මහේන්ද්‍ර සිං දෝනි යනු ඉන්දීය ක‍්‍රිකට් ඉතිහාස පොතට සහ ලෝක ක්‍රිකට් ඉතිහාසයට පරිච්ඡේද රැසක් එකතු කළ සුවිශේෂී ක‍්‍රිකට් තරුවකි. දෝනි තරග දිනවන්නකු මෙන්ම වඩාත් නිසල සටන්කාමියකු වීම නිසා ලෝක ක‍්‍රිකට් ලෝලීන්ගේ ප‍්‍රසාදය දිනාගැනීමට සමත් වූ ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කීපදෙනාගෙන් කෙනෙකි.
ඔබගේ ආදරය සහ සහයෝගයට ස්තූතියි. මෙතැන් සිට මා විශ‍්‍රාමිකයකු ලෙස සලකන්න යැයි මහේන්ද්‍ර සිං දෝනි පසුගිය සෙනසුරාදා රාත‍්‍රී හිටිහැටියේ සමාජ ජාල පණිවුඩයක් නිකුත් කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබුණි. මෙම සටහන තබන මොහොත වනවිටත් දෝනි සමුගැනීම නිල වශයෙන් නිවේදනය කර නොතිබුණු අතර ඒ හේතුවෙන් මෙම සමුගැනීම පිටුපස කිසියම් ආන්දෝලනාත්මක සිද්ධියක් පවතින්නේද යන සැකය ක‍්‍රිකට් ලෝලීන් තුළ මතුව තිබේ.
දෝනි සමුගැනීම නිවේදනය කර විනාඩි කිහිපයක් ගතවී යෑමටත් පෙර ඔහුගේ සමීපතම ක‍්‍රිකට් සගයකු වන සුරේෂ් රයිනා ද අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබුණි. ක්‍රිකට් පිටියේ අඹ යහළුවන් වන මෙම දෙපළම අයි.පී.එල්. තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කරති. මෙම හදිසි සමුගැනීම අයි.පී.එල්. තරගාවලියේ කිසියම් අර්බුදයක්ද යන ගැටලුව මතුවන අතර එසේ වුවහොත් මෙම දෙපළ අයි.පී.එල්. තරගාවලියේදීද දැකගත නොහැකි වනු ඇත.
ලෝක ක‍්‍රිකට් පිටියේ නිල නොවන බලවතා වන ඉන්දීය ක‍්‍රිකට් රාජ්‍යයේ වඩාත් කැපී පෙනෙන නායකයෙක් බවටද දෝනි පත්ව සිටියේය. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කළ ලෝක මට්ටමේ ශූරතා තුනක් දිනාගැනීමට ඔහුගේ නායකත්වයෙන් ඉන්දියාව සමත් වීම එම ඔපයට ප‍්‍රධාන සාධකය බවට පත්විය. ඉන්දියාව 2007 වසරේ විස්සයි20 ලෝක කුසලාන ශූරතාවද, 2011 වසරේ එක්දින ලෝක කුසලාන ශූරතාවද, 2013 වසරේ අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ශූරතාවද, දිනාගත්තේ දෝනිගේ නායකත්වයෙනි. දෝනි, වසර 100 කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ඉන්දීය ක‍්‍රිකට් වංශකතාවේ එවැනි දස්කමක් දැක්වූ පළමු සහ එකම නායකයාද වේ.
වර්තමාන ක‍්‍රිකට් පිටියේ සීමිත ඕවර ක‍්‍රිකට් විශේෂඥයකු වන මහේන්ද්‍ර සිං දෝනි 2014 වසරේ ඕස්ට්‍රේලියාවෙදී ටෙස්ට් ක‍්‍රිකට් පිටියට සමුදෙමින් තවදුරටත් එක්දින සහ විස්සයි20 ක‍්‍රිකට් පිටියට තම අවධානය වැඩි කළේය. 2017 වසරේ එක්දින නායකත්වයටද ඔහු සමුදුන්නේය. පසුගිය වසරේ එංගලන්තයේදී පැවැති එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව සහභාගි අවසන් පූර්ව තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගය විය.
