
අමුතු ගෙදරක් සිය වාසය සඳහා තෝරාගත් අපූරු හාදයෙක් ගැන අමෙරිකාවේ ඔරිගන් පළාතෙන් අසන්නට ලැබේ. මේ හාදයා සිය නිවහන හැටියට තෝරාගන ඇත්තේ ගුවන්යානයකි. කාලය ඉකුත් වී ගුවන්යානා සුසානයට යවන්නට සූදානම් කර තිබූ බෝයිං 727 යානයක් තමන්ගේ හිතට ගැලපෙන ආකාරයට හැඩවැඩ ගන්වා පදිංචියට ගත් මේ හාදයා දැන් සුසානයට යවන ගුවන්යානා පලදායීව යොදා ගත හැකි ආකාරය ගැන හොඳ සජීවී නිදර්ශකයක් සපයා හමාරය.
ගුවන් යානා ශිල්පයට කුඩා කාලයේ සිට හිත බැඳුණු බෲස් කැම්බෙල් වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකි. තමන්ගේම කියා නිවසක් තනා ගන්නට හිතූ බෲස් ඒ සඳහා අලුත්ම පන්නයේ අදහසක් ක්‍රියාත්මක කරන්නට සිතුවේය. ඒ දිනකට ගුවන් යානා 3ක් පමණ භාවිතයට නොගෙන ගුවන් සුසානයන්හි දිරාපත් වෙන්නට අතහැර දමන බව ආරංචි වීමත් සමගිනි. එලෙස අත්හැර දමන යානයක් තමන්ගේ නිවෙස කරගන්නට හිතු බෲස් ඒ සඳහා අවශ්‍ය මුදල කාලයක් තිස්සේ එකතු කළේ තැන තැන පුංචි තාවකාලික නවාතැන්වල අඩු වියදමින් දිවි ගෙවමිනි. එලෙස කැපවීමෙන් එකතු කළ පවුම් 77,300ක මුදල් ගෙවා ඔහු බෝයිං 727 මාදිලියේ යානයක් මිලට ගත්තේය. පසුව මේ යානය කොටස කර ඔරිගන් පළාතේ තමන්ගේ වාසභුමිය ලෙස තෝරාගත් කැළෑ ඉඩම කරා ගෙන එන්නට තවත් පවුම් 92,000 වියදම් කළේය. ඉන්පසු තමන්ට රිසි පරිදි වෙනස් කම් සිදුකළ බෝයිං නිවසේ වාසය ඇරඹුවේය.

බෲස්ගේ මේ අලුත් පන්නයේ නිවෙස නියමු මැදිරිය මගීන් ඇතුළුවන කොටස, ආසන සහිත බඳ, ගුවන් බඩු ගබඩාව ආදියෙන් සමන්විත හොඳ ඉඩකඩ ඇති තැනකි. ඔහු දැන් ඔරිගන් හී අනෙක් පදිංචිකරුවන් මෙන් නොව බදු බරෙන්, කුලී ගෙවිම්වලින් නිදහස් තැනැත්තෙකි. මේ ගුවන් නිවෙස තුළ ඉහළ පෙළේ හෝටලයක සැප විහරණය ඔහුට අත්වෙයි.
බෲස් මෙයට ගොඩවන්නේ ගුවන්යානයේ සාමාන්‍ය පඩිපෙළ යොදාගෙනය. අවශ්‍ය විටෙක එය අකුලා දැමීට හැකිය. යානයේ වර්ග අඩි 1066ක වපසරිය ඔහුට රජදහනකි. ඒ තුළ තනා ඇති විදුලි පරිපථ සහ ජල සැපයුම් මාර්ග එලෙසම මඳක් නඩත්තු කර භාවිතයට ගන්නට බෲස්ට හැකියාව ලැබුණි. යානයේ රෝද රැඳවීමට සහ ඒවා මඳක් චලනයට හැකි ලෙස පරෙස්සමට සවිකළ හැකි කොන්ක්‍රීට් වේදිකා ඔහු තනා තිබේ. පීඩනයට සහ පරිසර වෙනස්කම්වලට කාලගුණ හදිසි විපරියාසවලදී ගුවන් යානා නිවෙස තම් සුපිරි ආරක්ෂාවක් ඇති වෙනත් තැනක් නැති තරම්ය. ඔහු අලුතෙන් එක් කර ගත්තේ උණුසුම් නාන මෙවලම් පමණකි. ඒ හැර සිය සාලය ලෙස භාවිතයට ගන්නා කොටසේ බිම ඔහු විනිවිද පෙනෙන අක්‍රලික් පැනල යොදා නැවත සකසා ඇත්තේ යටින් ඇති ගඩා කාමර පෙනෙන පරිදිය. ඒ හැර වෙන අලුත් අංගයන් එක් කිරිමට ඔහුට සිදුවී නැත. අවශ්‍ය විට දිගහැර නිදාගත හැකි අන් අවස්ථාවල සෝපාවක් සේ භාවිත කළ හැකි අකුලන බහුකාර්ය ඇඳක් ඔහු භාවිතයට ගනියි. යානයේ සේදුම් වැසිකිළි පද්ධතිය ඒ අංශයේ ඉහළම සේවයක් ලබාදෙයි. 727 සතු පුංචි කුස්සිය ඔහුට අවශ්‍ය කෑම පිස ගැනීමට ඕනෑවටත් වැඩි තරම්ය. මේ යානය පිහිටුවා ඇත්තේ භූ කම්පන කලාපයක නිසා කම්පනයට ඔරොත්තු දෙන ලෙස තැනූ වේදිකාවක මේ බෝයිං නිවෙස රඳවා තිබේ. නිවාස ප්‍රශ්නයට හොඳ පිළිතුරක් ලෙස මෙන්ම හදිසි ආපදා අවස්ථාවල හදිසි නවාතැන් ලෙසද ඉවත දමන යානා වඩාත් පළදායීව යොදාගත හැකි බව බෲස් දැන් ප්‍රායෝගිකව ඔප්පු කර හමාරය.

මේ ගුවන් යානා නිවෙස තනා පදිංචි වූ බෲස් දැන් එය සංචාරක සහ අධ්‍යයන මධ්‍යස්ථානයක් බවට පෙරළා හමාරය. ගුවන් යානා ඔහේ දිරාපත් වන්නට සොහොනක අත්හැර දමනවාට වඩා ඒවායින් පලදායී වැඩක් ගත හැකි බව පෙන්නා දෙන්නට ඔහු සිය බෝයිං නිවෙස තුළ තැනූ යූ - ටියුබ් වීඩියෝද නිකුත් කර තිබේ.
බෲස්ට අනුව ලොව පළමු පන්නයේ සුවපහසුව ඇති මෙම බෝයිං 727 යානයේ ජීවත් වීම ඇත්තටම වියදම් අඩු සුඛෝපභෝගී තරුපහේ හෝටලයක දිවි ගෙවීමක් වැනිය.
සුගත් පී. කුලතුංගආරච්චි