2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

කැලේ අලි මහපාරේ ඇවිද්දවන හම්බන්තොට කැලෑ සුද්දය

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

මත්තල ලුණුගම්වෙහෙර ප්‍රධාන මාර්ගයේ රථවාහනවලට යාමට ඉඩ නොදෙමින් ඒ මේ අතර හැරෙමින් උද්ඝෝෂණයක යෙදෙන වන අලියෙකු පසුගිය 9 දා දැකගත හැකි විය. දක්ෂිණ අධිවේගී පිවිසුමට හා මත්තල ගුවන් තොටුපොළට යන ප්‍රධාන මාර්ගය වන මෙහි රථවාහන විශාල ප්‍රමාණයක් ගමන් නගී. රථවාහන මෙන්ම අලි ඇතුන් ද මේ මාර්ගය හරහා නිතර ගමන් කිරීම සාමාන්‍ය සිද්ධියක් වී අවසන්ය.

හම්බන්තොට වන අලින්ට කාපට් පාරවල්වල ගමන් කිරීමට සිදුවූයේ උන්ට ගමන් කිරීමට තිබූ අලිමංකඩ සංවර්ධනයේ නාමයෙන් දෙපා සතා විසින් අහුරා දැමීම නිසාය.
ගමට ළඟින් තියන කැලේ හැමදාම එක එක කණ්ඩායම් එළි කරනවා. ඉතින් අලින්ට ඉන්න තැනක් නැතිවුණාම ගමට එනවා. අපි පණ බයෙන් ජීවත් වෙන්නේ. දැනට අවුරුදු 30 – 40කට එහා හම්බන්තොට අපිට අලි කරදර මෙහෙම තිබුණේ නෑ. ඒ කාලේ සත්තුන්ට ඇති තරම් කැලේ තිබුණා. දැන් වගා වනසනවා. ගෙවල් කඩලා වී ටික පවා කනවා. සූරියවැව එලල්ල ගම්වැසි ගොවියෙක් පැවසුවේය.

හම්බන්තොට අලි වාස භූමි මිනිසා විසින් අත්පත් කරගැනීම නිසා දැවැන්ත අලි මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ. මේ නිසා විශාල අලි ඇතුන් සංඛ්‍යාවක් වෙඩි තැබීම, හක්කපටස් භාවිතය නිසා ඝාතනයට ලක්වෙති. එමෙන්ම අලි ඇතුන්ගේ පහර දීම නිසා මිනිස් ජීවිත රැසක් ද අහිමි වී තිබේ.

අලින්ට ජීවත් වීමට සුදුසු වටපිටාවක් අද හම්බන්තොට නෑ. මේ ප්‍රදේශයේ සිටින 450ක් වන අලි සංඛ්‍යාවට ආහාර ගැනීමට, හැසිරීමට වනාන්තර නෑ. අවුරුද්දේ එක් කාලයකදී මදුන්ගල අභයභූමිය ආශ්‍රිතව ඉන්න අලි ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට එනවා. ඒ අලිමංකඩ තමයි මේ විදිහට ඇහිරිලා තිබෙන්නේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ අලිමංකඩ 16ක් තිබෙනවා. ඒ එකක්වත් රක්ෂිත විදිහට ප්‍රකාශ කරලා නෑ. පසුගිය ආණ්ඩුවෙන් මේ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේ නෑ. මේ ආණ්ඩුවත් ඒ සඳහා තවමත් පියවර අරගෙන නෑ අපට එලෙස පැවසුවේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජනා කළේ අලි ඇතුන් 450කගේ වාසස්ථාන සුරක්ෂිත කර මිනිස් ජීවිත ද සුරැකීමේ අරමුණු ඇතිවය. ගජමිතුරෝ වැඩසටහන යටතේ 2009 සිට 2011 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතනවල හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඒ සඳහා සැලැස්මක් සකස් කෙරිණි. එම සැලසුමේ වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම, විදුලි වැට ඉදි කිරීම, අලිමංකඩ විවෘත කිරීම ඇතුළු පියවර රුසක් යෝජනා වී තිබුණි. එම සැලසුම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව ඉඩම් අමාත්‍යංශයට යොමු කර මේ වනවිට වර්ෂ හතක් ඉක්ම ගොස් අවසන්ය.
හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් මහා පරිමාණ වාණිජ වගාවලට, සංවර්ධන ව්‍යාපෘතිවලට යොදාගැනීමේ සැලසුම් ක්‍රියාත්මක වෙනවා. ගල් වැව, වැලි වැව, කුරුදාන, කැටන්වැව, ගලහිටිය වැවට ඉහළින් අන්දරවැව දක්වා ප්‍රදේශය ඇතුළු විශාල ඉඩම් ප්‍රමාණයක් ඩෝසර් යන්ත්‍ර යොදාගෙන එළි කරනවා. බුරුතන්කන්ද අලි 

