහ බලතල සීමාවීම සම්බන්ධවද යම් සිත්තැවුලක් හටගෙන තිබේ. කෙසේ නමුත් මීට අදාළ විරෝධයක් එළිපිටම ගෙන ඒමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම මෙය අවස්ථාවක් නොවන බව අවබෝධ කොටගෙන සිටිති.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක්ද මේ අතර ශ්‍රීලනිප සිත්තැවුලට හේතු වී තිබුණි. වාසුදේව මහතා කියා තිබුණේ පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මේ පක්ෂ දෙක එකට එකතු වී නායකත්වය මහින්ද රාජපක්ෂට දීම සුදුසු බවය. එවැන්නක් කිසිදිනක සිදුනොවන බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා තදින්ම කියා තිබුණි. මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකද ශ්‍රීලනිප පිළිබඳ නැවත කතා කරන්නට පටන්ගෙන තිබුණි. මහින්ද මෛත්‍රී ශ්‍රීලනිපය විනාශ කරන බව ඇය නැවත නැවතත් ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් ඇගේ ප්‍රකාශ පිළිබඳ එතරම් තැකීමක් නොවුණි.

අවසාන වශයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව දක්වා දික්ඇදුණු කතාවක් විය. පහුගිය මහා මැතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ නැගීම සහ ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ වර්තමාන දේශපාලන භාවිතය පිළිබඳ වූ අපැහැදිලි බවයි. ඒ අනුව ආණ්ඩුව තුළ රැඳෙමින් පක්ෂය සහ පාක්ෂිකයා ආරක්ෂා කරගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. එමනිසා මැතිවරණ ප්‍රතිඵල ගැන සමීක්ෂණයක් කරන්න දැන් ශ්‍රීලනිපය සූදානමින් සිටින බව කියැවේ.

 චමිඳු නිසල් ද සිල්වා

අපි ආණ්ඩුවේ මිතුරු බලවේගයක්
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස (ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති)

මේ  ගත වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව මේ රටේ වාමාංශික බලවේගයට නායකත්වය ලබාදුන් තීරණාත්මක අවස්ථාවක්. පක්ෂයක් විදිහට 2015න් අනතුරුව අප පක්ෂ නායකත්වය රාජ්‍ය නායකත්වයට බාරදීම සමඟ සංකීර්ණය දේශපාලන තත්ත්වයක් ඇතිවුණා. නමුත් 2019දී රට තුළ මතුවෙලා තිබුණු තත්ත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතව අපි අපේ භූමිකාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවූවා.

ශ්‍රී ලංකා පොදුජන සන්ධානය තුළින් පාර්ලිමේන්තුව නියෝජනය කරන  මන්ත්‍රිවරැන් 15ක් පමණ මේ වනවිට අපිට ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මුලදී ඇතිකර ගත්තු එකඟතාවයන්ට අනුව පොදුජන පෙරමුණ ක්‍රියාකරයි කියලා. මේ වනවිට අපේක්ෂිත ජාතික ලැයිස්තු මන්ත්‍රිධූර පිළිබඳ ගැටලුවක් මතුවෙලා තිබෙනවා. අපි තවත් අමාත්‍ය ධූර කිහිපයක්, පළමුවරට යාපනය ජයගත් අංගජන් රාමනාදන් මැතිතුමාට රාජ්‍ය මන්ත්‍රී ධූරයක් බලාපොරොත්තු වුණා.

කෙසේ නමුත් තුනෙන් දෙකක බහුතරයේ අවශ්‍යතාවය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. හතුරැ බලවේගයක් ලෙස නොව මිතුරු බලවේගයක් ලෙස අපි කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් ඓතිහාසික අවස්ථාවක නායකයෙක් තමයි අද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා. ඒ වගේම අද ආණ්ඩු පක්ෂයේ සිටින බහුතරයක් දේශපාලනය කියවන්න පටන්ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා. ඒ නිසා අපි සතු අන්‍යෝන්‍ය අවබෝධය වැදගත්.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමේදී නම් 19 වැනි සංශෝධනයේ දුර්ගුණ වගේම යම් යහගුණත් තිබෙනවා. නරකම දේ තමයි 19න් පස්සෙ 20 වැනි සංශෝධනය ගෙනැල්ලා මැතිවරණ ක්‍රමය වෙනස් නොකිරීම. එය වහාම නිවැරුදි කිරීම තමයි පළවෙනි කාරණය. ඒ වගේම 19 වැනි සංශෝධනය තුළින් ස්ථාපිත ස්වාධීන කොමිෂන්වල යම් අඩුපාඩු තිබුණත් ඒවා සංකල්පීය වශයෙන් වැදගත්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව තිබෙනවා. අනන්‍යතාවය රුකගෙන එකට වැඩකිරීම කියන සංකල්පය යටතේ අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02