
මහ මැතිවරණය අවසන් අතර අලුතින් පත්වූ ආණ්ඩුව රාජකාරි ආරම්භ කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය තිබියදී මැතිවරණ ව්‍යාපාරය සහ මැතිවරණය සාර්ථකව පවත්වන්නට හැකියාව ලැබුණි. සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ක්‍රමවේද පසෙක දැමූ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අලුත් ජවයකින් ක්‍රියා කළ බව මතකය. විශාල ජනවරමක් ලැබූ ආණ්ඩුව එම බලය මහජන උන්නතිය වෙනුවෙන් ආයෝජනය කළ යුතුය. ඡන්දය දිනන්නට තිබුණු මෙහෙයුම හා සමානව රට ගොඩනගන වැඩපිළිවෙළ ද ආරම්භ කරන්නට අවශ්‍යය.
ඇමැති මණ්ඩලය පත්කිරීම් ගැන ආණ්ඩු පක්ෂ නියෝජිතයන් අතර නොසතුටක් තිබේ. ලෝකයේ අනෙක් රටවල් දෙස බලන විට මෙරට ඇමැති මණ්ඩලය විශාලය. තවත් ඇමැතිවරුන් අවශ්‍ය නැති බව අවධානයට ගත යුතු කරුණකි. රාජ්‍ය ඇමැතිවරුන් හා විෂය බෙදීම ගැන ද ආන්දෝලනයක් තිබේ. විශාල මනාප ප්‍රමාණයක් ලබාගෙන ඉහළම තැන්වලට පත්වීම අරමුණ විය යුතු නැත. විවිධ නියෝජනය, එකිනෙකට වෙනස් සුදුසුකම් හා අත්දැකීම් ආණ්ඩුවක ශක්තිය වන අතර නිසි ලෙස වැඩ ආරම්භ කිරීමට යුහුසුළු විය යුතුය.
• නිදහසින් පසු බලවත්ම පීඩනයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව
සර්වජන ඡන්ද බලය ලබාගෙන වසර අනූවක් ගත කර ඇති ශ්‍රී ලංකාව නිදහස ලබා වසර හැත්තෑ දෙකක් පසු කර තිබේ. මෙම කාලය තුළ කිසි දිනක නොවූ විරූ ආර්ථික සහ සමාජ තර්ජනයකට රට මුහුණ පා ඇත. පසුගිය දෙවසරක කාලය තුළ ආර්ථික වර්ධනය අඩුම මට්ටමක තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව අඩු වර්ධන පසුබිමකට හුරු වූහ. එය එක්තරා ආකාරයක වාසනාවකි. සියයට දෙකක තුනක වර්ධනයක සිට මෙම අවුරුද්දේ ඍණ අගයක් වාර්තා වනු ඇතැයි යන පුරෝකථනය එපමණ දැනෙන්නේ නැත. ආදායම අඩු වී තිබේ. රැකියා හිඟය වැඩි වී ඇත. කළමනාකරණ ප්‍රශ්න හෙයින් ආයතනවලින් ඉවත් කරන ප්‍රමාණය ද සැලකිය යුතු බව අනාවරණය වෙයි. එදිනෙදා වියදම් එක්තරා ආකාරයකට පාලනය වී ඇති පසුබිමක ජනතාවට විපතක තරම දැනෙන්නේ නැත. දරුවන්ගේ පාසල් ගමන පමණක් නොව රැකියා ස්ථානවලට යන එන කාලවේලාව ලිහිල් වී තිබීම යම් ඉස්පාසුවකි. යහපත් කාලගුණ තත්ත්වය හෙයින් වී, එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් අඩුය. එය ද සහනයකි.
නිදහස ලැබීමෙන් පසු ගතවූ කාලය තුළ ත්‍රස්තවාදය හා සුනාමි ව්‍යසනය රට හෙම්බත් කළ සිදුවීම්ය. ත්‍රස්තවාදය පැවැති වසර තිහක පමණ කාලය තුළ වසරකට දළ වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ පසුබැසීම සියයට දෙකක් පමණ වූ බව සඳහන්ය. සුනාමි විපත නිසා ද සිදුවූ හානිය කම්පාවට පත් කරන සුළුය. මෙම තත්ත්වය ඉදිරියේ ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාවේ සහායට ඉදිරිපත් විය. විපතට පත්වූවන් වෙනුවෙන් දෑත් දිගු කළහ. දැන් පවතින තත්ත්වය අනුව ලෝක බලවතුන්ට පවා ආර්ථිකයෙහි තරම දැනී තිබේ. සෑම රටකම නොසන්සුන් තත්ත්වයක් පැන නැගෙමින් තිබේ. ධූරය හැර යන සේ පාලකයන්ට බල කරන වකවානුවක් බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව යම් ඉස්පාසුවකය. අස්වැසිල්ලක් ලැබෙන තැනක බව සඳහන් කරන්නට අවශ්‍යය.