මංකඩේ ඉඩම් සියල්ලම මහවැලි අධිකාරිය ජනතාවට බෙදා දීලා. මේ නිසා මදුනාගල අභයභූමිය තුළ අලි 18 -20 ප්‍රමාණයක් කොටුවෙලා. ඒ වගේම යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් නින්දගම් ඉඩම් යැයි පවසමින් වනාන්තර කුට්ටි කර විකිණීමක් ද සිදුවෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර කීවේය.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම්වලිනි. 1981 අප්‍රේල් 16 දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප්‍රදේශය වශයෙන් විශාල භූමි ප්‍රදේශයක් මහවැලි අධිකාරියට පවරා දී තිබේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ හයක් අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශ්‍රිතව පිහිටි හෙක්ටයාර් 300ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය ඒ අතරින් ප්‍රධානය. හෙක්ටයාර් 700ක් සහිත කෝන්කැටි ආර වනාන්තරය තවත් වනපෙතකි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා හෙක්ටයාර් 2000ක වනාන්තර ප්‍රමාණයක් ලබාගත් අතර ඉන් හෙක්ටයාර් 800ක් සංවර්ධන ව්‍යාපෘතියට භාවිත කර තිබේ. හම්බන්තොට වරාය සඳහා ලබාගත් හෙක්ටයාර් ප්‍රමාණය 1150ක් වන අතර ඉන් හෙක්ටයාර් 800ක් සංවර්ධනය කර තිබේ. මේ නිසා වාසස්ථාන අහිමි වූ අලි ඇතුන් ගම්මානවලට පිවිසීම සාමාන්‍ය සිද්ධියක් වී අවසන්ය. දිගින් දිගටම සිදුවන වන සංහාරය නතර කර ඉතිරිව තිබෙන වන භූමිය තුළ යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශ කර එම වනාන්තර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීම අත්‍යවශ්‍යව පවතී.

1980 දශකයේ මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වනාන්තර රාශියක් එළිපෙහෙළි කෙරිණි. එහිදී වාසස්ථාන අහිමි වූ අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ හා ජල පෝෂක ප්‍රදේශවල ආරක්ෂාවට වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමිය, මාදුරු ඔය ජාතික වනෝද්‍යානය, සෝමාවතිය ජාතික වනෝද්‍යානය, වස්ගමුව වනෝද්‍යානය වැනි රක්ෂිත ප්‍රකාශයට පත් කෙරිණි. නමුත් වලව ව්‍යාපෘතියට අයත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වාසස්ථාක අහිමි වූ අලි ඇතුන් ඇතුළු වනජීවීන්ගේ රැකවරණයට වනාන්තර ප්‍රදේශ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර නැත. වලව වම් ඉවුර සංවර්ධනයේදී මෙන්ම හම්බන්තොට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නිසා උන්හිටි තැන් අහිමි වූ වනසතුන් මිනිසාට එරෙහිව විරෝධතා දැක්වීමට පටන්ගෙන ඇත්තේ ඒ නිසාය.

මීට වර්ෂ 15කට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මහවැලි අධිකාරියට අයත් ඉඩම් හෙක්ටයාර් 32000ක් පැවති අතර එම භූමියෙන් හෙක්ටයාර් 15000ක් පමණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසාර පාරිසරික ප්‍රතිපත්තියක් කොටසේ ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහාය. මිනිසා මෙන්ම අනෙක් සත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතුය යනුවෙන් සඳහන් වන අතර ශ්‍රී ලංකාවේ වන ආවරණය 30 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවද සඳහන්ය. නමුත් එම යහපත් ප්‍රතිපත්තිය ඉටුකර ගැනීමට තවමත් බලධාරීන් පියවර ගෙන ඇති බවක් නොපෙනේ. මෙවර මහ මැතිවරණයෙන්ද 2/3 බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීමට ජනතාව එකසිතින් ඡන්දය ලබාදුන්නේ ගෝඨාභය ප්‍රතිපත්ති සඳහාය. දැන් ඒ සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇත.

 කුසුම්සිරි විජයවර්ධන