2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

ගණං උස්සන බිත්තර මිලට උත්තර නැද්ද

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

රත්තරන් බිත්තර දමන කිකිළියන් අපට හමුවන්නේ අරාබි නිසොල්ලාසයේ කතාවලය. ඒත් දැන් අපේ කිකිළියන්ගේ බිත්තරවල වටිනාකමත් රත්තරන් බිත්තරවලට වඩා නොදෙවැනි සේය. බිත්තර එතරම් මිලය. බිත්තර මිල වැඩිවීමත් සමඟ බිත්තර ආශ්‍රිත නිෂ්පාදිතයන්ගේ මිල ගණන් ද වැඩි වී ඇත්තේය. විශේෂයෙන්ම හෝටල් ආහාර, බේකරි නිෂ්පාදන ආදියෙහි මිල ඉහළ ගොස් තිබේ. එහි බර පාරිභෝගිකයාගේ සාක්කුවටය. මිල වැඩි වුවද බිත්තර පරිභෝජනය අත්හළ නොහැකිය. ඒ බිත්තර අත්‍යවශ්‍ය පෝෂ්‍යදායී ආහාරයක් නිසාය. වෛද්‍යවරුන්ගේ මතයට අනුව ලංකාවේ ප්‍රෝටීන ඌණතාව සියයට තිහකට වැඩිය. එම තත්ත්වයෙන් මිදීමට නම් මිල අඩුම ප්‍රෝටීන් අධික ආහාරයක් වූ බිත්තර හෝ මස් පරිභෝජනයට ගත යුතුය. එහෙත් මස්වලට වඩා බිත්තර ගන්නේ මිල අඩු නිසාය. එහෙත් මේ දිනවල බිත්තර කන්න තබා හිතන්නවත් බැරිය. මිල අධිකය. ලංකාවේ දෛනික පරිභෝජනයට අවශ්‍ය බිත්තර ගණන ලක්ෂ 85 කි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2020 පළමු කාර්තුවේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මාසික බිත්තර පරිභෝජනය මිලියන 200ක් ය. මෙම අවශ්‍යතා සැපිරීමට සියයට 70 ට වඩා වැඩියෙන් බිත්තර නිෂ්පාදනය කෙරෙන්නේ වයඹ පළාතේය. ඊට අමතරව ලංකාව පුරාම බිත්තර නිෂ්පාදකයෝ විසිර සිටින්නෝය. මේ සියලු බිත්තර නිෂ්පාදන සමාගම් ලාංකේය බිත්තර පරිභෝජන අවශ්‍යතා සපුරනවා සේම බිත්තර අපනයනයටත් දායක වේ. ඔවුහු මාලදිවයිනට පමණක් මාසිකව බිත්තර 46,7000ක් අපනයනය කරන්නෝය. මේ ආකාරයට බිත්තර නිෂ්පාදනය සාර්ථකව කළ ද ඒ සඳහා බිත්තර නිෂ්පාදකයාට විශාල පිරිවැයක් දැරීමට සිදුවන්නේය. ඒ කුකුළු කෑම හා අවශ්‍ය විටමින් මිලදී ගැනීම සඳහාය.

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ ඉකුත් මාර්තු මාසයේ මුල වනවිට බිත්තරයක සිල්ලර මිල රුපියල් 18 ත් 20 ත් අතර මිලක පැවති අතර පසුව රජයේ මැදිහත්වීමෙන් බිත්තරයක සිල්ලර මිල රුපියල් 10 දක්වා අඩු කෙරිණි. කෙසේවෙතත් බිත්තර මිල අප්‍රේල් මාසයේ රුපියල් 15 ක්, මැයි මාසයේදී රුපියල් 17 ක්, ජූනි මාසයේ රුපියල් 18 ක්, ජූලි මාසයේ රුපියල් 20 දක්වාත් මිල ඉහළ යාමෙන් පසු අද වනවිට රුපියල් 23.50 දක්වා අඛණ්ඩ මිල වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25 දක්වා ඉහළ නංවා ඇති බවද වාර්තා වේ.

බිත්තරවලට සමගාමීව දිවයින පුරා කුකුළු මස් මිලද වැඩි වී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. දිවයිනේ ප්‍රදේශ රුසක, සම ඉවත් කළ කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 630ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඇතැම් ස්ථානවල සම ඉවත් කළ කුකුළු මස් කිලෝවක් රුපියල් 650-700 අතර මිල ගණන්වලටද අලෙවි කෙරේ. රුපියල් 150කින් පමණ මෙම මිල වැඩිවීම සිදුවීම ද විශේෂත්වයකි.

මීට පෙර සම රහිත කුකුළු මස් කිලෝවක මිල පැවතියේ රුපියල් 480 මට්ටමේය. එය සතියකදී 550 දක්වා ඉහළ ගිය අතර පසුගිය දින කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ නගිමින් 630ක මට්ටමට පැමිණ තිබිණි.

