2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

හැමදාමත් කට්ට කන පෙර පාසල් ගුරුවරු

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1490

මව් ඇකයේ සිටින දරුවාට ලෝකය දකින්නට පාර පෙන්වන දෙවැනි අම්මා වන්නේ ළදරු පාසලේ ගුරුවරියයි. මවගේ අතේ එල්ලී නැගිටින්නට වෙර දරන දරැවාට අකුරැ ඉගෙනගන්නට මුල්ම අඩිතාලම දමන්නේද පෙර පාසල් ගුරැවරියයි. ළමා මනස තුළ සැරිසරමින් දරුවා සමඟම ඒ ළමා ලෝකයට පිය නඟන මේ ළදරු පාසල් ගුරැවරියගේ ජීවිතය නගා සිටුවන්නට අදටත් ශක්තිමත් වාරැවක් නැත. ඔවුන් හැමදාමත් පීඩා විඳින ගුරුවරියෝ කොටසක් බවට පත්වී සිටිති. නිසි වැටුපක් නැති, ස්ථීර ආදායමක් නැති ඔවුහු මේ රටේ දරුවන්ගේ ජීවිතය දිනන්නට අත්තිවාරම දමති. නමුත් පෙර පාසල් ගුරුවරියන්ගේ රැකියාව හැමදාමත් අස්ථීරය.

පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය මුල්ම වරට හඳුන්වා දී ඇත්තේ රොබට් ඕවන් නම් අධ්‍යාපනඥයා විසිනි. එතැන් සිට පෙරපාසල් ගණනාවක්ම එංගලන්තය පුරා ආරම්භ විය. 1944 වසරේදී ආචාර්ය මාරියා මොන්ටිසෝරි මැතිනියගේ ශ්‍රී ලංකා ආගමනයත්, 70 දශකයේ පෙරපාසල් ව්‍යාප්තියත් ආරම්භ විය. වර්තමානය වනවිට ශ්‍රී ලංකාව පුරා ඇති පෙරපාසල් සංඛ්‍යාව විශාලය. පෙරපාසල් ගුරුවරියෝද බොහෝ පිරිසක් මේ පාසල්වල සේවය කරති. නමුත් ඒ කිසිදු ගුරුවරියකට ස්ථීර වැටුපක් ලැබෙන්නේ නැත.
කුඩා දරුවන්ගේ මනස නිර්මාණය වන වැඩසටහන ලෙස මුල් ළමාවිය අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන්. මෙම වැඩසටහන පිළිබඳවත් විධිමත් වැඩපිළිවෙළක් අපේ රටේ තිබුණේ නැහැ. එලෙස විධිමත් වැඩපිළිවෙළක් තියෙනවා නම් ඒ වැඩසටහනේ කොටසක් වුණු පෙරපාසල් ගුරුවරියටත් යම් තැනක් නිර්මාණය වෙන්න තිබුණා. එවැනි විධිමත් නොවුණ විටදී ඔවුන්ද අසරණ වෙනවා. ළමා අධ්‍යාපනය සහ පෙරපාසල් ගුරුවරිය කියා දොකොටසකට වෙන්කරන්න බැහැ. අපේ රටේ ක්‍රියාත්මක වුණ විවිධ වැඩසටහන් තුළ මුල් ළමාවිය අධ්‍යාපනයටත් මූලික තැනක් දීලා තිබුණත් පෙරපාසල් ගුරුවරියට නිසි තැනක් ලැබුණේ නැහැ. පෙර පාසල් ගුරුවරිය ජීවත්වන විදිහ කොහොමද කියලා කවුරුත් සොයලා බැලුවේ නැහැ. ඇයගේ මානසික මට්ටම හොඳ වුණොත් තමයි මේ දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වන්නට ඇයට පුළුවන් වෙන්නේ.

ජාතික පෙරපාසල් ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය ජයලත් ඉලංගකෝන් මහතා දේශයට අදහස් දක්වමින් එසේ කියයි.
මුල් ළමාවිය අධ්‍යාපනයට යම් මුදලක් වියදම් වෙන්නේ නම් ඒ හා සමාන මුදලක් මෙම පෙරපාසල් ගුරැවරියක් වෙනුවෙන්ද වියදම් විය යුතුවේ. දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව බොහෝදෙනා සොයාබැලුවද පෙරපාසල් ගුරුවරිය ජීවත්වන්නේ කෙසේදැයි සොයාබලන්නට කෙනෙකු සිටියේ නැත. ශ්‍රී ලංකාවේ යම් මුදලක් මුල් ළමාවිය අධ්‍යාපනයට වෙන් කෙරුණද රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙවැනි මුල් ළමාවිය සංවර්ධනයට මුදල් වියදම් කළද ඒ කිසිවකගෙන්වත් ගුරුවරියට අවශ්‍ය ආර්ථික පසුබිමක් නිර්මාණය නොවුණි.