• සැබෑ තත්ත්වය වටහා ගැනීමට අවස්ථාවක් අවශ්‍යය
කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට අප්‍රමාණ බලපෑමක් එල්ල කර ඇත. විගමනික ප්‍රේෂණ, එනම් විදේශ රටවල සේවය කරන ලාංකිකයන් එවන මුදල් සියයට විසි පහකින් පමණ පහත වැටී තිබේ. ලක්ෂ ගණනක් ආපසු මෙරටට එන අදහස ඇතිව සිටිති. මෙම පිරිස සමඟ රැකියා විරහිතභාවය ඉහළ යනු ඇත. ආණ්ඩුව උපාධිධරයන්ට හා සමාජයේ පහළම මට්ටමේ රැකියා විරහිත ලක්ෂ ගණනකට අවස්ථා සම්පාදනය කරන්නට සූදානම්ය. එය නිවේදනය කිරීමත් සමඟ තවත් ලක්ෂ ගණනක් රජයේ රැකියා අපේක්ෂාවෙන් විරෝධතා අරඹා සිටියහ. ආර්ථික තත්ත්වය අනුව සියලුම දෙනාට රජයේ රැකියා සැපයීම කළ නොහැකිය. දැනට පහත වැටී ඇති රජයේ ආදායම අනුව එදිනෙදා වියදම් පියවා ගැනීම දුෂ්කර වී තිබේ. ජනාධිපතිවරයාට ඇති බලතල අනුව අත්‍යාවශ්‍ය වියදම් තාවකාලිකව සපයාගෙන ඇති නමුත් ආදායම් සොයාගන්නේ කෙසේද? යන ප්‍රශ්නයට උත්තරයක් නැත. විදේශ රැකියා ආදායම හා සමානව සංචාරක ආදායම ද අවම තැනට වැටී තිබේ. විදේශ රැකියාවට යෑම ඒම සහ සංචාරක කටයුතුවලට බාධා හෙයින් ගුවන් ගමන් නතර වී ඇත. ශ්‍රී ලංකන් සේවාව අතිශය දුෂ්කර අවධියකය. මෙම වසරට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 300ක වියදමක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ. ලංකා බැංකුව නොබෝදා එයින් කොටසක් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 75ක් නිදහස් කර ඇත. ජනතාවට අත්‍යාවශ්‍ය දේ ආනයනයට සීමා පනවා ඇති ආණ්ඩුවට ගුවන් සේවය වෙනුවෙන් ගෙවන්නට සිදුවී ඇති වන්දිය බරපතළය. මෙහි අවසානයේ දී 2020 සහ 2021 වසරවල තව තවත් විදේශ ණය වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකිය. ආයෝජන වශයෙන් ලැබෙන විනිමය දැනටමත් පහත වැටී තිබේ. වසංගත තත්ත්වය හමුවේ කරන සහන පිරිවැය ද එකතු වූ පසු මූල්‍ය අංශයේ අර්බුදයක් ඇති කරනු ඇති බව නිගමනය කළ හැකිය.
ආණ්ඩුව අලුතින් හිතන්නට අවශ්‍යය. රට තුළ ආයෝජන නැංවීම අවශ්‍යය. රාජ්‍ය අංශයට හැකියාව අඩුවන අවස්ථාවක පෞද්ගලික අංශයට අවස්ථාව පුළුල් කරන්නට අවශ්‍යය. විදේශීය ආයෝජකයන් කැඳවීම සුදුසුය. ඉදිරිපත් කරන්නට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ දී මෙම අභිලාශය සඳහා අවකාශයක් සැකසීම වැදගත්ය. බැංකු පොලිය අඩු වී ඇති අවස්ථාවක පාරිභෝජනය ඉහළ යනු ඇති අතර දේශීය වෙළෙඳපොළ කෙරෙහි එය යහපත් බලපෑමක් කරනු ඇත. ඉක්මනින් ව්‍යුහය වෙනස් කරන පියවර ගැනීම සුදුසුය.
• ආයෝජනයක් රහිතව පුනර්ජීවනයක් නැත
ප්රමුඛ බුද්ධි මණ්ඩලයක් වන පාත්ෆයින්ඩර් පදනම පසුගියදා වැදගත් අනාවරණයක් කරනු ලැබීය. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ආර්ථිකය ගොඩගැනීමට යොදවන සහන ප්‍රමාණවත් නැති බව පෙන්වා දුන් අතර ජනතාවට ලබා දුන් රුපියල් පන්දහසක දීමනාව, ආයතනවලට මාස දෙකක මෙහෙයුම් සඳහා අවශ්‍ය මුදල් සියයට හතරක පොලියකට නිදහස් කිරීම, ලීසිං සමාගම්වලට දුන් නියෝග යනාදිය කර ඇත්තේ ඉතාම සුළු බලපෑමක් බව පාත්ෆයින්ඩර් පදනමේ අදහස වී තිබේ. පවතින තත්ත්වය කළමනාකරණය සඳහා රජය සෑහෙන මුදල් ප්‍රමාණයක් යෙදවීම තීරණාත්මක අවශ්‍යතාවයකි. කොවිඩ්-19 ආර්ථික බලපෑම ඉදිරියේ මෙතෙක් ශ්‍රී ලංකාව නිකුත් කර ඇති සහන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.5 නොඉක්මවන බව දැක්වෙයි. මැලේසියාව හා තායිලන්තය නිකුත් කර ඇති සහන එම රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12-15 අතර යොදවා තිබේ. දියුණු රටවල එය සියයට 15-20 මට්ටමක යෙදවීමක් බව දැඩි අවධානයට ලක් විය යුතු කරුණකි.