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු කුකුළු ගොවිපොළවල සතුන් ඇති කිරීම ප්‍රමාණාත්මකව අඩු වීම, යුරෝපයෙන්, අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් මව් සතුන් ආනයනය ඇනහිටීම මෙන්ම සත්ව ආහාර සඳහා සහල් භාවිත කිරීමට පැනවූ තහනම හේතුවෙන් දේශීයව සත්ව ආහාරවල මිල ඉහළ යාම මෙලෙස බිත්තර මිල සහ කුකුළු මස් මිල ඉහළ යාම කෙරෙහි බල පා තිබේ. කෙසේ වෙතත් සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමට රජය මැදිහත් වන්නේ නම් මිල අඩු කළ හැකි වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයන්ගේ සංගම් කියයි.

මෙලෙස ආහාර වියදම ඉහළ යෑම නිසා බිත්තරයක් නිෂ්පාදනය සඳහා රුපියල් 16.50 ක්ද, කුකුළු මස් කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 390 ක්ද වැය වන බව කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ පවසති. එමෙන්ම තත්ත්වය කොතරම් බරපතළවීද කියහොත් සුළු පරිමාණයේ කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති. සුළු පරිමාණයේ කුකුළු ගොවිපොළවල් රුසක් වැසී ගොස් ඇතැයිද කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ පවසති.

කුකුළු මස් කර්මාන්තයේ කඩා වැටීමක්

සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා

“සත්ව ආහාර නිෂ්පාදනයේ මිල ඉහළ යාම් නිසා මේ වනවිටත් මේ කුකුළු මස් කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදනයේදී දැඩි අවශ්‍යතාවක් පවත්නා බඩඉරිඟු මිල අධිකව ඉහළ යාම නිසාත් ආනයන ගැටලු මතුවීම නිසාත් තමයි මේ තත්ත්වය උදාවී ඇත්තේ කොවිඩ් නිසා ඇතැම් කුකුළු ගොවිපළ නිෂ්පාදකයන් බොහොම අසීරුතාවකට පත් වුණා. ඒ කාලේ වෙළෙඳාම් කරන්න බැරි නිසා ශීතකරණවල තිබුණා. ඒ කාලයෙත් අපේ නිෂ්පාදකයන්ට පාඩු සිදු වුණා. මේ සත්ව ආහාර නිෂ්පාදනයේ වෙනසක් සිදු වෙනවනම් මේ මිලෙහි වෙනසක් සිදුවෙයි.”

සතුන්ගේ කෑම මිල ලොකුම ප්‍රශ්නයක්
බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක

පසුගිය කාලයේ සත්ත්ව ආහාරවලට බඩඉරිඟු පිටින් ගෙන්වුවා. ඒ නිසා ප්‍රශ්න මතුවුණේ නැහැ. මෙවර කොරෝනා නිසා ඉන්දියාවෙන්, පකිස්තානයෙන් ඒ ගෙන්වීම් සියල්ල නතර වුණා. ඉස්සර සත්තුන්ගේ කෑම කිලෝ එක ගත්තේ රුපියල් 62- 63 ක මිලකට. කලින් රුපියල් 30-32 මිලකට ගත්තේ. දැන් රුපියල් 75 ක් වෙලා. ඇත්තටම රජයෙන්   සත්තුන්ගේ කෑම මිල අඩු කර දෙනවා නම් අපිට මේ පාඩුව දරා ගන්න තිබුණා. එහෙම වුණොත් බිත්තර මිල අඩු වුණත් හිත හදා ගන්න තිබුණා. ඒත් දැන් තියන කුකුළු කෑමවල මිලත් එක්ක බිත්තර අඩු මුදලකට නිෂ්පාදනය කරන්න බැහැ. ආණ්ඩුව බදු අයින් කරලා ගොවියට සහනයක් ලබා දුන්නොත් සාධාරණ ගාණකට බිත්තර අලෙවි කරන්න පුළුවන්.

මේක බිත්තර මාෆියාවක්
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන

පසුගිය කාලය තුළ රට ලොක්ඩවුන් කිරීමේදී මෙන්ම මැතිවරණ කාල සීමව තුළදී කුකුළු ගොවියන් තමන්ට හිතෙන විදිහට බිත්තර මිල වැඩි කරලා තියනවා. ඇත්තටම දැන් තියෙන්නේ ලංකාවේ බිත්තර මාෆියාවක්. මේ බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 10ක්වත් යන්නේ නැහැ. හොඳ ලාභයක් තියාගෙන බිත්තරයක් රුපියල් 15 කට අලවි කරන්න පුළුවන්. නමුත් දැන් වෙළෙඳපොළේ රුපියල් 15 කට බිත්තරයක් හොයා ගන්න නැහැ අඩු තරමේ රුපියල් 20ටවත් බිත්තර හොයාගන්න බැහැ. වෙළෙඳපොළ තුළ මේ බිත්තර නිෂ්පාදකයන්ගෙන් 75%කට වැඩි ප්‍රමාණයක් ගන්නේ බේකරි හිමියනුයි, හෝටල් හිමියනුයි. එහෙම බිත්තර මිල වැඩි වුණාම අපි කොහොමද බේකරි කෑම අඩුවට දෙන්නේ? බිත්තරවලට අපි විශාල මුදලක් වැය කරනවා. කොහොම වුණත් හැකි ඉක්මනින් රජය මේකට විසඳුමක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 හසිත් අංජන