මේ පිළිබඳව විශාල ගැටලුවක් ඇතිවූ මොහොතක පෙරපාසල් ගුරුවරියන් ඒකරාශී කරගෙන ඔවුන්ගේ ගැටලු කතාකරන්නට අපි පටන්ගත්තා. ලංකාව පුරා විසිරී සිටින පෙරපාසල් ගුරුවරියෝ අපි හා එකතුවුණා. සැම ප්‍රාදේශීය කොට්ඨාසයකම අපේ ඒකකයක් අපි නිර්මාණය කළා. අපේ ශාඛා තුන්සිය විසි අටක් තියෙනවා. ඒ හරහා අපි ලංකාව පුරා විසිරී සිටින පෙරපාසල් ගුරුවරියන් හා සම්බන්ධ වෙනවා.* යැයි ජාතික පෙරපාසල් ගුරු වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති ආචාර්ය ඉලංගකෝන් වැඩිදුරටත් පැවසීය.

පෙරපාසල් ගුරු රැකියාව හරිම අස්ථීර රැකියාවක්. පෙරපාසල් ගුරුවරියකට ශක්තිය නැති කාලෙක මේ රැකියාව කරන්නට බැහැ. පෙරපාසල් ගුරුවරියක් කියන්නේ ගුරු මේසයටම සීමාවුණු ගුරුවරියක් නෙවේ. පෙරපාසල් ගුරුවරියක් හරියට දරුවෙක් වගෙයි. සෙල්ලම් කරනවා. සිංදු කියනවා. පුංචි දරුවන්ගේ හොඳම යාළුවෙක් තමයි පෙරපාසල් ගුරුවරිය. අපිත් මේ පුංචි දරැවන් එක්ක ගත කරන්නේ ඒ අයගේ ලෝකයේම කෙනෙක් වගෙයි. යම් හෙයකින් පෙරපාසල් ගුරුවරිය දුබල වුණු ගමන් රස්සාව අපිට කරන්න බැහැ. පෙරපාසැල් ගුරුවරියට කිසිදු විශ්‍රාම වැටුපක් නැහැ. අඩුම තරමේ අපිට සාධාරණ මාසික වැටුපක්වත් ලැබෙන්නේ නැහැ.යැයි Little Steps ළදරැ පාසලේ ප්‍රධාන ගුරුතුමිය දිනුෂා පෙරේරා මහත්මිය දේශයට පැවසුවාය.
හතු පිපෙන්නා සේ ළදරු පාසල් බිහිවෙයි. ඒ අනුව ඒ ළදරු පාසල් අතර ඇත්තේද තරගකාරී අධ්‍යාපන රටාවකි. ළදරු පාසලක දරුවන්ට අ යන්න උගන්වද්දී යාබද ළදරු පාසල ආ යන්න උගන්වන්නට උත්සාහ දරති. ළදරු පාසල් අධ්‍යාපනයේදී දරුවන්ට අකුරු උගන්වන්නට අවශ්‍ය නොවේ. නමුත් මේ තරගකාරී අධ්‍යාපනයත් සමඟ දරුවන්ටත් අකුරු උගැන්වීමට ඔවුහු කටයුතු කරති.

බොහෝ මව්පියන් දරුවන් ළදරු පාසල්වලට යොමුකරද්දී ළදරු පාසල් ගොඩනැගිල්ලේ ස්වරූප ගැන හිතති. වර්ණවත් තීන්ත ආලේපනය කළ, විශාල සෙල්ලම් පිටිය ඇති, නිල ඇඳුමක් වෙන්වුණ, ළදරු පාසල්වලට තම දරුවා යොමුකරන්නට දෙමව්පියෝ උත්සාහ ගනිති. නමුත් එවැනි බොරු ආටෝපයෙන් යුත් බොහෝ ළදරු පාසැල්වල ඇත්තේ පොතටම සීමා වූ අධ්‍යාපනයකි. සංවේදී, ක්‍රියාශීලී දරුවකු ඒ තුළින් බොහෝවිට බිහිවන්නේ නැත. ගමේ පන්සලේ, කුඩා ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ඇතැම් ළදරු පාසැල්වලින් ගුණධර්මවලින් පිරි සංවේදී ළමා පිරිසක් බිහිවෙන බවද සමහරු කියති. ළදරු පාසලට වෙන්වුණු විෂය නිර්දේශයක් නැත. මේ නිසාම මේ තරගකාරී අධ්‍යපානයත් සමඟ පීඩා විඳින ළදරැ පාසල් ගුරැවරියෝද ඕනෑතරම් සිටිති.