සියයට 0.5ක ආයෝජනයක් කර අති විශාල වෙනස්කම් අපේක්ෂා කළ යුතු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගණන් බලා ඇති අන්දමට ශ්‍රී ලංකාවේ 2020 වසරේ ආර්ථිකය ඍණ අගයකට ගමන් කරනු ඇත. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරන අන්දමට වසර අවසානයේ දී සියයට හතරකට ආසන්න සංවර්ධන වේගයක් ළඟා කරගනු ඇති බව ප්‍රකාශ වෙයි. මෙම කරුණු දෙක අතර පරස්පරතා තිබේ. පාත්ෆයින්ඩර් පදනම දක්වන පුනර්ජීවනය අරමුණු කරගෙන කරන ආයෝජනය ප්‍රමාණාත්මක නොවන අවස්ථාවක අවදානමක් තිබේ. ආර්ථික ස්ථාවරත්වය අරමුණු කරගෙන සියලු අංශ සමඟ සහයෝගයෙන් සැලසුම් කළ කෙටි හා මධ්‍යකාලීන මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයක් රටට අවශ්‍යය. එවැනි පියවරකින් දෙස් විදෙස් ආයෝජකයන්, ණය දෙන ආයතන සහ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කරනු ඇත.
• පුනර්ජීවනය අරමුණු කරගෙන විද්වත් කණ්ඩායමක් පත් කිරීම
බලයට පත්වූ ආණ්ඩුව පුළුල් අවකාශයක් ඉදිරියෙහි සිටියි. ලෝක තත්ත්වය වෙනස් වී ඇත. තරගකාරීත්වය වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. ලෝක බලවතුන්ගේ විභව වෙනස් වෙමින් පවතින අවකාශයකි. කොවිඩ් බලපෑම තුරන් වී නැති අවස්ථාවක තීරණ ගැනීම අවදානමක් ඇති කරයි. අන්තර්ජාතික අත්දැකීම් ඇති, සුදුසුකම් සහිත හා පිළිගත් කණ්ඩායමක් රජය සිය ආර්ථික උපදේශකයන් ලෙස පත් කරගත යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය උදෙසා ගත හැකි මග ගැන ස්වාධීනව උපදෙස් ලබාගන්නා පියවරකට යා හැකිව තිබේ. පවතින ස්වභාවය සියුම්ව නිරීක්ෂණය කරන අතර අවශ්‍ය අවස්ථාවල ප්‍රතිපත්ති නිවැරදි කිරීමට යෝජනා ගෙන එන්නට හැකි කණ්ඩායමක් විය යුතුය. ලෝකයේ නොයෙක් රටවල් එහිලා පියවර ගෙන තිබේ. පවතින ව්‍යුහය ආරක්ෂා කර ගැනීම සහ එමගින් ජනතාවගේ දෛනික පැවැත්මට දෙන රැකවරණය ඉතා වැදගත්ය. පටු පරමාර්ථ සහිතව නොව අවශ්‍ය අවස්ථාවල අනාගතය දෙස බලා තීරණ ගත යුතුව තිබේ. එය වෘත්තීය දක්ෂතා සහිත කණ්ඩායමකගේ පිටිවහල ඇතිව ක්‍රියාවට නැංවීම සුදුසුය.
ශ්‍රී ලංකාව සෑහෙන පාඩම් ඉගෙනගෙන ඇති රටකි. ඉකුත් දශක ගණන තුළ රට ඉදිරියට හා ආපස්සට ගමන් කළ අවස්ථා ගණනාවකි. රට තුළින් අවස්ථා අහිමි වන විට රට හැර වෙනත් රටවලට යන්නට දරන ප්රයත්නය වර්ධනය වෙමින් තිබේ. දරුවන්ගේ අනාගතය බාරගන්නා රටක් ගොඩනැගිය යුතුය. පුනර්ජීවනයකින් අරමුණු කරන්නේ එයයි. ඉදිරියේ දී නැග එන තාක්ෂණික පසුබිම තුළ ආර්ථිකය ස්ථාවර කිරීමට හා ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා ලැබෙන කාලය සීමිත බව අමතක නොකළ යුතු කරුණකි.
ගාමිණී සරත් ගොඩකන්ද