දෝනි මෙම වසරේ ඔක්තෝබර් මස ඕස්ට්‍රේලියාවෙදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියටද සහභාගි වීමේ සූදානමින් පසුවූ අතර එම තරගාවලිය ලබන වසර දක්වා කල්යෑම මෙම සමුගැනීමට හේතුක් වූයේද යන සැකය මතුවේ.
දක්‍ෂ කඩුලු රකින්නකු මෙන්ම තමන්ටම ආවේණික වූ පිතිකරණයක නිරත වන දෝනි ලෝක පූජිත ක‍්‍රීඩකයකු බවට පත්වීමේදී ශ්‍රී ලංකාවද එහි කොටස්කරැවෙකි. දෝනි 2004 වසරේ එක්දින වරම් ලබා වසරක් ගතවීමට පෙර ජායිපූර්හිදී 2005 වසරේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 183 ඔහුගේ ක‍්‍රිකට් ජීවිතය වෙනස් අතකට යොමු කළේය. පන්දු 145 කින් දෝනි රැස්කළ එම ලකුණු 183 ත් සමඟ දෝනිට නව වටිනාමක් ආරෝපණය විය. ශ්‍රී ලංකාවට එරෙහිව රුස්කළ මෙම ලකුණු 183 එදා මෙදාතුර එක්දින ජාත්‍යන්තර තරගයකදී කඩුලු රකින්නකු රුස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාවද වේ.
මෙම දකුණත් පසුපෙළ පිතිකරු අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට සමුදෙන විට එක්දින ජාත්‍යන්තර තරග 350 කදී ලකුණු 10,773 ක් රැස්කර සිටි අතර එහි සාමාන්‍ය 50.57 කි. දෝනිගේ නම ඉදිරියෙන් එක්දින ශතක 10 ක් සහ අර්ධ ශතක 73 ක් සටහන් වේ. දෝනි විස්සයි20 අන්තර්ජාතික තරග 98 කදී ලකුණු 1617ක් රැස්කර ඇති අතර ටෙස්ට් තරග 90 කදී ලකුණු 4876ක් රැස්කර තිබේ.
මහේන්ද්‍ර සිං දෝනිගේ නම ඉදිරියෙන් ලෝක සහ ඉන්දීය ක‍්‍රිකට් වාර්තා රැසක් ලියවී ඇති අතර ඒ අතර කඩුලු රුකීමේ වාර්තාද වඩාත් කැපී පෙනේ. දෝනි සිය වසර 16 ක පමණ ක‍්‍රිකට් දිවියේ වැඩි කාලයක් පසුපෙළ පිතිකරැවකු ලෙස කටයුතු කිරීම ඔහුගේ ලකුණු එකතුවේ අඩුවට ප‍්‍රධාන හේතුව බවට පත්ව ඇති අතර ඔහු අංක හය පිතිකරු ස්ථානයේ ලකුණු 4031 ක් රුස්රමින් ලෝක එක්දින ක‍්‍රිකට් වාර්තා පොතේ එම ස්ථානයේ වැඩිම ලකුණු ලාභියා වාර්තාවට හිමිකම් කියයි.
දෝනි සිය මව්බිමට දැඩිව ආදරය කරන පුද්ගලයකු වන අතර ඔහු හැකි සෑම අවස්ථාවකදීම යුදහමුදා සොල්දාදුවන් සමඟ කාලය ගතකිරීමට සහ යුද හමුදා නිල ඇඳුමෙන් සැරසීමට දැඩිව ප‍්‍රිය කරයි. දෝනි එළඹි මෙම හදිසි තීරණයත් සමඟ ඔහුට ආවේණික ‘හෙලිකොප්ටර්’ පහර නැවත ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ දැකගත නොහැකි වනු ඇත.
යොහාන් භාසුර