මුළු රටම කොරෝනා වසංගතයට මුහුණ දෙද්දී ළදරු පාසල් ගුරුවරියන්ද කබලෙන් ලිපට වැටුණා වගේ විය. මාර්තු මස සිට මේ දක්වා ලංකාවේ සියලුම ළදරු පාසල් වසා දැමූ ගමන්ය. පාසල් ගුරු මණ්ඩලයට රජයෙන් දෙනු ලබන ගුරුවැටුප සුපුරුදු පරිදි සුපුරුදි දිනයට ලැබුණද ළදරු පාසල් ගුරුවරියන්ට ඒ කිසිදු වැටුපක් හෝ සහනාධාරයක් ලැබුණේ නැත. මාස දෙකක කාලයක් රජයෙන් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාවද මේ බොහෝ ගුරැවියන් ගොස් ලබාගත්තේ පැය ගණනාවක් දිගු පෝලිමේ සිටීමෙනි. බොහෝ ළදරු පාසල්වල ගාස්තුව දරුවන්ගෙන් ලබාගන්නේ මාස් පතාය. මාර්තු මස පාසල් වැසුවද පෙබරවාරි ඉගැන්වීම් කටයුතු කළ මාසයේ සිට ඇතැම් දරුවන්ගෙන් මුදල් ලබාගෙන නොමැති බව ඇතැම් පෙරපාසැල් ගුරුවරියක් කියති. ඒ අනුව මාස හතරකටත් වැඩි කාලයක් පෙරපාසල් ගුරැවරියන්ට වැටුප් නැත.
පෙරපාසැල් ගුරුවරියන්ට ස්ථීර පත්වීමක් නැත. දරුවන් ආදරයෙන් සිටි ගුරුවරියක් වැඩි වැටුපකට වෙනත් ළදරු පාසලකට යද්දී අසරණ වන්නේ මේ කුඩා හිත්ය. ආදරය, කරුණාව, තමන්ට අහිමිව යද්දී දරුවා මුරණ්ඩු වේ. මේ නිසාම අම්මා වන් දෙවැනි මව් අම්මා පරිස්සම් කරගැනීම කාගේත් යුතුකමකි.

පෙර පාසල් ගුරුවරියන් හරි අසරණයි. රජයෙන් මේ ගුරුවරියන්ට මාසික වැටුපක් ලබා දෙනවා නම් ඒක ගුරුවරියන්ට මෙන්ම මේ දරුවන්ගේ අනාගතයටත් ගොඩක් වටිනවා. මොනතරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් පෙරපාසැල් ගුරුවරිය දරුවන්ට විශාල සේවාවක් ලබලා දෙනවා. මෙම පෙරපාසැල් පවත්වාගෙන යන්නේ පන්සලකයි. මේ පෙර පාසැලටත් ආර්ථික අපහසුකම් තියෙන දරුවන් එනවා. මේ සමහර දරුවන් හරි අසරණයි. නමුත් ඒ හැමෝම හරි අහිංසකයි. යැයි ජාඇල පෙරපාසැල් ගුරැ සංගමයේ සභාපති චන්දිමා නාමල් මහත්මිය දේශයට පැවසීය.

කෙසේ වුවද වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළදරු පාසල් ගුරුවරියකගේ සේවය වෙනුවෙන් යම් සාධාරණයක් ලබාදෙන බවට ඉඟියක් පළවෙමින් පවතී. පෙරපාසැල් අධ්‍යාපනය ලබන සැම දරුවකුම සමානකමක් දක්වන දරුවන් පිරිසක් කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වේ. පෙරපාසල් පළාත් සභාවට අයත් වේ. මේ නිසාම දිවයින පුරා විසිරී සිටින ළදරු පාසල් ඒ ඒ පළාත් සභාවට අනුව ක්‍රියාත්මක වේ.

මේ රටේ දරුවන් සියල්ලටම එක ක්‍රමයක් තිබිය යුතු වෙනවා. පෙරපාසල් අධීක්ෂණය, භෞතික පහසුකම් සැපයීම සහ එය පාලනය කිරීම සඳහා මධ්‍යම ආණ්ඩුව සතු ආයතනයක් හදන බව ජනාධිපතිතුමා පැවසුවා. එලෙස එක තැනකින් මෙය පාලනය වෙනවා නම් රටේම දරුවන්ට එකවගේ අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන් වේවි. ඒ වගේම සියලුම පෙරපාසැල් ගුරුවරියන්ට රජයේ ස්ථීර වැටුපක් ලබාදෙන ක්‍රමයක් ඇතිකරන බවත් ජනාධිපතිතුමා සඳහන් කළා. එය අපේ රටේ පෙරපාසැල් ගුරුවරියන්ට සැනසිලිදායක ආරංචියක්. යැයිද ආචාර්ය ජයලත් ඉලංගකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 දිශානි ජයමාල් කරුණාරත්න