
“අපි මිනිස්සු වගේම සුරතල් සත්තු වයසට යද්දි එකට හිටපු සමීපතමයන් ළඟින් ඉන්නවානම් කොච්චර එකක්ද? එහෙම නොවී තමන්ගේ හාම්පුතා නැතිව අලුත් පරිසරයක ජීවත් වෙන සුරතල් සතෙකුට කොතරම් සාංකාවක් දැනෙනවා ඇත්ද? අපි නොහිතුවාට ඒක මොනතරම් වේදනාවක්ද? එහෙම එකේ පොලිස් නිල සුනඛයන් වෙන්දේසි නොකොට අවසන් වරට රාජකාරියේදී බලාගත් නිලධාරියා ඇසුරේම ඉන්න දෙනවානම් ඒ සතාට සැනසීමක්”
විශ්‍රාම ලැබූ පොලිස් නිල සුනඛයන් ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීම සම්බන්ධයෙන් දක්වන අදහස් අතර සමාජ මාධ්‍යයේ ඉහත අදහස ද පළවී තිබිණි. එම සුනඛයන් පිළිබඳ සංවේදී වන මිනිසුන් විවිධ මත පළ කරද්දී මේ සටහන පසුගියදා මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ පැවති සුනඛ වෙන්දේසිය සම්බන්ධයෙනි.
දිවයින පුරා සිදු කෙරෙන අපරාධ මර්දනය හා පාලනයට පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛයෝ සහ සුනඛ හසුරුවන නිලධාරීහු සහාය ලබාදෙති. ප්‍රභූ ආරක්ෂාව, මත්ද්‍රව්‍ය වැටලීම, පුපුරණ ද්‍රව්‍ය මෙහෙයුම් ඇතුළු වෙනත් අපරාධවලට එරෙහි මෙහෙයුම්වලදී මෙම සුනඛයන්ගෙන් ලැබෙන සහාය අතිශය වැදගත්ය. එවැනි අභිමානවත් මෙහෙවරක නිරත පොලිස් නිල සුනඛ කොට්ඨාසයට 71 වසරක් සපිරෙන මොහොතක පොලිස් රාජකාරියෙන් විශ්‍රාම ලැබූ නිල සුනඛයන් 25 දෙනකු ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.
කවර ආකාරයකින් පොලීසිය වෙත සුනඛයන් රැගෙන ආවද පොලීසිය බාරයට ගත් දින පටන් මේ සුනඛයෝ රජයේ දේපළක් බවට පත්වෙති. නිසි පුහුණුවකට යොමුකළද අවශ්‍ය ප්‍රමිතියට සත්වයන් සූදානම් කළ නොහැකිනම් එම සතුන් වෙන්කොට තබයි. එහෙත් නීතිමය වටපිටාව මත ඔවුන් පොලීසියෙන් බැහැර කළ නොහැකිය. එම සතුන්ද සෙසු සුනඛයන් හා වෙන්දේසි කිරීම පවතින නීති රාමුවට අනුව කළ යුතුය. මේ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගත යුතු අතර රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කළ යුතුය. එහි නියම කරන දිනයේදී සුනඛයන් වෙන්දේසි කිරීම සිදුකළ යුතුය.
මේ ආකාරයට නොවිසඳුණු අපරාධ රැසක සුලමුල හෙළිකර ගැනීමට සමත් වූ නිල සුනඛ සිම්බා, රෙක්ස්, රෙජී, ලිලී, රෝසි, බම්පර්, හිරෝෂ්, අජා, ජෙසී ඇතුළු සුනඛයන් වෙන්දේසියට ඉදිරිපත් කෙරිණි. එම සුනඛයන් අවුරුදු දහය පමණ වයසේ පසුවන්නන්ය.
වෙන්දේසියට ඉදිරිපත් කළ බ්‍රිඩ් නැමැති සුනඛයෙකි. එම සුනඛයා Labrador වර්ගයේ වුවද නිසි පුහුණුව අසාර්ථක වූයෙන් වෙනම තබා සිටි එකෙකි. බ්‍රිඩ් රුපියල් එක්ලක්ෂ දසදහසකට අලෙවි කොට තිබුණේ එවැනි වෙන්දේසියකදී අලෙවි කළ ඉහළම මිල ලෙස වාර්තා තබමිනි. අවුරුදු දෙකක් වූ මේ සුනඛයා 2018 වසරේ සිට පොලීසිය බාරයේ සිට ඇත. (සිම්බා) නැමැති සුනඛයා රු. 50,000කටත්, (රෙක්ස්) නැමැති සුනඛයා රු. 23,000කටත්, (රෙජී) රැ. 17,500කටත්, ලිලී රු. 16,000කට හා (නීරෝ) රු. 1100කටද අලෙවි කොට ඇත. මෙම සුනඛයන් විශාල මුදලක් ගෙවා විදේශවලින් ආනයනය කිරීමට අමතරව පරිත්‍යාග වශයෙන් ලබාගන්නා සුනඛ පැටවුන්ට අදාළ පුහුණුව ලබාදෙමින් පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්ත කෙරෙති.
ඒ අනුව මෙවර වෙන්දේසියට ඉදිරිපත් කොට තිබුණේ අවුරුදු දහයක සේවා කාලයක් ඉක්මවූ නිල සුනඛයන් පිරිසකි. ආනයනය කිරීමෙන් හෝ පරිත්‍යාග වශයෙන් ලබාගන්නා සුනඛයන් තෝරාගන්නා විශේෂ ක්‍රමවේද පවතී. සුදුසුකම් සපුරන සතුන් පුහුණුවට පසුව සේවයේ යොදවන අතර නියමිත සේවා කාලය අවසානයේ විශ්‍රාම ගැන්විය යුතුය. නොඑසේනම් සත්වයාගේ වයස සෞඛ්‍ය තත්ත්වය හෝ වෛද්‍ය උපදෙස් මත නැතිනම් පුහුණු උපදේශකවරැන්ගේ උපදෙස් මත එකී තීරණයට එළැඹිය යුතුය.
වෙන්දේසියෙන් පොලීසියට ලැබුණු ආදායම රු. 315,800ක් බව පොලිස් නිල සුනඛ කොට්ඨාශය වාර්තා කරයි. පසුගිය 15 වැනිදා පැවැති වෙන්දේසිය සඳහා දිවයින පුරා සිටින සුනඛයන්ට ආදරය කරන පිරිස් සහභාගී වී සිටියහ.
රට වෙනුවෙන් අතිමහත් සේවයක් කළ නිල සුනඛයන් වෙන්දේසියේ අලෙවි කිරීමට වඩා විශ්‍රාම සුවයෙන් අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ කල් ගෙවීමට පහසුකම් ඇති කිරීමට හැකිනම් එය අගනේය. එවැනි ක්‍රමවේදයක් සකසා මෙහෙවරක් ඉටුකළ සතුන්ට කෘතගුණ සැලකීම කළ යුතුය. නීත්‍යානුකූලව වෙන්දේසි කටයුතු කළද එම සතුන්ට නිසි ගෞරවය දක්වා අවසන් කාලය ගතකිරීමට පහසුකම් සලසන වැඩ පිළිවෙළක් සැකසීමට පොලිස් දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ යුතුය.
මෙම සුනඛ වෙන්දේසිය මහනුවර පොලිස් අධිකාරී යූ.බී. පලිහවඩන හා මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. පී. කුලසේකර හා උප පොලිස් පරීක්ෂක වී. පී. එස්. එම්. විජේසිංහ සහ රාජපක්ෂ මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ සිදු කෙරිණි.
සමන්ත ප්‍රදීප් විල්තෙර